වෙනස් වෙන ලෝකයේ නොවෙනස් වන එකම දේ තමයි වෙනස් වීම. අපේ ජීවිතයට එන සමහර වෙනස්කම් අපේ හොඳටත් වෙන්න පුළුවන්, අපේ නරකටත් වෙන්න පුළුවන්. එහෙමයි කියලා අපේ ජීවිතේට එන නරක වෙනස් වීම්වලට මුහුණ නොදී ජීවිතය අතාරින්න හොඳ නැහැ. ඒවත් අපේ ජීවිතේට එකතු කරගෙන ඉදිරියට යෑම තමයි ජීවිතේ කියන්නෙම. අන්න එහෙම ජීවිතයේ විවිධ වෙනස්වීම්වලට මුහුණ දුන්නු ඒ වෙනස්වීම් ජීවිතයට එකතු කරගනිමින් ජීවිතය සාර්ථක කරගන්න උත්සහ කරන කෙනෙක් අපිට හම්බුණා. ඇය නමින් කල්‍යාණි ප්‍රියදර්ශනී.
ඔබේ ළමා කාලය කොහොමද ගෙවුනේ?
මගේ පාසල දෙහිඕවිට කණිෂ්ඨ විද්‍යාලය. මමත් අනිත් ළමයි වගේ දුවලා පැනලා හිටපු කෙනෙක්. මම ඉස්කෝලෙ ආවේ ගියෙත් පයින්. හවසට ගමේ තියෙන වැව්වල මාළු අල්ලන්න යනවා. දොළවල්වල පීනනවා. මගේ ජීවිතේ ලස්සනම මතක තමයි ඒවා. අසනීප වෙන්න ගත්තේ මොන කාලේ වගේද මම ගෙදර ඉඳන් පාසල් යන්නේ පයින්. තුන වසරේ ඉදන් තමා අසනීප වෙන්න ගත්තේ. සැරෙන් සැරෙට අසනීප වෙලා ක්ලාන්තය දැම්මා. ටික ටික කකුල් පණ නැති වෙන්න ගත්තා.
එතකොට ඩොක්ටර්ලා මොකද කිව්වේ?
මුලින්ම කිව්වෙ විටමින් අඩුවෙලා කියලා. ඊටපස්සෙ කිව්වා ස්කෑන් එකක් කරමු කියලා. ඒකෙනුත් පස්සේ කිව්වෙ මගේ සුසුම්නාවේ ගෙඩියක් ඔප්රේෂන් කරන්න ඕනෙ කියලා. 2000 දී මගේ ඔපරේෂන් එක කරනවා පස්සෙ මාව මහරගම එක්කන් යනවා පරීක්ෂණ වගයකට කියලා. මට ඉන්ජෙක්ෂන් විදින්න ගත්තා පරීක්ෂණ වගයකට කියලා අරන් ගියාට.
ඔප්රේෂන් එකෙන් පස්සෙ ඩොක්ටර්ලා මොකද කිව්වෙ?
ඔප්රේෂන් එකෙන් පස්සෙ රිපොට් කිසිදෙයක් පෙන්නුවේ නෑ. මගේ අක්කලා ඩොක්ටර්ගෙන් අහලා තිබ්බා ඇයි මාව මහරගම එක්කන් ගියේ කියලා. ඊටපස්සෙ ඩොක්ටර්ලා කිව්වා මට කැන්සර් එකක් තියෙනවා දවස් 3 කට වඩා ජීවත්වෙන එකක් නැහැ කියල කිව්වා. ඒ නිසා ජීවත්වෙන අවසාන දවස් ටිකේ මාව සතුටින් තියන්න කියලා කිව්වා. ඒ 2000 දි.
තවමත් ප්‍රතිකාර ගන්නවද
ඉස්සර නම් ගොඩාක් ප්‍රතිකාර ගත්තා. ඒත් ප්‍රගතියක් තිබුණේ නැහැ. බෙහෙත් අරගෙනම දැන් මට බෙහෙත් ඇලජික් වෙලා තියෙන්නේ. දැන් ආයූර්වේද ප්‍රතිකාර ගන්නවා. දැන් නම් මගේ ඇඟිලිවල දරඳඩු බව ටික ටික අඩු වෙනවා කියලා මට දැනෙනවා. කලින් මට ඇඟිලි හොල්ලන්නවත් බෑ දරඳඩු වෙලා තිබ්බෙ.
මහන්න ගොතන්න ගත්තේ මොන කාලේද?
මම අසනීප වුණාම ඇදට වෙන්න වුණා. එළියට ගියේ කලාතුරකින් මට හිතුණා මොනවා හරි දෙයක් කරන්න. දවසක මන් වෙනුවෙන් දෙයක් කරලා තියන්න. ඊටපස්සෙ මම චිත්‍ර අඳින්න, මහන්න පුරුදු වුණා.
තනියම ද ඉගෙනගත්තේ ?
ඔව් තනියම ඉගෙන ගත්තේ. මම ඉස්සර රූපවාහිනී වැඩසටහන් බලනවා. ඒ වැඩසටහන්වලින් උගන්නනකොට මං ඒ දිහා බලාගෙන ඉගෙන ගත්තා.
මැහුම් ගෙතුම්වල ආරම්භය ලෙහෙසි වුණාද ?
ගොඩක් අමාරු වුණා. මගේ ඇඟිලි දරදඬු වෙලා තියෙන නිසා හැමදාම ගොතන්න කරන්න බැහැ. දියපට්ට එන්න පටන් ගත්තා. මගේ දන්තමාලා හේමමාලා නිර්මාණය කරන්න මට අවුරුදු දෙකක් විතර ගියා. ඉඳිකට්ට ඇඟිලි අතරින් හිර කරලා කටින් නූල ඇදලා මම මහන්නෙ.
ඔබේ මේ නිර්මාණ අලෙවි කරනවාද?
මේවා හදන්න මට ගොඩක් වෙලා යනවා. මාව තේරුම් අරන් කවුරු හරි මට ගැළපෙන මුදලකට මේවා ගන්නවානම් මම ඒවා විකුණනවා.
සමාජයට දෙන්න කැමති පණිවිඩය මොකක්ද?
ගොඩක් අය ප්‍රශ්න ආවහම දිවිනසා ගන්න හදනවා. මම කවදාවත් හිතුවේ නෑ මම මැරුණා නම් හොඳයි කියලා. මගේ ගෙදර අයගේ ආදරේ හැමදාම මාත් එක්ක තිබ්බා. අපි ජීවත් වෙලා ඉන්න ටික කාලයයි. ඒ ඉන්න කාලෙ සතුටින් ඉන්න. ජීවිතය අවිනිශ්චිතයි. ඔයාට සතුටක් ගෙන දේවල් කරන්න.
නිපුනි සම්මානි