“දැන් හැදෙන ළමයි නම් ඉස්සර අපි පුංචි කාලේ වගේ නෙවෙයි, අපි නම් පුංචි කාලේ ඔහොම හැසිරුණේ නෑ.”“දැන් හැදෙන ළමයි නොදන්න දෙයක් නෑ. හිතන පතන විදිහ පවා වෙනස්.”
මේ වගේ කතා අද සමාජයෙන් අපට නිතරම ඇහෙනවා. ගොඩක් වැඩිහිටියන්ගේ අදහස තමයි තරුණ දරුවන් සිතන පතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කියන එක. ඇත්තටම 2000 න් පස්සේ උපන්න අය වෙනස්ද? අද මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙන්…
මුලින්ම කියන්න ඕන මේ පරම්පරා අතර තියෙන මතවාද සටන අතීතයේ ඉඳලම තිබුණ දෙයක්. මොකද නිතරම එක පරම්පරාවකට වඩා අනිත් පරම්පරාව වෙනස් වීම සාමාන්‍ය ලෝක ස්වභාවය. 2000 ට පෙර කාලය ගත්තම ඒ වෙනස්වීම සිද්ධ වුණේ තරමක් හෙමින්. ඒ නිසා ඒක එච්චර අපිට දැනුණෙ නෑ. නමුත් 2000 ට පස්සේ ඉපදුණ දරුවන් ඉපදුණු පරිසරය එක්ක ඔවුන් තුළ ඊට කලින් පරම්පරාවන්ට වඩා වෙනස්කම් දකින්න පුළුවන්.
දෙදාහට කලින් පරම්පරා කිහිපයක් ගත්තොත් 1928 – 1945 ත් අතර කාල වකවානුවේ උපන් අය නිශ්ශබ්ද පරම්පරාවක් ලෙසත් 1946 – 1964 කාලවකවානුවේ අය ‘Baby boomers‘ ලෙසත් 1965 – 1980 කාලවකවානුවේ අය ‘Generation- X’ ලෙසත් 1981 – 1990 අය යම්කිසි ප්‍රබල භූමිකාවක අය (Millennials) ලෙසත් 1997 – 2012 දක්වා කාලයේ උපන් අය ‘Generation-Z” ලෙසත් එතැන් පටන් මේ මොහොත දක්වා ඉපදුණ දරුවන් ‘zGeneration – C’ ලෙසත් හඳුන්වනවා.
අපි මනෝවිද්‍යාත්මකව බලමු මේ විවිධ පරම්පරා හිතන පතන විදිහ වෙනස් වෙන්න බලපාන සාධක මොනවද කියලා. මිනිස් මනස සරලවම උඩු සිත සහ යටි සිත විදිහට වර්ග කරන්න පුළුවන්. එහෙම නැත්නම් විඤ්ඥානය සහ අවිඥානය. මිනිසෙක් උපදිනකොටම යම් ආවේගයන් රැගෙන එන බව සිග්මන් ෆ්‍රොයිඩ් වැනි මනෝ විශ්ලේෂකයන් පෙන්වා දීලා තියෙනවා. දරුවාගේ ආකල්පවලට, හැසිරීමට මේ උපතින්ම රැගෙන එන ආවේග බලපානවා. සිතිවිලි ඔස්සේ ආකල්පත් ආකල්ප ඔස්සේ චර්යාවත් නිර්මාණය වෙලා චර්යාව මත පුද්ගලයා අත්කරගන්න ප්‍රතිඵල නිර්මාණය වෙනවා.
ඇත්තටම 2000න් පස්සේ උපන් අය වෙනස්ද? ඇත්තටම වෙනස්. එහෙම වුණේ, 2000ට කලින් තිබුණ ලෝකය එතරම් තාක්ෂණික ලෝකයක් නෙවෙයි. ජංගම දුරකථන පවා ලංකාවේ මිනිසුන් අතට පත් වුණේ 2000 කාලවකවානුවේදි. මානව පරිණාමයේ ප්‍රබල වෙනසක් කරපු අවස්ථාවක් විදිහට ජංගම දුරකථනය මිනිසා අතර පත්වීම හඳුන්වන්න පුළුවන්.
ජංගම දුරකථනය අතට පත්වෙන්න කලින් ලෝකය ගැන මිනිසාට තිබුණ දැනුම අල්පයි. නමුත් ජංගම දුරකථනය අතට පත්වීමත් එක්ක මානවයා තුළ තිබෙන අත්දැකීම් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන්ගත්තා. ඊළඟට අපි කතා කරමු සමාජ සබඳතා ගැන.
ඉස්සර කාලයේ කද බැඳගෙන ගෙවල්වලට ගිහින් කතාබහ කරපු යුගය තමයි ජංගම දුරකථනයෙන් සුවදුක් අහන යුගයට පරිවර්තනය වුණේ. ඒක තවත් වැඩිදියුණු වෙලා ඩිජිටල්කරණයට ආවා. පෙර පරම්පරාවට යම්කිසි දෙයක් ඉගෙනගන්න ගුරුවරයෙක්ගෙ හෝ පොතක පිහිට පතන්න සිද්ධ වුණත් දැන් ළමයින්ට අන්තර්ජාලයෙන් ඕනම දෙයක් ඉගෙනගන්න පුළුවන්.
මේ දේවල් එක්ක අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ මොහොතේ මේ රටේ ජීවත් වෙන වැඩිහිටියන්ගෙන් බහුතරයක් 2000ට කලින් උපන් අය. ඒ වැඩිහිටියන්ගේ දරුවන් බහුතරයක් 2000 හෝ ඊට ආසන්න වර්ෂවල උපන් අය. ඔවුන් ඉන්නේ අපට වඩා ගොඩක් ඉදිරියෙන්. ඔවුන් ඔළුවල ගබඩා කරගන්න දත්ත ප්‍රමාණය අති විශාලයි.
නමුත් කොච්චර ස්මාට් වුණත් නව පරම්පරාවට යම්කිසි කරුණක් කෙරෙහි ඒකාකාරීව අවධානය තබා ගැනීමේ හැකියාව අඩුවී තිබෙන බව පර්යේෂකයින් සොයාගෙන තිබෙනවා. නව පරපුර පුළුල් තිර මත ජීවත් වන පරම්පරාවක්.
ඒ වගේම එක් සේවා ස්ථානයක් තුළ දිගු කලක් සේවය කිරීමට නොහැකි වීම, ආවේග කළමනාකරණය පහළ වැටීම මේ පරම්පරාවේ ලක්ෂණයක්. 2000 ට කලින් කාලවකවානුවේ මානසික රෝග ඉතා දුලබයි. නමුත් 2000 න් පස්සේ කාලවකවානුවේ කුඩා දරුවා තුළ පවා මානසික ආතතිය ඉතා සුලභයි. ඒ වගේම බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවත් ඉහළයි.
2000 පසු පරම්පරාව මානව සබඳතාවලට ඉතාම දුර්වල බවත් විද්‍යාත්මක කරුණුවලින් තහවුරු වෙනවා. ඔවුන් ජීවත් වෙන්නේ බිත්ති හතරකට කොටු ඕන කාමරයක. ආදරය හා ලිංගිකත්වය සොයන්නෙත් කෙටි පණිවිඩවලින් හෝ වීඩියෝවලින්. මේ හේතුවත් වර්තමානයේ දික්කසාද ඉහළ යන්න හේතු වෙනවා. 2000 න් පසු පරම්පරාව ඉගෙනගන්න වැඩි නැඹුරුතාවක් දැක්වුවත් මෘදු කුසලතා පැත්තෙන් පෙන්වන්නේ ඉතාම දුර්වල ස්වභාවයක්.
මේ සියලුම කරුණු හරි හෝ වැරදියි කියන්න මම යන්නේ නෑ. හේතුව ලෝකය, සමාජය වෙනස්වීම අපි කාටවත් නතර කරන්න බෑ. නමුත් මේ වෙනස් වීම් අපේ මානව චර්යාවන්ට, මානසික සෞඛ්‍යයන්ට, මානව ප්‍රගමනයට හානියක් නොවන ලෙස සකස් කරගැනීමේ හැකියාව බුද්ධිමත් මිනිසා සතුයි.
ප්‍රවීන දේශක හා මනෝවිද්‍යා
පුහුණු උපදේශක
මොහාන් පල්ලියගුරු
එරංදි කෞශල්‍යා ✍️