දරුවන්ගේ ප්‍රශ්න දිහා වැඩිහිටි මානසිකත්වයෙන් බලන්න එපා
ඇමෙරිකානු මනෝ විද්‍යාඥයෙක් වන ඇල්බට් බන්දුරා පර්යේෂණයකින් හොයාගන්නවා සෝෂල් ලර්නින් කියල තියරියක්. එතනදි ඔහු පරීක්ෂණය කරන්නේ දරුවකුගේ හැසිරීමට සමාජය සහ පරිසරය බලපාන්නේ මොන විදිහටද කියලා. ඔහු හොයාගත්තා පොඩි දරුවන් කුමක් හෝ කරද්දි යම්කිසි දෙයක ආභාෂයක් ගන්නවා කියලා. හැමවිටම පොඩි දරුවෙක් උත්සාහ කරන්නේ වැඩිහිටියෙක් වෙන්න. එතකොට ඒකට දරුවා යොදාගන්නේ එයා වටේ ඉන්න වැඩිහිටියන්ගේ හැසිරීම මොන වගේද කියලා. වැඩිහිටියන් හැසිරෙන විදිහ, ප්‍රතිචාර දක්වන විදිහ, ප්‍රශ්නයකට උත්තර හොයන විදිහ මේ හැමදේම බලාගෙන තමයි තමන්ගේ ජීවිතයේ හැසිරීම් රටාව දරුවෝ හදාගන්නේ…
අපි උදාහරණයක් විදිහට හිතමු මොනවා හරි වැරදි වැඩක් කරන ළමයකුට වැඩිහිටියෙක් ප්‍රතිචාර දක්වන විදිහෙන්, දඬුවම් කරන විදිහෙන් දරුවා පොඩි කාලෙදිම ඉගෙන ගන්නවා යම්කිසි ප්‍රශ්නෙකදී තමුනුත් හැසිරෙන්න ඕනේ මෙන්න මේ විදිහට කියලා.යම්කිසි ප්‍රශ්නයකදි අපි කෑගහන්න ඕන, අනිත් කෙනාට පහර දෙන්න ඕන කියලා දරුවොත් හිතනවා. සමහරවිට දරුවෝ දකින්න පුළුවන් ප්‍රශ්නයක් නිසා වැඩිහිටියෙක් සියදිවි නසා ගන්නවා. මෙවැනි අත්දැකීම් ඔස්සේ වැඩිහිටියෙක් වෙන දරුවා ඉගෙනගත්ත දේ තමයි වැරැද්දක් කළොත් කාට හරි බනින්න ඕනේ, වැරැද්දක් කළොත් කාටහරි ගහන්න ඕනේ, හිත් රිදීමක් වුණොත් තමන්ගේ ජීවිතයට හානි කරගන්න ඕනේ වගේ දේවල්.
ගොඩක් දෙමව්පියන් දරුවන්ට ඇහුම්කන් දෙන්නේ නෑ. පසුකාලීනව මේ දරුවන් වැඩිහිටියො වුණාම තමන්ගේ දෙමාපියන්ට ඇහුම්කන් දෙන්නෙත් නෑ. මේ සමාජයේ ගොඩක් ඉන්නවා හුදෙකලා වුණ වැඩිහිටියෝ. ඔවුන්ට කියන්න ගොඩක් කතා තියෙනවා. හැබැයි ඇහුම්කන් දෙන්න කවුරුත් නෑ. සමහර විට මේ වැඩිහිටියෝ තරුණ වියේදි තමන්ගේ දරුවන්ටත් ඒ විදිහටම ඇහුම්කන් නොදුන්නා වෙන්න පුළුවන්.
සමහර දරුවෝ දෙමව්පියෝ වයසට ගියාම වැඩිහිටි නිවාසවලට ගෙනිහින් දාන්නත් හේතුව පුංචි කාලේ දෙමව්පියන් සහ දරුවන් අතර බැඳීමක් නැති වීම වෙන්න පුළුවන්. එකට ගමන් බිමන් ගිහින් නෑ. එකට කෑමක් කාලා නෑ. එකට ඉඳගෙන ප්‍රශ්නයක් කතා කරලා නෑ. ගොඩක් වෙලාවට මේ දරුවෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සහ හොස්ටල්වල හැදුණ දරුවෝ වෙන්නත් පුළුවන්. එතකොට දරුවෝ සහ දෙමව්පියෝ අතර මානසික බන්ධනයක් ඇතිවෙන්නෙ නෑ.
කියමනක් තියෙනවානේ අපි වපුරපු දේ තමයි අපි නෙළාගන්නෙ කියලා. පුංචි කාලෙ දරුවට ඇවිදින්න අපහසු වෙලාවක වඩාගෙන ගිහින් නැත්නම්, වටපිටාව පෙන්නලා නැතිනම්, ලෙඩක් දුකක් හැදුණ වෙලාවක ළඟ ඉඳලා නැත්නම් දරුවට පාසල් යවලා ඉගැන්නුවා කියලවත් කන්න බොන්න දුන්න කියලවත් වියදමට සල්ලි දුන්න කියලවත් අර මානසිකව ඇතිවන බන්ධනය ඇතිවෙන්නේ නෑ.
නාමිකව පමණයි ඔවුන් දෙමාපියන් වෙන්නේ. හැබැයි දරුවො හොඳට ඉගෙනගෙන හොඳ විවාහ ජීවිතයක් ගත කරනකොට දෙමව්පියෝ හිතනවා ඔවුන් දරුවෝ වෙනුවෙන් හැමදේම කරලා තියෙන්නේ කියලා. නමුත් ඒ හැමදේම මුදලින් ගණනය කරන්න පුළුවන් දේවල් විතරයි.
දෙමාපියන් දරුවන් එක්ක වැරදි විදිහට ගනුදෙනු කරන්නේ අවබෝධයක් නැතුව. ඇතැම් අය විවාහ වෙන්නේ ඇයි? ඊට පස්සේ මොනවද ජීවිතේ කරන්න තියෙන්නේ? තමන්ගේ වගකීම් වෙනස් වෙන්නේ කොහොමද? සමාජයේ ජීවත් වෙන්න ඕන කොහොමද? මේ දේවල් ගැන නිසි අවබෝධයක් නැතුව. අවසානයේ විවාහ වෙලා දරුවෙකුත් ලැබෙනවා.
නමුත් මේ ළමයා කොහොමද හරියාකාරව හදාගන්නේ, කොහොමද නිවැරදිව සමාජගත කරන්නේ කියන දේවල් ගැන අවබෝධයක් නෑ. ඊට පස්සේ කරන්නේ දරුවෝ එක්ක අත්හදාබැලීම් කරන එක. දෙමව්පියෝ හිතනවා හොඳම ඉස්කෝලෙකට දැම්මම, හොඳම රෝහලකින් බෙහෙත් අරන් දුන්නම, හොඳම වර්ගයේ ඇඳුම් අරන් දුන්නම දරුවෝ හොඳින් හැදෙයි කියලා. හැබැයි දරුවෙක්ට උපත දීලා ඒ දරුවාගේ
අනාගත ජීවිතෙත් ලස්සන වෙන විදිහට දරුවා එක්ක ජීවත් වෙන විදිහ වෙනම ක්‍රියාවලියක්. කොතැනක හරි වැරදුණොත් ඒ ළමයාගේ ජීවිතේම ඉවරයි.දරුවන්ගේ ප්‍රශ්න දිහා වැඩිහිටි මානසිකත්වයෙන් බලන්න එපා. දරුවාගේ මානසිකත්වය වෙනස්. වැඩිහිටියෝ ජීවත් වෙන්නේ අනාගතයෙ වුණාට දරුවෝ ජීවත් වෙන්නේ වර්තමානයේ විතරයි. ළමයාගේ ප්‍රශ්නවලට සංවේදී වෙන්න පුළුවන් නම් මේ ගමන ලේසියෙන්ම දෙමාපියන්ට යන්න පුළුවන්.
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක හා මනෝ චිකිත්සක
ඩී. එස්. හේවගේ
එරංදි කෞශල්‍යා