වස්සාන කාලය උදාවෙලා මේ කාලයේ බොහෝ දෙනෙක්ගේ ෆැන්ටසිය තමයි උණුසුම් කෝපි කෝප්පයක් හදාගෙන ජල වාෂ්ප බැඳිච්ච ජනේලයක් අයිනේ තියෙන ඇඳකට වෙලා පොතක් කියවන්න.පොරෝනාවකුත් ඇඟ දවටගෙන.ඒක හරි ලස්සන අත්දැකීමක්. පෞද්ගලිකව නුවරඑළිය වගේ පැත්තක ඕනෑම කාලයකදී ඒ සුන්දර හැඟීම විඳගන්න පුළුවන්.පොත ලස්සන එකක්නම් රසය දෙගුණ වෙනවා.
මම අද පොතක් ගැන කිව්වේ මේක සාහිත්‍ය මාසය නිසා. සාහිත්‍ය මාසයේ උණුසුම පහවෙනවා ජනාධිපතිවරණ උණුසුම නිසා. රටේ සාතිශය බහුතර ඡන්දදායකයන් වන කාන්තාවන් වෙනුවෙන් කාන්තාවක් ඉදිරිපත් නොවුණු තවත් එක් ජනපතිවරණයක් අපේ රටේ මිනිස්සුන්ගේ
දේශපාලන සාක්ෂරතාව අඩුයි. කොතැනක හෝ රැල්ලක් ආවාම ඒක පිටිපස්සේ යනව මිසක් මධ්‍යස්ථව තීන්දු තීරණ ගන්න මිනිස්සු පෙළඹෙන්නේ නෑ. අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාව තමයි සාක්ෂරතාව කියන්නේ. ඒකෙන් කියවෙන්නෑ මිනිස්සු බුද්ධිමත් කියලා. අන්න ඒ කාරණාවට පොත්පත් ලොකු සහායක් දෙනවා.
පොත පත කියවීම මිනිහෙක් සම්පූර්ණ කරනවා කියල ෆ්‍රැන්සිස් බේකන් සාමිවරයා කියපු කතාව හරියටම හරි නෑ. ඒක හරියට ඇවිද්ද පය දහස් වටී වගේ! ඇවිද්ද පය දහස් වටී කියන්නේ පයින් යනවාට නෙවෙයි, පොතක් අවබෝධයෙන් යුතුව කියනවා නම් තමයි බුද්ධියට ආමන්ත්‍රණය සිදුවෙන්නේ. අවබෝධය කියන එකයි දැනුමයි කාරණා දෙකක්.
ඔය බෞද්ධ සාහිත්‍ය කතාවල බණ අසා සෝවාන් වුණා කියල බොහෝ තැන්වල තියෙනවා. පොඩි කාලෙ මටත් හිතුණා අහපු බණ තොගේ හැටියට මම සෝවාන් නැත්තේ ඇයි කියල! ඒකට හේතුව අපි බණ අහල දැනුමක් ගත්තා මිස ඒක අවබෝධ කරගෙන නෑ. ඒකයි සෝවාන් වෙලා නැත්තේ. ඒ වගේම තමා කියැවීමත්.
පොතපත බොහෝ සේ කියෙව්වාට මෝඩ-ගොන් කතා කියන මහාචාර්යවරු මේ රටේ ඉන්නවානේ. උගත්තු ඉන්නවනේ. ඒක නිසා පොත් කියවීම කියන දේ ජීවිතයේ පුරුද්දක් කරගත යුතුයි වගේම කියවන්නේ කුමන පොතක්ද කියන එක අදාළ කරගන්නේ නැතුව ඒකෙ තියෙන අත්දැකීම තමුන්ට ජීවිතයේ යම් තැනක යොදාගන්න පුළුවන්ද කියල බලන්න ඕනි.
ශ්‍රී ලංකාවේ සිනමාව, සාහිත්‍යය, හැම තැනකම බෙදීම් තියෙනවා. එක කට්ටියක් සම්භාව්‍යයි අනික් කට්ටිය පීචං. එහෙම අන්ත දෙකකට යා යුතු නෑ කියවන කෙනෙක්. අවබෝධයෙන් කියවන කෙනා දන්නවා හොඳ-නරක වටහා ගන්න. ඉස්සර කතන්දර පොත්වලින් පණිවුඩ දුන්නා. අද ඒක අවශ්‍ය නැහැ.
මොකද පණිවුඩ ලබාදීම තැපැල් දෙපාර්තමේන්තුවේ රාජකාරියක් මිස නවකතාකරුවෙක්ගේ රාජකාරියක් නෙවෙයි. මෑතකදි තිබුණා ඩීමන් ආනන්ද කියන නැසීගිය මාරක කතා රචකයා අනුස්මරණය කරන උපහාර උළෙලක්. ඒකට ආපු බහුතරයක් අද සමාජයේ ඉහළ තැන්වල ඉන්න අය. නමුත් කියවීම ආරම්භ කරල තියෙන්නේ සරල තැනකින්. අපිට වුණත් කියවන්න කම්මැලි නම් මුලින්ම පත්තරයක් කියවන්න ගන්න.
මොකද මේ නවලිය‘ පුවත්පත ගත්තත් පැතිරුණු විෂයයන් රාශියක් කතාකරනවා. ඒක නිසා මුලින් කියවන්න පුරුදුවෙන කෙනෙක්ට නීරස වෙන්නේ නෑ. එපා වෙන්නෑ. ඒක නිසා පත්තරයක් පොතක් කියවන බුද්ධිමතෙක් වෙන එක කාන්තාවකට අවැඩදායක වෙන්නෑ. එහෙම වුණාම ඒ අය බුද්ධිමත්ව තමුන්ගේ ඡන්දය පාවිච්චි කරලා රටට අවැඩක් වෙන එක වළක්වනවා. අන්න එහෙම ලස්සන සමාජයක් හදන්න පුළුවන් කාන්තාවන්ට පමණයි!
මනෝරම වීරසිංහ