ඉන්දියන් සාගරයේ මුතු ඇටය එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාව කියන මේ සුන්දර රටේ ඉපදෙන්න ඔබ අප හැමෝම වාසනාවන්ත වෙලා තියෙනවා. මේ සුන්දර ලංකාව පිරිසිදුවත්, ලස්සනටත් තියාගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ඉතින් ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩනඟාගන්න නම් පිරිසිදුකම, පිළිවෙළ කියන කාරණා අත්‍යවශ්‍ය වෙනවා. කසල පිරුණු, දුගඳ හමන කාණු එහෙමත් නැත්නම් අපේ වචනයෙන්ම කිව්වොතින් කුණු කානු නගරයක් නගරයක් පාසාම තිබුණොතින් අපි කොහොමද ලස්සන සුන්දර වගේම පිළිවෙළ පිරිසිදු රටක් ගොඩනගාගන්නේ?මේ කාරණාව දෙස බුද්ධිමත්ව වගේම විචාරශීලීව බලලා ඒ කාරණය සිතුවිල්ලකට විතරක්ම සීමා නොකර අතිශය සාර්ථක විදිහට ප්රායෝගිකත්වයට නංවමින් ස්මාර්ට් කානුවක් හඳුන්වා දෙන්න ලංකාවේ අපේ කාන්තාවක් සමත් වුණා. ඒ විතරක් නෙවෙයි මේ වෙනුවෙන් ඇය මෑතකදී අන්තර්ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වුණා. ඇය නමින් ආචාර්ය නදීෂා චන්ද්‍රසේන. ඉතින් අපි හිතුවා ඇයගේ කතාව ඇයගෙන්ම අහන්න.
මුලින්ම අපි දැනගන්න කැමතියි කවුද මේ නදීෂා…
මම නදීෂා චන්ද්‍රසේන. හික්කඩුවෙ සීනිගම කියන ගමේ තමයි මම ඉපදෙන්නේ. මේ වෙද්දි මම ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයේ තමයි පදිංචි වෙලා ඉන්නේ. මම විවාහකයි. මගේ ස්වාමිපුරුෂයා බර්ටි ලොකුලියන. ඒ වගේම තමයි මම තිදරු මවක්.
අපි කතාකරමු මේ ස්මාර්ට් කාණුව කියන සංකල්පය ගැන…
ඔව්, අවුරුදු 11 ක් තිස්සේ වැඩිදුරටත් සංවර්ධනය කරමින් වැඩ කටයුතු කරගෙන යන මගේම ව්‍යාපෘතිය තමයි මේ ස්මාර්ට් කානුව කියන සංකල්පය. සාමාන්‍යයෙන් අපේ නගරවල තියෙන කානුවල කුණු රොඩු, ප්ලාස්ටික් වගේ දේවල් පිරිලා ඒවා කානු අතරෙ හිර වෙනවා. ඉතින් මේ කානු සුද්ද කළේ නැති වුණෝතින් පොඩි වැස්සකදි වුණත් කානුවල වතුර පිරිලා ඒවා පිටාර ගලනවා.
ඇත්තෙන්ම ඒක නොවිය යුතු දෙයක්. මොකද එමඟින් නගරය අපවිත්‍ර වීමක් විතරක් නෙවෙයි විවිධ ලෙඩ රෝගයන්ගේ ව්‍යාප්තියත් වැඩිවෙන්න පුළුවන්.ඉතින් මේ තත්ත්වයට පිළියමක් විදිහට තමයි වැස්සත්, කුණු හිරවුණත් පිටාර නොගලන විදියට මම මේ ස්මාර්ට් කානුව හදන්න හිතුවෙ.
මේ වගේ දෙයක් කරන්න ඕන කියන අදහස ඔබට ඇතිවුණේ කොහොමද?
මම පාසල් ගියේ ගාල්ලේ. ඉතින් මම පාසල් යන කාලේ ගාල්ල නගරයේ පොඩි වැස්සකදි පවා කානු උතුරලා පාරට වතුර දානවා. සමහර වෙලාවට අදටත් මේ තත්ත්වය දැකගන්න පුළුවන්. ඉතින් ඒ දවස්වල පාසල් යද්දී අපිත් ඕනෑ තරම් සපත්තු ගලවලා අතේ අරන් පාසල් ගිහින් තියෙනවා. මේ කාරණය මට තදින්ම බලපෑවා. ඒ අනුව තමයි මේ වගේ දෙයක් මම කළ යුතුයි කියන අදහස ඇතිවෙන්නේ.
දැනට ලංකාවෙ මේ ස්මාර්ට් කානුව මොන පළාත්වලද ව්‍යාප්ත වෙලා තියෙන්නේ?
ඇත්තටම මේ වෙද්දි ලංකාවෙ එක තැනක තමයි මේ ස්මාර්ට් කානුව හදලා තියෙන්නේ. අම්බලන්ගොඩ බටපොළ මගේ යාළුවකුගේ පෞද්ගලික ඉඩමක තමයි මේක හදල තියෙන්නේ.
මොන විදිහටද මේ සංකල්පය සමාජගත කරන්න ඔබ බලාපොරොත්තු වෙන්නේ?
ඔව්, ඒ වෙනුවෙන් අපි මේ වෙද්දි අලුත් සංකල්පයක් හඳුන්වන දීලා තියෙනවා. “ඔබේ නගරයේ කානු හදාගන්න” එහෙමත් නැත්නම් “Build your own city drain” කියන සංකල්පය යටතේ තමන්ට අවශ්‍ය නම් ඒ අවශ්‍යතාව මත තමන්ගේ නගරයට මේ වගේ ස්මාර්ට් කානුවක් ඉදිකර ගන්න පුළුවන්.
එහිදී නගරයේ මිනිසුන්ගේ මැදිහත්වීමෙන් කණ්ඩායමක් විදියට වැඩ කටයුතු සිදුකරලා බලධාරීන්ගෙන් අදාළ අවසර රැගෙන මේ කානුව තමන්ගේ නගරයට ඉදිකර ගැනීමේ හැකියාව තියෙනවා.
ඒ කටයුත්තට අවශ්‍ය දැනුම, උපදෙස්, සැලසුම් සියල්ලම අපි ඔවුන්ට ලබාදෙනවා. මේ සංකල්පය ඔස්සේ ලංකාව පුරාම මේ ස්මාර්ට් කානුව ව්‍යාප්ත කරලා පිරිසිදු වගේම ලස්සන රටක් නිර්මාණය කරන එක තමයි අපේ කණ්ඩායමේ බලාපොරොත්තුව වෙන්නේ. ඒ වගේම Urban Inventors නමින් අපි Research and Development සමාගමක් ආරම්භ කරලා තියෙනවා. මේ හරහා ලෝකයටම මේ සංකල්පය රැගෙන යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
මේ වෙනුවෙන් මෑතකදී ඔබ අන්තර්ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වනවා. අපි ඒ ගැන කතා කරමු…
ඔව්, ඕස්ට්‍රේලියාවේ Good Design ආයතනය මගින් 1958 වර්ෂයේ සිට ගුඩ් ඩිසයින් අවෝර්ඩ්ස් (Good Design Awards) නමින් සම්මාන උළෙලක් පවත්වනවා. ඒ ඒ වර්ෂවල ලෝකයේ පවතින හොඳම නිර්මාණ මෙහිදී සම්මානයට පාත්‍ර වෙනවා. මේ වර්ෂයේ පැවති සම්මාන උළෙලේ ඉංජිනේරු නිර්මාණ කියන වර්ගය යටතේ මම මේ ස්මාර්ට් කානු ව්‍යාපෘතිය ඉදිරිපත් කළා.
මේ නිර්මාණ සඳහා ඔවුන් නිර්මාණ 5කට රන් සම්මානය ලබාදෙනවා. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයකට සාමාන්‍ය සම්මාන හිමි වෙනවා. මේ වර්ෂයේ දී මේ සම්මානය වෙනුවෙන් ලෝකයේ බොහෝ රටවල් ඉංජිනේරු නිර්මාණ ඉදිරිපත් කරලා තිබුණා.
උදාහරණයක් විදියට ලෝක ප්‍රකට ටෙස්ලා ආයතනය විසින් power wall three කියන නිර්මාණයත් ඉදිරිපත් කර තිබුණා. ඉතින් මේ යටතේ ඉදිරිපත් කළ සියලු නිර්මාණ අතරින් රන් සම්මානය සහ හොඳම ඉංජිනේරු නිමැවුමට හිමි සම්මානය මම ඉදිරිපත් කළ මේ ස්මාර්ට් කානු සංකල්පයට ලැබුණා.
මේ කාර්යය සාර්ථක කරගන්න ඔබ වටා ඉන්න කණ්ඩායම ගැනත් මතක් කළොත්…
ඔව් ඇත්තෙන්ම මේ මගේ ආචාර්ය උපාධි ව්‍යාපෘතිය. ඉතින් මේක සකස් කරලා මේ සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගනිද්දි මගේ කණ්ඩායම වුණේ මගේ ආචාර්ය උපාධියේ සුපරීක්ෂකවරුන් වෙන ආචාර්ය කමරු සමන් යුසොෆ් සහ ආචාර්ය සහිරා මුස්තාෆා යන දෙදෙනා. මීට අමතරව මම මේ වැඩේ ගැන මගේ facebook මිතුරන් කිහිප දෙනෙක් අතරත් සන්නිවේදනය කරගත්තා. මේ අයත් 2013 වර්ෂයේ ඉඳලා අද වෙනකල්ම මාත් එක්ක වැඩ කරනවා.
ජනක ප්‍රසන්න කුරුප්පු, දර්ශන විමුක්ති, සුජීව කෝකාවල, රන්සිරිමල් ප්‍රනාන්දු ප්රමුඛ මගේ facebook මිතුරන් මට මේ වැඩේට උදව් කරනවා. ඇත්තෙන්ම මුල් කාලේ අපි අපිව දැකලා අඳුරගෙන තිබුනෙවත් නැහැ.
නමුත් අපි මේ වැඩේ එකට එකතුවෙලා ඉතාම සාර්ථකව සිදුකරලා තියෙනවා. ඉතින් මේ ස්මාර්ට් කානුව සම්මානයට පාත්‍ර වෙන්නත්, මේක මේ තරම් සාර්ථක වෙන්නත් මේ පිරිස මට ශක්තියක් වුණා.
කාන්තාවක් විදිහට මේ වගේ සංකල්පයක් නිර්මාණය කරලා සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යද්දි ඔබට විවිධ අභියෝග එල්ල වෙන්න වෙන්න ඇති. ඒ ගැන කතා කළොත්…
ඇත්තටම වැඩක් කරද්දි මම කාන්තාවක් කියන කාරණය විශේෂ වෙන්නේ නැහැ.මොකද මම වැඩ කරන්නෙ බහුතරයක් පිරිමි පාර්ශ්වයත් සමඟ. ඉතින් සමාන අදහස් ඇති පුද්ගලයෝ එකට එකතුවෙලා එකට වැඩ කරනවා.
අපි මොන වැඩේ කරත් අභියෝග එනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි වැඩ කරද්දි කාන්තාවක්ද පුරුෂයෙක්ද කියන එක අදාළ කරගන්නේ නැතිව, කරන වැඩේ පිළිබඳ අවධානයෙන් ඒ ගැන උනන්දුවෙන් වගේම උද්යෝගයෙන් වැඩ කරනවා නම් මම හිතන්නේ නැහැ අභියෝග කියන දේවල් අපිට බාධාවක් වෙයි කියලා.
මේ වගේ වටිනා අදහස්, සංකල්ප එක්ක ඉදිරියට එන්න බලාගෙන තවත් බොහෝ අය මේ සමාජයේ ඇති. ඒ අයට මොන වගේ පණිවිඩයක්ද ඔබ ලබාදෙන්නෙ?
ඔව්, ඇත්තටම තමන් මොන දේ කරත් ඒ දේ සතුටින් නම් කරන්නේ ඒ කරන වැඩේට මූලික අවධානය දීලා උනන්දුවෙන් වගේම උද්යෝගිමත්ව ඒ කාර්යය සිදු කරන්න. එමගින් ඔයා කරන කාර්යය සාර්ථක වෙනවා විතරක් නෙවෙයි තමන්ගේ අරමුණුවලට සාර්ථකව ළඟා වෙන්නත් ඒක ඔයාට උදව්වක් වෙනවා. තමන් කරන වැඩේ වෙනුවෙන් 100% ක්ම කැපවෙන්න. තමන්ටම ආවේණික වන තමන්ගේම විදියකින් ඉස්සරහට යන්න. එතකොට ඔයාගේම විදියකට ඔයාගේ සාර්ථකත්වයට ළඟාවෙන්න පුළුවන්.
ටෂ්මි ගමගේ ✍️