විරාජිණී තෙන්නකොන් — ස්වර්ණ පුස්තක සම්මානලාභිනී-2024
විරාජිනී තෙන්නකෝන් කියන නම අපේ දෙසවන්වලට ගොඩක්ම හුරුපුරුදු නමක් වුණේ 2019 අවුරුද්දෙ පොතකට හම්බුණ වැඩිම සම්මාන ගණනක් දිනාගත්තු ලේඛිකාව ඇය වූ නිසා. සාහිත්‍යට අගෑලුම් පාන කාටත් ඒ සම්මාන රාශිය තමන්ගේ කරගත් ‘මකරානන්දය’ මතකයෙන් ගිලිහෙන්න විදිහක් නෑ. සිය ජීවිතේ ප්‍රථම වතාවට මෙවර විරාජිනීට ස්වර්ණ පුස්තක සම්මානය හිමිවෙන්නෙ තේ දල්ලේ කතාව අපූරුවට අකුරු කළ ‘කැමෙලියා’ වෙනුවෙනුයි. අද අපේ කතා නායිකාව ඇයයි…
මෙවර ස්වර්ණ පුස්තක සම්මානය ඔබට හිමිවෙන්නේ පළමු වතාවට. ඒ සතුට වචන කරමු…
පළමු වතාවට ස්වර්ණ පුස්තක සම්මානය හිමිවුණා වගේම පළමු වතාවට තමයි ස්වර්ණ පුස්තක ෂෝට් ලිස්ට් එකටත් මගේ පොතක් ඇතුළත් වුණේ. ඒ වගේම කැමෙලියා මෙවර විද්‍යා්දය අවසන් කෘති හතරටත් තේරී පත්වූණා. සම්මානයක් කියන්නෙ මොන ක්ෂේත්‍රයක කෙනෙක්ට හම්බුණත් ඇගයීමක්නේ.
ඇගයීමක් කියන්නෙ ඒ කෙනාගේ නිර්මාණකරණයට ලැබෙන උත්තේජනයක්. මෙවැනි උත්තේජනයක් ලැබීම ලේඛකයකුගේ ඉදිරි නිර්මාණ කටයුතුවලට බෙහෙවින්ම බලපානවා. ඒ වගේම මං හිතනවා මට හොඳම සම්මාන ලැබෙන්නෙ පාඨකයින්ගෙන් කියලා. සම්මාන ලැබුණත් නොලැබුණත් මම ඉදිරියටත් ලේඛන කලාවේ නියැළෙනවා.
මකරානන්දය කෘතියෙන් වසර හතරකට පමණ පසුවයි ඔබ කැමෙලියා ලියන්නේ…
ඔව්. මම සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට එක නිර්මාණයක් කරලා පොඩි විවේකයක් ගන්නවා ඊළඟ නිර්මාණයට අතගහන්න. මොකද මම එක රිද්මයකට නතුවෙලයි එක් පොතක ලිවීමේ කටයුතු කරන්නේ.
ඉතින් මට ඒ රිද්මයෙන් ටිකක් බැහැර වෙන්න සිද්ධ වෙනවා ඊළඟ නිර්මාණයට යන්න. එහෙම නැති වුණොත් කලින් කරපු නිර්මාණයේ රිද්මයම ඊළඟට කරන නිර්මාණයටත් එන්න පුළුවන්.විවේකයක් කිව්වට මම ඒ කාල සීමාවෙදි කරන්නෙ විශාල වශයෙන් කියවීමේ යෙදෙන එක.
කොච්චර කාලයක් කැමෙලියා වෙනුවෙන් වෙන් කළාද?
මට කැමෙලියා ලියන්න අවුරුදු එකහමාරක් වගේ කාලයක් ගතවුණා. මොකද ඊට අදාළ තොරතුරු සහ පර්යේෂණ කටයුතු වෙනුවෙන් මට ලොකු කාලයක් ඕනෙ වුණා.
මොකද්ද මේ ‘කැමෙලියා‘?
කැමෙලියා සිනෙන්සිස් කියන්නේ තේ ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය. 1906 – 1931 දක්වා කාලය තුළ ලංකාවේ තේ වගාව පැවතුණ ආකාරය සහ ඒ සඳහා කම්කරුවන් විදිහට දකුණු ඉන්දීය ද්‍රවිඩ පුද්ගලයින් ලංකාවට රැගෙන ඒම, අද දක්වාම පවතින ඔවුන්ගේ ඛේදවාචකය, තේ වතු හිමියන් තේ වතු වෙනුවෙන් ධනය, ශ්‍රමය, කාලය වැය කළ අයුරු තමයි කැමෙලියා පොතේ ඇතුළත් වෙන්නේ.
ඔබ කැමති මොන ශානරයේ පොත්වලටද?
මට එහෙම විශේෂයක් නෑ. හොඳ නිර්මාණයක් නම් මට ශානරයේ ගැටලුවක් නෑ. ඒ වගේම මගේ ලේඛනයත් එක ශානරයකට කොටු කරගන්නෙ නෑ.
ඔබ නීතීඥවරියක්. කොහොමද මේ කාර්යබහුල රැකියාවත් එක්ක ලිවීමට වෙලාව වෙන් කරගන්නෙ?
ලියන වැඩවලට වෙලාව වෙන් කරගන්න ටිකක් අපහසුතාවයක් තියෙනවා පූර්ණකාලීනව මං රැකියාවේ යෙදෙන නිසා. මොකද රැකියාව නවත්තලා නිර්මාණකරණයේ යෙදෙන්න මට හැකියාවක් නෑ. නමුත් කාලය කළමනාකරණය කරගෙන රැකියාවත් එක්කම ලිවීමේ කටයුතුකරගෙන යනවා.
කොහොමද ලේඛන කලාවට පිවිසෙන්නෙ?
මම කුඩා දැරියක් කාලෙ ඉඳන්ම පොඩි පොඩි ලිවීම් කළා. ලිවීමෙන් ඔපවත් වෙන්න ඇතිතරම් කාලය මට තිබුණා. විශේෂයෙන්ම කුඩා කාලයේ ඉඳන්ම පොත් කියවීමට ලොකු උනන්දුවක් තිබුණා.
ගොඩක් ලේඛක ලේඛිකාවො වගේම මමත් කියවීම හරහා තමයි ලිවීමට ප්‍රවිශ්ඨ වෙන්නේ. මම අදටත් විශ්වාස කරන දෙයක් තමයි කියවීමකින් තොර ලිවීමක් නෑ කියන දේ. කුඩා කාලයේ සාමාන්‍ය ළමයෙක් විදිහට ගොඩනැගුණු ඒ ලිවීමේ හැකියාව තමයි පසුකාලීනව මෙහෙම වර්ධනය වුණේ.
ලේඛන කලාවේ පූර්වාදර්ශී චරිතයක් ඉන්නවද?
චරිත නෙවේ, පූර්වාදර්ශී නිර්මාණ කිහිපයක්ම තියෙනවා. අපි නිර්මාණනෙ කියවන්නේ. එවැනි වටිනා නිර්මාණයක් හම්බුණොත් අදටත් මං ගවේෂණයේ යෙදෙනවා. දේශීය වේවා විදේශීය වේවා ඒ හැම නිර්මාණයකින්ම මගේ නිර්මාණකරණයට ඒවා උදව් කරගන්නවා.
මට ලිවීමට ආසාව ඇති කරවපු කතුවරු ලංකාවේ වගේම පිටරටවලත් ඕනතරම් ඉන්නවා. ඔවුන්ගේ නිර්මාණ හරහා තමයි ලේඛන කලාවට මට ආසාවක්, උනන්දුවක් ඇතිවෙන්නේ. ඒ බලපෑම මට තාමත් ඔවුන් ඇතිකරනවා. එහෙම නම් වශයෙන් කියන්න ගියොත් සෑහෙන නම් පිරිසක් තියෙනවා.
එරංදි කෞශල්‍යා ✍️