“හෙළිදරව් නො වන ලෙස කිසිදු දෙයක් වසා තැබිය නො හැකිය. කිසිවෙකුට නොදැනෙන ලෙස ද සඟවා තැබිය නොහැකිය. එබැවින් අඳුරේ දී ඔබ කතා කළ දෑ එළිය පැමිණි විට අන් අයට ඇසෙනු ඇත. ඇතුලු මන්දිරයක කතා කළ දෑ නිවෙස්වල වහලේ සිට මුර ගා හඬ නඟනු ඇත” ශුද්ධ වූ බයිබලය. ලුක් 12:2-4 4 වන කාර්මික විප්ලව ලෝකයක් නිවෙස්වල වහලේ සිට මුර ගා හඬ නඟනු ඇත්තේ CCTVකැමරා රෙකෝඩන වේ. ශුද්ධ වූ බයිබලය ලියවෙන අතීතය සහ වර්තමාන තාක්ෂණයෙන් පිරිපුන් ලෝකය තුළ ඇති නොවෙනස් කරුණ වන්නේ කිසිදු අයෙකුට අපරාධයක් කර සැඟවී සිටිය නොහැකි වීම වේ. නුතන ලෝකයේ එය පහසු කෙරෙන තාක්ෂණික මාධ්‍යයක් වශයෙන් සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩන සහ පරිගණක මඟින් ලබාගන්නා ප්‍රකාශවල ඇතුළත් තොරතුරු සාක්ෂි පෙන්වා දිය හැකිය. මෙය සිවිල් නඩුවලදී මෙන්ම අපරාධ නඩුවලදීද එක හා සමාන වටිනාකමකින් යොදාගත හැකිය. යම් අපරාධයක් සම්බන්ධයෙන් ඇසු දුටු එනම් සෘජු සාක්ෂි නොපවතින අවස්ථාවකදී එකී අපරාධය හෙළි කරගැනීම සදහා මෙම සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩන ඉතාමත් වැදගත් සාක්ෂියක් ලෙස අධිකරණයක් තුළ ක්‍රියාත්මක වන්නේය.
මොනවද මේ සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩන සහ පරිගණක සාක්ෂි ?
සාක්ෂි නීතිය තුළ සෑම දෙයක්ම සාක්ෂියක් වශයෙන් අධිකරණයක් තුළ නඩුවට අනුකුල කරගැනීමේ හැකියාවක් නැති අතරම එයට යම් සීමාවන් පවතිනවා. එකී සීමාවන් තුළ පිහිටා නුතන ලෝකයට ගැළපෙන පරිදි සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩන සහ පරිගණක සාක්ෂි නඩුවක් සඳහා අනුකුල කරගත හැක්කේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබද නෛතික ප්‍රතිපාදන දක්වන 1995 අංක 14 දරණ සාක්ෂි විශේෂ විධිවිධාන පනත මගින් සාක්ෂි වර්ග දෙකක් හඳුන්වා දී ඇත.
සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩන සාක්ෂියක් වශයෙන්, අධිකරණය තුල සාක්ෂි වශයෙන් ලබාදිය හැක්කේ ඇසු, දුටුහෝ තම ඉන්ද්‍රීයන්ට ගෝචර වූ කරුණු සම්බන්ධයෙන් පමණි. නමුත් ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩනයක් යනු එක් අතකින් භෞතික සාක්ෂියකි. සාක්ෂි ආඥා පනතේ 60 වගන්තිය අනුව භෞතික සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කළ හැකි නමුත් ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩනයක් එලෙස ඉදිරිපත් කිරීම ඵලක් නොවන අතර එය නැරඹීමට අවශ්‍ය වේ. එනම් ඉන්ද්‍රියන්ගෙන් ග්රහනය කරගත යුතුය. උදාහරණයක් වශයෙන් CCTV කැමරා දර්ශන, ජංගම දුරකථන වීඩියෝ දර්ශන වැනි දැක්විය හැකිය.
සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩන සාක්ෂියක් ලෙස අධිකරණයේ ඉදිරිපත් කිරීමට නම් අනුගමනය කල යුතු පියවර මොනවාද?
1995 අංක 14 දරණ සාක්ෂි විශේෂ විධිවිධාන පනත 04 වන වගන්තිය තුළ යම් යම් අවශ්‍යතාවන් දක්වා ඇත. ප්‍රථමයෙන් අදාළ වීඩියෝ පටය ඉලෙක්ටොනික හෝ යාන්ත්‍රික ක්‍රමයට සාදන ලද බවත් එය අධිකරණය තුලදී ඉන්ද්‍රීයන්ට ග්‍රහණය කරගත හැකි ආකාරයට එනම් ගරු විනිසුරුතුමාට දැකිය හැකි සහ ඇසිය හැකි ආකාරයට නැවත නැවත ක්‍රියා කරවීමේ හැකියාව හෙවත් ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පැවතිය යුතුය.
දෙවැනි වැදගත්ම කරුණ වන්නේ රෙකෝඩනය පසු කවර හෝ ආකාරයක වෙනස් කිරීමක් හෝ අනිසි දෙයක් නොකරන ලද බව සහ එම රෙකෝඩනය කිරීමෙන් පසු සියලු වැදගත් අවස්ථාවලදී එය ආරක්ෂක භාරයේ තිබූ බව සහ එම ආරක්ෂක භාරයේ තිබුණු කාලය තුළ ඒ රෙකෝඩනය වෙනස් කිරීමට හෝ අනිසි දෙයක් කිරීම වැළැක්වීමට ප්‍රමාණවත් පුර්වා රක්ෂණ කියාමාර්ග ගන්නා ලද බව සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත් විය යුතු වීමයි.
එනම් වීඩියෝ දර්ශනයේ සහ අදාළ උපකරණයේ නිරවද්‍යතාව එනම් අදාළ වීඩියෝව පසුව සංස්කරණය නොකළ බව සහ උපකරණය වෙනස් කිරීමකට භාජනය නොකළ බව මුල් අවස්ථාවේදීම අධිකරණය ඉදිරියේ විශේෂඥ සාක්ෂි කැදවා තහවුරු කරගැනීම නඩු විභාගය සදහා විනිසුරුවරයාට පහසුවක් වේ. එසේම අපරාධයක් සම්බන්ධ විමර්ශනයකදී අදාල සිදුවීම පටිගත වී ඇතැයි විශ්වාස කරනු ලබන CCTV දර්ශන මැකී ඇති විටෙක හෝ අපැහැදිලි විටෙකද රස පරීක්ෂක වෙත යොමු කොට එම දර්ශන නැවත යථා තත්ත්වයට පත් කරගැනීමටත් අපැහැදිලි දර්ශනවල සිටින පුද්ගලයන් හෝ යම් යම් වස්තූන් (උදාහරණයක් ලෙස වාහන අංක තහඩු) අධිතාක්ෂණික ක්‍රම යොදා ගෙන පැහැදිලිව හඳුනා ගැනීමටත් අවස්ථාව ඇත.
1995 අංක 14 දරණ සාක්ෂි විශේෂ විධිවිධාන පනත 07 වන වගන්තිය අනුව පරිගණක සාක්ෂියක් හෝ සමකාලීන රෙකෝඩන සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පාර්ශ්වකරුවෙකු විසින් නඩු විභාගයට දින 45 කට පෙර විරුද්ධ පාර්ශ්වයට ඉදිරිපත් කිරීමට අදහස් කරන ලැයිස්තුවක් සමඟ ලිඛිතව දැනුම්දිය යුතුය. එවිට අවශ්‍ය නම් විරුද්ධ පාර්ශවයට එකී උපකරණය පරීක්ෂා කර බැලීමට අවස්තාවක් දෙන ලෙස ඉල්ලා සිටිය හැක.
නමුත් අධිකරණය යම් සීමාකාරී අවස්ථාවක් යටතේ යුක්තිය ඉටුකිරීම සදහා අවශ්‍ය බව පෙනී යන අවස්ථාවකදී 07 වන වගන්තිය යටතේ ඉදිරිපත් නොකළ වීඩියෝ පටයක් වුවත් නඩු විභාගයට යොදාගත හැකි බව ගාමීණි සුමනසේකර සහ තවත් අයෙක් එදිරිව සුනිල් පෙරේරා (CALA 401/2005) පෙන්වා දෙන ලදී.
නීතීඥ සුපුන් සිරිවර්ධන
( al.supunsiriwardhana@gmail.com )