නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හුස්ම යදින මිනිසකුට වකුගඩුවක් දී  ජ’පුර වකුගඩු බද්ධ කිරීමේ කණ්ඩායම දකුණු ආසියාවේ 01 වෙයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හුස්ම යදින මිනිසකුට වකුගඩුවක් දී  ජ’පුර වකුගඩු බද්ධ කිරීමේ කණ්ඩායම දකුණු ආසියාවේ 01 වෙයි

Published September 30, 2024

ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය සභාව (The College of Surgeons of Sri lanka) මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර සමුළුවේදී මෙවරත් SAARC Oration  2024 අංගය පවත්වනු ලැබුවා. එහිදී සාර්ක් රටවල් නියෝජනය කරමින් එම රටවල ශල්‍ය වෛද්‍යවරුන් එම රටවල්වලට ලබාදුන් විශේෂිත වූ ශල්‍ය සේවාවන් මෙන්ම ඒ රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට සිදුකළ නව සොයාගැනීම් සම්බන්ධයෙන්ද ඇගයීමක් කරනු ලැබුවා. මෙවර සාර්ක් ඔරේෂන් සදහා ශල්‍ය වෛද්‍ය කණ්ඩායම් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වී සිටියා. එහිදි දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ ශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍යවරුන් නියෝජනය කරමින් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මෞත්‍රලිංගික සහ වකුගඩු බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිරෝෂන් සෙනෙවිරත්න ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමයි.

ඔබ ඇතුළු ඔබේ වෛද්‍ය කණ්ඩායමට රන් පදක්කම ලැබෙන්නට විශේෂිත වූ හේතුව සඳහන් කරමින් අපි කතාව පටන් ගනිමු…

ප්‍රධාන වශයෙන්ම මම කිව්වේ තුන්වන ලෝකයේ රටක් විදිහට අපිට තියෙන අවම පහසුකම් යටතේ වකුගඩු බද්ධ කිරීමට වකුගඩු දායකයන් සොයාගන්නේ කොහොමද කියන ක්‍රියාවලිය ගැනයි. ඇත්තෙන්ම 2012 සිට 2022 දක්වා අවුරුදු 10 ක් තිස්සේ වකුගඩු බද්ධ කිරීම් 300 කට වැඩි ප්‍රමාණයක් ජයවර්ධනපුර මහ රෝහල තුළ අපේ කණ්ඩායම කර තිබෙනවා.

සැබැවින්ම තුන්වන ලෝකයේ රටක් විදියට මෙය ඉතා විශාල ප්‍රමාණයක්. මේ ප්‍රමාණය කිරීමට නම් මේ සඳහා වකුගඩු පරිත්‍යාශීලීන් සිටීම අත්‍යවශ්‍යයි. ඉතින් මේ සඳහා පරිත්‍යාගශීලීන් තුන්සීය දෙනෙක් සොයාගැනීමට සිදුකරපු ක්‍රියාවලිය ගැන තමයි මම මෙතනදි ඉදිරිපත් කළේ. ඒ වෙනුවෙන් සිදු කළ විශේෂිත කාර්යයන් නිසා තමයි අපට මේ රන් සම්මානය හිමි වෙන්නෙ. කොටින්ම කිව්වොත් අපිව රන් සම්මානයෙන් ඇගයීම ලක්වුණේ දීර්ඝකාලීන කැපවීමක ප්‍රතිඵලයක් වශයෙන්.

මෙම සමුළුව සඳහා සම්බන්ධ වුණු වෙනත් රටවල පිරිස ගැනත් කතා කළොත්…

මෙම සමුළුවට ප්‍රධාන වශයෙන්ම ලංකාවේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සහභාගී වුණා. එහි වර්තමාන සභාපති වෛද්‍ය එස්. එම්. එම්. නියාස් වගේම සාර්ක් ශල්‍ය වෛද්‍ය සංගමයේ සභාපති නේපාල ජාතික වෛද්‍ය සුනිල් ශර්මා ඩකාල් වැනි අයත් එකතු වුණා.

මීට අමතරව සාර්ක් රටවල් නියෝජනය කරමින් ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය වැනි රටවල ශල්‍ය වෛද්‍යවරුන්ට අමතරව එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් නියෝජනය කරමින් විශාල වෛද්‍ය පිරිසක්ද එකතු වෙලා සිටියා.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගී තත්ත්වය ගැන කතා කළොත්…

අපි ඒ ගැන කතා කළ යුතුමයි. අපි මුලින්ම කල්පනා කළේ තුන්වන ලෝකයේ රටක් විදිහට අපිට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. එතනදි අපිට හඳුනාගන්න ලැබුණා අපේ රටේ වකුගඩු රෝගය බහුලව පැතිරිලා තිබෙන බව. එය ප්‍රමාණාත්මකව ගත්තොත් එක්ලක්ෂ පනස් දහසක රෝගීන් සංඛ්‍යාවක්.

ඉන් හයදහසක් පමණ තීව්‍ර වකුගඩු අකර්මන්‍යතවයකට ගොදුරු වූ රෝගීන්. අපේ රටේ මේ හා සම්බන්ධව සිදු කරන දත්ත රැස්කිරීම් නිසි ආකාරයට සිදු නොවන නිසා මේ අගයන් තවත් වැඩිවෙන්න පුළුවන්. ඒ කියන්නෙ මේ ප්‍රශ්නය අපිට පේනවාටත් වඩා ගොඩක් වැඩි තැනක තමයි මේ රටේ දැන් තියෙන්නෙ.

CKDU (Chronic kidney disease of unknown etiology ) ලෙස හඳුනාගන්නා කෘෂිකාර්මික ප්‍රදේශවල කෘමි නාශක භාවිතය සම්බන්ධයෙන් ඇතිවන වකුගඩු රෝගී තත්ත්වය උතුරු මැද පලාතේ පමණක් නෙවෙයි අද වනවිට ලංකාවේ සෑම තැනකින්ම වාර්තා වෙනවා.

මෙයට තිබෙන එකම විසඳුම ඩයලිසිස් සහ ට්‍රාන්ස්ප්ලාන්ට් කිරීමයි. අපේ රටේ ඩයලිසිස් කියන ප්‍රතිකාරය වකුගඩු රෝගීන්ට රජයේ රෝහල්වලින් නොමිලේ ලබාදෙනවා. නමුත් මේ තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යන්න නම් රජයකට විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඒ වගේම තමයි ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්නත් විශාල පිරිවැයක් වැය වෙනවා.

දීර්ඝ කාලීන වකුගඩු රෝගියකුට රුධිර කාන්දු පෙරීම හෝ වකුගඩු බද්ධය යන ප්‍රතිකාර විධි දෙකෙන් ඔබ වඩාත් අනුමත කරන්නේ කුමක්ද?

මුල්ම කාරණය තමයි මේ රටේ බොහෝ අය දන්නෙ නැහැ වකුගඩු බද්ධයකට ( Kidney Transplant ) යන පිරිවැය අවුරුද්දක් රුධිර කාන්දු පෙරීමකට යන පිරිවැයට වඩා අඩු බව. දෙවනි කාරණය තමයි යම් වකුගඩු රෝගියෙකුට වකුගඩු බද්ධයක් කළාම නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් බව.

එවිට එම රෝගියාට සමාජ සුබසාධනය වෙනුවෙන් දායක වෙන්නත් පුළුවන්. නමුත් රුධිර කාන්දු පෙරීම කරන රෝගියකුට සදාකාලිකවම රෝගියෙක් විදියට තමයි ජීවිතය ගෙවන්න වෙන්නේ. ඉතින් මේ ගැන සලකා බැලීමේදී වකුගඩු බද්ධය තමයි වකුගඩු රෝගියකුට වඩාත් ඵලදායී ජීවිතයක් ගතකරන්න සුදුසුම වෙන්නෙ.

ඒ වෙනුවෙන් මොන වගේ දේවල්ද රටක් විදියට අපට කරන්න පුළුවන්…

ඇත්තෙන්ම මේ වකුගඩු බද්ධයක් සඳහා අපිට මූලික දේවල් තුනක් අවශ්‍ය වෙනවා.

  • ප්‍රාග්ධනය
  • ඖෂධ සහ ශල්‍ය උපකරණ
  • පුහුණු වෛද්‍යවරුන්

ලංකාවෙ දළ දේශීය නිෂ්පාදිතයෙන් ( GDP) 2% ක් තමයි සාමාන්‍යයෙන් සෞඛ්‍ය අංශයට මුදල් වෙන් කරන්නේ. නමුත් වෙන රටවල මෙය 10% ක් විතර වෙනවා. ඒ නිසා ලංකාවේ මේ සඳහා ලබාදෙන ප්‍රාග්ධනය වැඩි කිරීම මූලිකවම කළ යුතුයි.

අනිත් කාරණය වෙන්නෙ මෙයට අදාළ උපකරණ සහ සේවා ලබාදීම කාර්යක්ෂම කිරීමයි. එයිනුත් වැදගත්ම කාරණය වෙන්නේ මේ සඳහා පුහුණු වෛද්‍යවරුන් ලබාදීමයි.

ඇත්තෙන්ම රටේ ඇතිවුණු ආර්ථික ප්‍රශ්න නිසා දැනටමත් මේ සම්බන්ධයෙන් හිටපු පුහුණු වෛද්‍යවරුන් පන්සීයක් පමණ රට අතහැරල ගිහින් තියෙනවා. ඉතින් ලංකාවෙ දැනට ඉතිරි වෙලා ඉන්න වෛද්‍යවරුන්ගෙන් තමයි අපි මේ කාර්යය සාර්ථකව කරගෙන යන්නේ. වැදගත්ම කාරණය වෙන්නෙ මේ හැමදේම තිබුණත් වකුගඩු පරිත්‍යාගශීලීන් නැත්නම් මේ කාර්යයන් කිසිවක් සිදුකරන්නට නොහැකිවීමයි.

ඒ වෙනුවෙන් අපි විශේෂ වැඩසටහනක් ආරම්භ කළා. රෝහලකට ප්‍රතිකාර ගැනීම සඳහා වකුගඩු රෝගියකු පැමිණියත් වකුගඩුවක් පරිත්‍යාග කිරීම සඳහා කෙනෙකු රෝහලකට එන්නෙ නැහැනෙ. මන්ද ඔවුන් නිරෝගී පුද්ගලයන් වන නිසා. විශේෂයෙන්ම නිරෝගී පුද්ගලයකුගෙන් වකුගඩුවක් ලබා ගැනීමේදී උදරය කැපීමක් සිදුකරන බැවින් උදරයේ ලොකු තුවාලයක් ඇතිවෙනවා.

ඒ නිසා ඔහුට හෝ ඇයට සාමාන්‍ය තත්ත්වයට පත්වීමට වේදනානාශක ඖෂධ ලබාදීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ටික කාලයකුත් ඒ වෙනුවෙන් වැයකරන්න සිද්ධ වෙනවා. එතනදි මේ නිරෝගී පුද්ගලයාට සිදු කරන්න වෙන කැපකිරීම ගොඩක් ඉහළයි.

විශේෂයෙන්ම උදරය කැපීමෙන් ඇතිවන කැළල නිසා ඔවුන්ට කැමති ඇඳුමක් ඇදීමට පවා නොහැකි වෙනවා. මෙවැනි පරිත්‍යාගශීලීන් තව තවත් වැඩි වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම මේ පරිත්‍යාගශීලීන්ගෙ පැත්තෙන් හිතලා ඔවුන්ට සිදුවෙන අපහසුතාවන් අවම වෙන විදියට වැඩ කළ යුතුයි.

ඒ වෙනුවෙන් ඔබ ඇතුළු කණ්ඩායම මොනවගේ ක්‍රියාමාර්ගයක්ද මේ වෙනකොට ගෙන තිබෙන්නේ ?

ඒ වෙනුවෙන් තමයි ජයවර්ධනපුර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ අංශයේ අපි වකුගඩු පරිත්‍යාගශීලීන් වෙනුවෙන් යතුරු සිදුරු ක්‍රමය හෙවත් ලැපරස්කොපි භාවිත කරමින් වකුගඩු ලබාගැනීමේ ක්‍රමවේදය ආරම්භ කළේ. එහිදී උදරය කැපීමකින් තොරව වකුගඩුව ඉවත් කරගැනීමයි අපි කරන්නේ.

මෙමගින් වකුගඩු පරිත්‍යාගශීලීන්ට ඇතිවන වේදනාව අවම වෙනවා. ඔවුන් මුහුණ දෙන අපහසුතා ප්‍රමාණාත්මකව අවම වෙනවා. ඒ නිසා අපිට පුළුවන් මෙම පරිත්‍යාගශීලීන්ගෙන්ම මෙම ක්‍රියාවලිය පිළිබඳව සමාජ දැනුවත්භාවයක් ඇති කරමින් සමාජයට පණිවිඩයක් රැගෙන යන්න. අපි මුලින් සඳහන් කළ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම තුන්සියයෙන් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් අපි කළේ යතුරු සිදුරු ක්‍රමය භාවිත කිරීමෙන්.

ඒ වගේමයි මෙහි දෙවැන්න විදියට අපි ලැපරස්කොපි ශල්‍යකර්මය කිරීමට 3ෘ තාක්ෂණය යොදාගන්නවා. ඒ හරහා අපිට පුළුවන් වෙනවා පරිත්‍යාගශීලියාට අවම හානියකින් තොරව ඉතාම සියුම්ව මෙම ශල්‍යකර්මය සිදුකරන්න. ඒ නිසා විශේෂයෙන්ම රුධිර වහනය අඩු කර ගන්නත් පුළුවන් වෙලා තියෙනවා.

තුන්වෙනි ක්‍රමය වෙන්නෙ අපි මේ සඳහා රොබෝ තාක්ෂණය භාවිත කිරීමයි. ඇත්තෙන්ම මෙමඟින් සාමාන්‍යයෙන් පුහුණු මිනිස් ශ්‍රමයෙන් වුණත් සිදුවිය හැකි ප්‍රමාදයන් සහ අතපසුවීම් සාර්ථකව මඟහැරගෙන තිබෙනවා.

පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගන්න වකුගඩු ප්‍රමාණය මදි වුණොත් ඒ වෙනුවට විකල්ප ක්‍රමවේදයක් තිබෙනවද ?

ඔව් ඇත්තෙන්ම ඒ වෙනුවෙන් විකල්පයක් විදියට අපි මොළය මියගිය පුද්ගලයන්ගෙන් වකුගඩු ලබාගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කළා. මෙය සමාජගත කරන්න අපි 2018 පෙබරවාරි 18 වෙනිදා අවයව දන්දීමේ දිනය බවට ප්‍රකාශයට පත්කළා.

කෙනෙකු මියයාමෙන් පසුව තම අවයව දන්දීමට කැමති නම් ඔවුන් ජීවතුන් අතර සිටියදීම අවයව පරිත්‍යාග කිරීම සඳහා කැමත්ත පළකරන ඩෝනර් කාඩ් ( Organ Donor Card ) පතක් හඳුන්වා දුන්නා. ඊට අමතරව මොළය මියයෑමත් සමඟ අවයව පරිත්‍යාශීලීන් අගය කිරීම සඳහා අපේ රෝහලේ ස්මාරකයක්ද තියෙනවා. මෙවැනි ක්‍රියා මගින් අපි බලාපොරොත්තු වෙන්නෙ මියගිය අයගෙන් වකුගඩු ලබාගැනීමේ ක්‍රමවේදය මෙරට ජනතාව අතර ප්‍රචලිත කරන්නයි.

ඔබට මේ කාර්යය සාර්ථකව සිදු කරන්න හොඳ කණ්ඩායමක් ඉන්නවා ඇති. අපි ඒ ගැනත් කතා කරමු…

ඇත්තෙන්ම මම නායකත්වය දීලා මේ දේ කළාට මගේ පිටුපස මට ශක්තියක් වෙන්න දක්ෂ පළපුරුදු කණ්ඩායමක් ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට කණිෂ්ට වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, කණිෂ්ට සේවකයන් සහ ගිලන්රථ රියදුරා දක්වා විශාල පිරිසක් මේ වෙනුවෙන් අපට සහාය ලබාදෙනවා. ඉතින් මේ සම්මානය මේ කාර්යයට සහය දුන් ජයවර්ධනපුර රෝහලේ සමස්ථ කාර්යය මණ්ඩලය වෙනුවෙන්ම ලැබුණු එකක්.

මෞත්‍රලිංගික සහ වකුගඩු බද්ධ කිරීම පිළිබඳ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය
නිරෝෂන් සෙනෙවිරත්න

හරින්දී ලියනගේ ✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?