පෙරේදා හවස කවුදෝ බුකියෙ පොල් ගැන පොල් අකුරින් පෝස්ට් එකක් ශෙයාර් කරල තිබුණා. එලොව පොල් පේන ගානට ජීවිතය තිත්ත වුණාට පස්සෙ මිනිස්සු මෙලොව තියෙන දේවල් ගැන පොල් අකුරෙන් කියවන්න ගන්නවා.
සමහර වෙලාවට පොල් ගහනවා. පොල් ගහන්නෙ තමන්ට එපාවෙන එකාට හොඳක් නම් වෙන්න එපා කියල හිතාගෙන. නැත්නම් පතාගෙන. පොල් ගැන මොන විදියට කතාබහ වුණත් මට සමහර මිනිස්සු හැසිරෙන විදිය දැක්කම හිතෙන්නෙ පොල් කඩන වඳුරො වගේ නේද කියලා.
සාමාන්‍යයෙන් මිනිහෙක් ගහකට යවල පොල් කඩන වැඩේ අපේ ඇහැට හුරුයි. පොල් කඩන මිනිහ ඇවිත් ගහට නැගල පොල් කඩල දානවා. ගහේ තියෙන කුරුම්බයක් කඩාගෙන බොනවා.
සමහර වෙලාවට පොල් කීපයක් අරගෙන යනවා, තේ එකක් බොන්න සිගරැට් එකක් බොන්න කීයක් හරි ඉල්ලනවා, පොල් කඩල එනගමන් වත්තෙ කොස් ගහක් දෙල් ගහක් දැක්කොත් ගෙඩියක් කඩාගන්නවා. සමහර වෙලාවට පොල් කඩන මිනිස්සු වැටිල තුවාල වෙනවා, මැරෙනවා. එහෙම වුණාම ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න ඕන.
ලෝකෙ සමහර රටවල් පොල් කඩන්න වඳුරො පුහුණු කරල තියෙනවා. උන් කරන්නේ ගහට නැගල පොල් ටික කඩල බහින එක. වඳුරා කවදාවත් කුරුම්බා කඩන්නෙ නෑ, ප්ලේන්ටි සිගරැට් බොන්න සල්ලි ගන්නෙ නෑ, කොස් දෙල් කඩාගන්නෙ නෑ. අනික වඳුරො ගහෙන් වැටිල මැරෙන්නෙ තුවාල වෙන්නෙ නෑ. ඇත්තම කියනවනම් වැඩේ විතරයි. මිනිස්සු ලවා පොල් කඩවා ගැනීමට වඩා වඳුරො ලවා පොල් කඩවාගැනීම හැම අතින්ම ලාභදායී වෙන්නෙ ඒකයි.
මට බුකියෙ නටන සමහර අය දැක්කම මතක් වෙන්නෙ පොල් කඩන වඳුරො. ආගම ගැන රට ගැන විතරක් නෙමෙයි කවියක් සිංදුවක් ගැන ලිවුවත් ඒ වඳුරො ප්‍රතිචාර දක්වන්නෙ තමන්ට පුහුණු කරල තියෙන ක්‍රමයට.
පුහුණු කළ වඳුරන් පාවිච්චි කරලා රටක් වුණත් විනාස කරන්න හරි ලේසියි. පහසුයි.
සමාජ මාධ්‍ය ඇතුළෙ ඇත්තටම කල්පනා කරන්න ඕන වෙන්නෙ තමන්ගෙ බුකියේ ඉන්නෙ පුහුණු කළ වඳුරොද මිනිස්සු ද කියන එක.
බුකියේ වඳුරෙක් වීම හරි ලේසියි, බුකියේ මිනිහෙක් වීම අමාරුයි.බුකියේ මිනිස්සුන් වෙමු.
නුවන් ගම්මම්පිල