ඔය නූල් ගොඩක් බදාගෙන හිටියට වැඩක් නැහැ. කාලේ අපතේ යන එක විතරයි. ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න. මහන්සිවෙලා මැහුව කියල ගන්න කවුරුත් නැති වෙයි. හතර වටින් ඒ විදියට ඇහෙද්දී ඒ හැමදෙයක්ම එක කනකින් අහල අනිත් කනින් පිට කරලා ලෝකෙටම හෑන්ඩ් මේඩ් ප්‍රොඩක්ට්ස් යවන අපූරු තරුණියක් ගැනයි අද අපේ කතාව…
කාවින්දි කියන්නේ කවුද?
මම කාවින්දි සංජානා තෙන්නකෝන්. වයස 27 යි. මම ඉන්නේ තිලව්වල. මේ දවස්වල වූල්වලින් කරන අත්කම් නිර්මාණ එක්ක කාර්යබහුල ජීවිතයක් ගත කරනවා.
කාවින්දි වූල්වලින් නිර්මාණ කරන්න ඉගෙනගත්තේ කොහොමද?
මම 2017 ඒ ලේවල් ඉවර වෙලා වුල්වලින් නිර්මාණ කරන්න පටන් ගත්තා. මට වූල් ගෙත්තම් ගැන කියල දුන්නේ මගේ පුංචි.මගේ පවුලේ නෑදැයෝ ගොඩක් අයට ගොතන්න පුළුවන්. ඒ අයගේ ආභාෂයත් එක්ක මම ගොතන්න ඉගෙන ගත්තා.
කොහොමද වූල්වලින් බිස්නස් එකක් කරන්න හිතුවේ?
මම මුලින්ම වූල්වලින් අත්කම් නිර්මාණ කළේ විනෝදාංශයක් විදියට. බිස්නස් එකක් කරන්න අදහසක් තිබ්බෙ නෑ. මම එ ලේවල්වලින් පස්සෙ ප්‍රයිවට් කම්පැනියක ජොබ් එකක් කළා.
ඒ ජොබ් එක කරන ගමන් විනෝදාංශයක් විදියට විවේකීව ඉන්න වෙලාවට වූල් ගෙත්තම් කළා. ඇදුම්, බෑග් වගේ අත්කම් නිර්මාණ මහලා ඒව අරගෙන ඔෆිස් එකට ගියා. ඔෆිස් එකේ අය මන් අඳින ඇඳුම් ගේන බෑග් දැකල ඒ නිර්මාණ අගය කළා. සමහර අය මගේ අත්කම් නිර්මාණ සල්ලි දීලා ගත්තා. ඒ පන්නරයත් එක්ක මම හිතුව බිස්නස් එකක් විදියට මේ වූල් ගෙතුම් නිර්මාණ කරන්න පුළුවන් කියලා.
වූල් ගෙතුම් නිර්මාණවලට තියෙන ඉල්ලුම කොහොමද?
ලංකාවේදී වගේම පිටරටදිත් මේ වූල් ගෙතුම්වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. පිටරට ඉන්න ලංකාවේ අයගෙනුත් ලොකු ඉල්ලුමක් තියෙනවා. පිටරට අය බල්ක් ඕඩර් ගන්නව බොහෝ වෙලාවට. ලංකාවට වඩා ගොඩක් ඉල්ලුම තියෙන්නේ පිටරට කස්ටමස්ලගෙන්. වූල් ගෙතුම් කියන්නේ හරියට කළොත් ඩොලර් ගේන්න පුළුවන් හොඳ කලාවක්.
මොනවගේ නිර්මාණද කාවින්දි වූල්වලින් කරන්නේ?
මම වූල්වලින් බෑග් හදනවා. ඒ වගේම බේබි අයිටම්ස්, ස්ලිපර්ස්, ක්‍රොප් ටොප්, ගවුම් වූල්වලින් මහනවා. මේ වෙද්දී අලුත් වැඩක් විදියට බ්‍රයිඩල් ෆ්‍රොක්ස් සාරි නිර්මාණත් වූල්වලින් ගොතන්න හිතන් ඉන්නවා.
වූල් නිර්මාණ කරන්න කොච්චර කාලයක් යනවද?
වූල් වලින් ගොතන එක පහසු නෑ. හිතුව පමාවෙන් වූල්වලින් ගෙත්තම් කරන්න බැහැ. වූල් ගෙත්තම් කියන්නේ අතින්ම කරන කාලාවක් නිසා කාලය ගතවෙනවා. සාමාන්‍යයෙන් බෑග් එකක් ක්‍රොප් ටොප් එකක් මහල ඉවර කරන්න පැය පහක්වත් යනවා. ගවුම් මහනවා නම් අඩුම ගානේ සති දෙකක්වත් කාලය ගතවෙනවා.
කාවින්දි මේ වූල් නිර්මාණ කරන්නේ තනියමද?
මම මුල් කාලේ හැම නිර්මාණයක්ම කරේ තනියම. දැන් බිස්නස් එක තනියෙන් නෙමෙයි කරන්නේ මං යටතේ තවත් සේවකයන් හය දෙනෙක් වැඩ කරනවා.
වූල් ගෙත්තම් නිර්මාණ කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද?
බිස්නස් එකක් විදියට කරන්නෙ නැත්නම් සාමාන්‍ය වූල්වලින් අත්කම් නිර්මාණ කරන්න පුළුවන්. ඒත් වූල් ගෙත්තම් සල්ලිවලට ලංකාවේ හරි පිටරට මාකට් එකට දානවා නම් හොඳම අමුද්‍රව්‍ය යොදාගන්න ඕන. කොට්න් ත්‍රෙට්, විල්කොට්න් ටීශට් යාන් වගේ දේවල් පාවිච්චි කරන්න ඕන.
කාවින්දිට ආපු අභියෝග මොනවාද?
බිස්නස් එකක් විදියට වූල් ගෙතුම් නිර්මාණ කරද්දී ගොඩක් අයගෙන් දෝෂාරෝපණ ආවා. මේ වගේ දෙයක් කරල වැඩක් නැහැ කවුරුත් සල්ලි දීල ගන්න එකක් නැහැ ටයිම් වේස්ට් වෙන එක විතරයි වෙන්නේ ඒ කාලේ අධ්‍යාපනික දෙයකට වැය කරන්න කියල ගොඩක් අය කිව්වා. ඒත් දැන් වෙද්දී ඒ අදහස් වෙනස් වෙලා. දැන් දන්න කියන හැමෝම උදව් කරනවා.
ඒ වගේම ඔන්ලයින් බිස්නස් එකක් විදියට කරද්දී අකවුන්ට් බෑන්ඩ් වෙනවා. මගේ බිස්නස් වට්සැප් එක මේ වෙද්දී හතරපාරක් විතර බෑන්ඩ් වෙලා තියෙනවා. ඒක නිසා ලොකු කස්ටමර් බේස් එකක් මට නැතිවුණා. මොන අභියෝග ආවත් ඒවට මේ වෙද්දී සාර්ථකව මුහුණ දීල මේ ගමන ආවා.
කාවින්දිට මේ වූල් ගෙතුම් නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
කස්ටමස්ල මට ගොඩාක් ආදරෙයි. මගේ පේජ් එකට කස්ටමස්ලගෙන් ලැබෙන්නේ හරිම ආදරණීය කමෙන්ට්ස්. ගොඩක් අය අගය කරනවා. ඒ වගේම සමහර කස්ටමස්ල බනිනවා මැසේස්වලට රිප්ලයි කරන්න පරක්කු වෙන නිසා. ඇත්තටම හෑන්ඩ් මේඩ් වැඩක් නිසා ලොකු කස්ටම බේස් එකක් හිටියත් හිතුව ඉක්මනට ඕඩර්ස් දෙන්න බැහැ. ඒත් පුළුවන් තරම් උත්සාහ කරනවා.
කාවින්දිට වූල් ගෙතුම් නිර්මාණ කරන්න ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම පවුලේ අයගෙන්.. අම්මයි තාත්තයි අයියයි හෙවණැල්ලක් වගේ පිටිපස්සෙන් ඉන්නවා. මගේ බඩු වැඩකරන අයට ගෙනියන්නේ අයියා. මුල්කාලේ මම මේක ඔන්ලයින් බිස්නස් එකක් විදියට කළේ නැහැ. තාත්ත එක්ක ගිහින් තමයි ශොප්වලට බඩු දැම්මේ. ගෙදර අය නිසා තමයි අද මම මේ තරම් දුරක් ආවේ.
කාවින්දි මොනවද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ?
මගේ වූල් ගෙතුම් නිර්මාණ තවත් වැඩිදියුණු කරගන්න ගමන් මගේම කියල ෂොප් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා.
කාවින්දිට අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අයට දෙන්න පණිවිඩයක් තියෙනවද?
බිස්නස් එකක් පටන්ගන්න ඉන්නවා නම් රිස්ක් එකක් ගන්න පුරුදු වෙන්න. තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. පොසිටිව් විදියට හිතුවොත් අපිට කරන්න බැරි වැඩක් නැහැ. බිස්නස් එකක් පටන්ගන්න ලොකු මුදලක් ඕන නැහැ. මාත් වූල් ගෙත්තම් කරන්න ගත්තේ රු 1000 වගේ පුංචි මුදලකින්. ඉවසීම, කැපවීම තමයි තියෙන්න ඕන.
පවනි දිලේකා ✍️