ඒ නිසා වාස්තුවට අනුව පඩිපෙළ තියන්න
අප ජීවත් වීම සඳහා නිවසක් ඉදිකිරීමේදී එම නිවස තුළ ගෘහ අංගයන් දිශාගත කරවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතුය. මෙමගින් අප බලාපොරොත්තු වන්නේ තම නිවස සහ සොබාදහමේ හැසිරීම එකිනෙකට තුලනාත්මකව ගලපා ගැනීමයි. එමෙන් ම වර්තමානයේ ඉඩම් කුඩා වීම මත සහ පුද්ගල අවශ්‍යතා සහ රුචිකත්වය මත නිවාස ඉදි කිරීමේ දී තනි තට්ටුවේ නිවාස වෙනුවට මහල් කීපයක් යුතුව නිවාස ඉදි කිරීම වර්තමානයේ ඉතාම සුලභ කරුණක් වශයෙන් පෙන්වා දිය හැකිය. මෙම මහල් කීපයකින් යුතුව නිවාස ඉදි කිරීම යන කාරණාවේදී පහත මාලය සහ ඉහත මාලය එකිනෙකට සම්බන්ධ කරන නිවසක ගෘහ අංගයක් වශයෙන් තරප්පු පෙළ එනම් පඩිපෙළ හඳුන්වා දිය හැකිය. පඩිපෙළ නැමැති මෙම ගෘහ අංගය පිළිබඳව ඉතා නිවැරදි දිශාගත කරවීමක් සහ එම දිශාවන්හිදි ද සුදුසු පරිදි ඉදිකළ යුතු දෙයකි.
සාමාන්‍යයෙන් පඩිපෙළක් නිර්මාණය කිරීම සඳහා සුදුසුම දිශාව වශයෙන් බටහිර සහ දකුණු දිශාව සුදුසු බව වාස්තු ශාස්ත්‍රීය පිළිගැනීම වේ. මෙයට එක් උදාහරණයක් වශයෙන් අතීත රාජධානි ගොඩනැගිලි ද පෙන්වා දිය හැකිය. ක්‍රි.ව. 1153 – 1186 කාලය තුළ ඉදිකරන ලද පොළොන්නරුව මහා පරාක්‍රමබාහු රාජ මාලිගය ද මහල් 7ක ගොඩනැගිල්ලක් ලෙස එකල ඉදිකර ඇත.
මෙම මාලිගාව තුළ ද ඉහත සඳහන් කළ පරිදි පඩිපෙළ සඳහා සුදුසු දිශාවක් වන දකුණු දිශාවේ මෙහි පඩිපෙළ ඉදිකර ඇත. තවද එහි නැග්ම නැගෙනහිර දිශාවට යොමුවී ඇත. සාමාන්‍යයෙන් පඩිපෙළක ඇති පඩි සංඛ්‍යාව ඔත්තේ අගයක් වීමත් සුදුසු ය. මෙය පඩිපෙළ නැගීමටත් පහසුවකි.
පෙර සඳහන් පරිදිම බටහිර සහ දකුණ දිශාව පඩිපෙළ ඉදිකිරිම සඳහා සුදුසු වූවද මේ සඳහා ඊසාන සහ නිරිත යන දිශාවන් යුගලය නොගත යුතුය. තවද හැකි සෑම අවස්ථාවකදීම උතුරු දිශාවද මේ සඳහා නොගැනීමත් සුදුසු ය.
සාමාන්‍යයෙන් නිවසකට සුබ ශක්තීන් පැමිණෙන ඊසාන දිශාව බාධා කිරීමත් එමෙන්ම එම ශක්තීන් තැන්පත් කර ගන්නා නිරිත දිශාවද බාධා කරගැනීම නිවැසියන්ට ගැට`ඵකාරී තත්වයන් ඇති කරවයි.
එමෙන්ම දකුණු දිශාවට හැරවෙන ලෙස පඩිපෙළ නිර්මාණය කිරිම සුදුසු ය. මෙය පුද්ගලයන්ගේ හුරුවට සමාන වීමක් වශයෙන්ද හැඳින්විය එැකිය. එනම් මිනිසුන්ට දකුණු දිශාවට හැරීම ප්‍රායෝගිකව පහසුවේ.
එමෙන්ම පඩිපෙළ සැළසුම් කිරීමේදි එහි තවත් ප්‍රායෝගික කරුණු වශයෙන් ප්‍රමාණයන්ද සැලකිල්ලට ගත යුතුය. මෙහි පාදය තබන කොටස අවම වශයෙන් අඟල් 10” ක ප්‍රමාණයක් තිබිය යුතුය.
මෙහිදී පාදය හොඳින් පඩිය මත සමබරව තබා ගැනීමට පහසුවකි. එමෙන්ම පඩියක උස අගල් 6” පමණ වීමත් ඉතාම සුදුසු වන අතර එමඟින් වැඩි මහන්සිවීමකින් තොරව ඉහළ මහල වෙත ගමන් කළ හැකිය.
පඩියක පළල අවම වශයෙන් අඩි 3’ – 0” විය යුතුය. නමුත් එය අඩි 3’ – 0” වඩා අමතරව අගල් කීපයක් පළල් වීම වඩාත්ම සුදුසු ය. මහල් අතර යම්කිසි බඩු බාහිරාදිය රැගෙන යාමටත් මෙය පහසුවකි. එමෙන්ම පුද්ගලයින් කිහිප දෙනෙකු මහල් අතර ඉහළ පහළ ගමන් කිරීමේදී ඔවුන්ටද පහසුවක් ඇති වේ.
එමෙන්ම තවත් වැදගත් කරුණක් වශයෙන් පඩිපෙළ ඉදිකිරීමේදී එය නිවසක මධ්‍ය ලක්ෂය හසුවන ලෙස ඉදිනොකළ යුතුය. සාමාන්‍යයෙන් නිවසක නිදහස් ස්ථානයක් විය යුතු මෙන්ම නිවසේ ඉතාම පිරිසිදුව තබා ගත යුතු ස්ථානයක් වන මධ්‍ය ලක්ෂය එනම් නිවසේ හරිමැද පීඩාවන ලෙස විශාල බරකින් යුතු පඩිපෙළක් ඉදිවීම අහිතකර තත්ත්වයකි. මහල් කිපයක නිවසක් ඉදිකිරීමේදි මේ පිළිබඳව වැඩි අවදානයක් යොමු කළ යුතුය. එමෙන්ම නිවසේ අනෙකුත් ප්‍රධාන මරමස්ථානද හඳුනාගෙන එම ස්ථානවලටද හසු නොවන පරිදි මෙය ඉදිකිරිම ඉතාම සුදුසු ය.
සාමාන්‍යයෙන් නිවසක අලංකාරත්වයටද බලපෑමක් ඇති කරවන මෙම පඩිපෙළ විවිධ අමුද්‍රව්‍ය යොදා නිර්මාණය කරයි. එමෙන්ම මෙහි ප්‍රමාණය මත වැඩි වර්ග අඩි ප්‍රමාණයක් මේ වෙනුවෙන් යොදා ගැනීමට සිදුවන නිසා පඩිපෙළ යට ඇති ඉඩ ප්‍රමාණය විවිධ පුද්ගල අවශ්‍යතා මත ප්‍රයෝජනයට ගැනීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. නමුත් එය ඉතාම කල්පනා කාරිව සිදු කළ යුතුය.
ඇතැම් අවස්ථාවල පඩිපෙළ යට ඇති ඉඩ ප්‍රමාණය ප්‍රයෝජනයට ගැනීමට සිතා ඉතාම කලාතුරකින් වුවද පූජාසනය ඉදිකරන අවස්ථාවන් ඇත. මෙය පූජාසනයට ඉහලින් ගමන් කිරිමකි. මෙය නොදැනුවත්කම මත හෝ සිදු කරනු ලබන ඉතාම නුසුදුසු ක්‍රියාවකි. පඩිපෙළ යට පූජාසනය තිබීම තම ආගමික ශාස්තෘන් වහන්සේලාට කරන අගෞරව කිරීමකි.
තවද කුඩා ළමුන්ගේ අධ්‍යාපන ස්ථානයද පඩිපෙළ යට යොදා නොගැනීමත් ඉතාම සුදුසු ය. මීට අමතරව තම තමන්ගේ ජිවිතවල වැදගත් අවස්ථාවන්වල ලබාගත් ඡායාරූප ආදියද පඩිපෙළ යට නොතබාගැනීම ඉතාම සුදුසු ය.
නමුත් මෙම අපතේ යන ඉඩ ප්‍රමාණය ප්‍රයෝජනයට ගැනිමක් වශයෙන් විදුරු, සෙරමික් වැනි භාණ්ඩ වැනි දේ ගබඩා කර ගැනීම සඳහා කබඩ්, රාක්ක ආදිය නිර්මාණය කරගත හැකිය. එමෙන්ම වාස්තු ශාස්ත්‍රය තුලදී තමා ජීවත්වන ස්ථානය තමාට ජිවත්වීම සඳහා සුදුසු ආකාරයට සකස් කර ගැනිම නිර්මාණය කර ගැනිම සහ කළමණාකරණය කර ගැනීම පිළිබඳව අවදානය යොමු කරයි.
මෙහිදි නිවස තුළ ජිවත්වන අයගේ ආරක්ෂාව පිළිබඳව සලකා බැලිය යුතුය. සාමාන්‍යයෙන් නිවසක අනතුරු ආදිය සිදුවන තරමක් ආවදානම් සහගත ස්ථානයක් වශයෙන් පඩිපෙළ හඳින්විය හැකිය.මෙම කාරණාව පිළිබඳවද සලකා බැලිමේදී පඩිපෙළ ආශ්‍රිතව සිදුවන අනතුරු වැළකෙන පරිදි මෙය නිර්මාණය කරගත යුතුය.
මෙහිදී නිවසේ පොළවත් පඩිපෙළටත් යොදන වර්ණයන්ගේ සුළු හෝ වෙනස්වීමක් තිබිය යුතුය. විශේෂයෙන්ම නිවසක පොළව ටයිල් කිරීමේදි පඩිපෙළ ඇති ස්ථානයටද වෙනත් වර්ණ සහිත ටයිල් යෙදිම මඟින් එම ස්ථානය හොඳින් වෙන්කර හඳුනා ගැනීමට පහසුවකි. එමෙන්ම මෙහි යොදන ටයිල් සඳහා විශේෂයෙන් සෑදූ පඩිපෙළ පාදය තබන ස්ථානයේ කෙරවල කට්ටා වැනි රේඛා යෙදු විශේෂ ටයිල් වර්ගද ඇත. මෙවැනි ටයිල් වර්ග භාවිත කිරීම මඟින් පඩිපෙළේ ගමන් කරන අවස්ථාවල එයින් ලිස්සා වැටීම වැනි අනතුතරුවලින් ආරක්ෂාවීමෙ හැකියාවද ඇත. එමෙන්ම මෙයට යොදන අත්වැට පිළිබඳවද විශේෂ අවදානයක් යොමු කළ යුතුය. මෙම අත්වැට අතරින් යොදනු ලබන යකඩ කම්බි හෝ ඒ ආශ්රිත වෙනයම් හෝ ද්‍රව්‍යයන් අතර දුර අගල් 6” ක පමණ දුරකින් සිටින ලෙස තිබීම ඉතාම සුදුසු ය. මෙමඟින් කුඩා දරුවන් ඒ අතරින් රින්ගා යාමෙන් සුදුවන අනතුරුද වළකා ගත හැකිය.
තවද මෙම අයිතමයන් හරස් ආකාරයට තිබීම නුසුදුසු ය. ඒ විටද කුඩා දරුවන්ට ඒ වැනි ස්ථාන පහසුවෙන් අල්ල ඉහලට නැගිමේ අවදානම ඇති බැවින් එම අයිතමයන් ඉහළ සිට පහළට (සිරස් ආකාරයට) සිටින ලෙස නිර්මාණය කිරීමෙන් එම අනතුරුද වලකා ගත හැකිය.
වාස්තු ශාස්ත්‍රය යනු පෙර සඳහන් කළ පරිදි තමා ජිවත්වන ස්ථානය තමාට ජීවත්වීමට සුදුසු පරිදි නිර්මාණය කිරීමය. මේ සඳහා ගෘහ අංග වාස්තු විද්‍යානුකූලව දිශාගත කිරීමත් ඒ මඟින් අනවශ්‍ය අනතුරු ඇති නොවන පරිදිද නිර්මාණය කර ගැනීම තුළින් ඉතාම ආරක්ෂාකාරි සහ සුන්දර නිවසක් ලබා ගත හැකිය.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
Aloka Homes vasthu FB Page
අර්චිත ඉඳුවර