බොහෝ දෙනෙකු අධිමානය නිසා නොසලකා හරින දෙයකි මානසික අවපීඩනය. ජීවිතයේ විවිධ අවස්ථාවලදී විවිධ වූ අත්දැකීම් මත මානසික අවපිඩනය මතුවිය හැකියි. එය ලැජ්ජා විය යුතු දෙයක් නොවේ. අපහාස ලැබිය යුතු හෝ අපහාස කළ යුත්තක්ද නොවේ. එනිසා අවබෝධයෙන් යුතුව එයට මුහුණ දෙන්නාට පහසුවෙන් ඒවා තුළින් මිදිය හැකිය. එසේම සමාජයේ අනෙකුන් විඳින මානසික පීඩන තත්ත්වයන්වලදී සමාජයේ උදව් විශේෂයෙන් වැදගත් වේ. අද අපි කතා කිරීමට යන්නේ විවාහක කාන්තාවකට අත්විඳීමට සිදුවන එවන් අත්දැකීමක් පිළිබඳවයි.
උතුම් මව්පදවිය
දරු උපතක් මවකට හැඟීම් රාශියක් ගෙන එන්නකි. සැබවින්ම ඒ ආදරය, ප්‍රීතිය, උද්යෝගය, කළකිරීම හා නොසන්සුන් බව සම්මිශ්රිත සංකීර්ණ මානසික තත්ත්වයකි. පවුලට එකතුවන අලුත් සාමාජිකයා පිළිගැනීම අනෙක් අයට වඩා මවකට විශේෂ අවස්ථාවකි. මෙය ඇයගේ විශාල චිත්තවේගීය සහ ශාරීරික වෙනස්වීම් ඇතිවී තිබෙන අවස්ථාවයි.
Baby blues -“බේබි බ්ලූස්” යනු කුමක්ද?
වෛද්‍ය මතයට අනුව බේබි බ්ලූස් තත්ත්වයට හෝමෝනවල Progesterone මට්ටම්වල වෙනස්කම් පමණක් හේතු නොවේ. තෙහෙට්ටුව, මව්කිරිදීමේ අභියෝග සහ වෙනත් පශ්චාත් සංකූලතා නිසා දරු ප්‍රසූතියෙන් දින දෙක තුනකට පසු මානසික අවපීඩනය සහ කාංසාව වැනි හැඟීම් බහුල වේ.
කිසිම හේතුවක් නැතිව හැඬීම, දරුවා රැකබලා ගැනීමට ඇති හැකියාව ගැන තමාගෙන්ම ප්‍රශ්න කිරීම, නිදාගැනීමට අපහසු වීම ආදියෙන් මව පීඩා විඳියි. මවගේ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ පෙර අත්දැකීම්, ජීව විද්‍යාත්මක හේතු, සහයෝගය නොලැබීම, දුෂ්කර ළමා අත්දැකීම්, අපයෝජනය පිළිබඳ අත්දැකීම්, හීන ආත්මාභිමානය, ආතති සහිත ජීවන තත්ත්ව, ජීවිතයේ ප්‍රධාන සිදුවීම් ආදිය බලපෑ හැකිය. පවුලේ අයගේ සහ තම ආදරණීයයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණොත් සති දෙකක් ඇතුළත කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව මවකට බේබි බ්ලූස් තත්ත්වයෙන් මිදිය හැකිය.
බේබි බ්ලූස් සහ පශ්චාත්-ප්‍රසව අවපීඩන තත්ත්ව එකමද?
පශ්චාත්-ප්‍රසව පීඩනය දරු ප්‍රසූතියෙන් පසු එළඹෙන සති දෙකේ සිට අට අතර කාලපරිච්ඡේදය තුළ ඇතිවන නමුත් එය දරුවා ඉපදී වසරක පමණ කාලයක් දිගු විය හැකිය. මෙහි විශේෂත්වය වන්නේ එය දුකක් දැනීම පමණක් නොවේ. දරුවා රැකබලා ගැනීමට තමාට නොහැකියයි සිතීම, නොකඩවා හැඬීම, අධික බරගතියක් දැනීම, දරුවා සමඟ බැඳීමක් නොමැතිවීම ආදී රෝගලක්ෂණ මතුවීමය.
වඩාත් හානිකර තත්ත්වය වන්නේ දරුවා නිදාසිටින අවස්ථාවේ පවා මව නිදාගැනීමට අසමත් වීමයි. දරුවාට විය හැකි අනතුරක් ගැන ඇදහිය නොහැකි වේදනාවකින් මව පෙළෙයි. මවගේ මෙම හැසිරීම දුකින් සිටීමක් හෝ හඬා වැළපීමක්ම පමණක් නොවන බව නිවසේ අනෙක් අය තේරුම් ගත යුතුය.
https://www.unicef.org/ ඇසුරින්
සුනිල් අල්ගම ✍️