බටහිරකරණයත් සමඟ සම්මිශ්‍රණය වුණ අද සමාජයේ ගැහැනු පිරිමි භේදයක් නැතිවම විලාසිතාවන් කරන්න පුරුදුවෙලා ඉන්නවා. අපි කරන විලාසිතාවන්හි පෙනුම වැඩිකරගන්න වගේම වෙනස් කරන්නත් පුළුවන් ලස්සන දෙයක් තමයි පාවහන් කියන්නේ. අතීතයේ දී නම් හුදෙක් කකුල් දෙකේ ආරක්ෂාවට පමණක්ම පැළඳි මේ පාවහන් අද සුවිශේෂී වූ විලාසිතාවක් බවට පත්වෙලා. ඉතින් විලාසිතාවට පාවහන් පළඳින් කලින් මේ දේවල් ගැන දැනගන්න.
සුව පහසුව සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන්න…
ඔබ කුමන අවස්ථාවක කොයි විදිහට විලාසිතාවන් කළත් ඔබගේ සුවපහසුව ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ඔබ මිලදී ගන්න සපත්තු සහ සෙරෙප්පු ඔබ බොහෝ වේලාවක් පැළඳගෙන සිටීමට වන අවස්ථාව ඉතාමත් බහුලයි. ඒ නිසා එය අනිවාර්යයෙන්ම සුවපහසුව අතින් ඉහළ තැනක තිබීම අනිවාර්ය දෙයක්. විශේෂයෙන්ම විළුඹ ප්‍රදේශය මෘදු අමු ද්‍රව්‍යවලින් සහ කුෂන් පෑඩින් ඇතුළත් කළ සපත්තු ඔබට බොහෝ වේලාවක් පැළඳගෙන සිටීමට හැකි වෙනවා වගේම ඔබේ දෙපාවල විළුඹේ ඇතිවිය හැකි අපහසුතාවයන් ද වළක්වනවා. ඔබ පාවහන් මිලදී ගන්න කලින් සුව පහසුව සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට අමතක කරන්න එපා.
ඔබේ ජීවන රටා පදනම් කර ගන්න
සමාජය තුළදී අපි විවධ භූමිකාවන් නිරූපණය කරනවා. මේ නිසා ඔබ සපත්තු තෝරාගැනීමේදී ඔබේ ජීවන රටාව කෙරෙහි සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඔබ ක්‍රීඩාවලට මුල්තැන දෙන රැකියාවක් කරන කෙනෙක් නම් ඔබ තෝරා ගන්නා සපත්තු ඊට ගැළපෙන විදිහට සවි ශක්තිය සහ කල් පැවැත්ම අතින් ඉතා හොඳ තත්ත්වයක තියෙන්න ඕන. ඒ වගේම ඔබ කාර්යාලයක වැඩ කරන කෙනෙක් නම් ඔබට අඩි උස හෝ විවිධ වර්ගයේ සපත්තු පළඳින්නට හැකියාව තියෙනවා. ඉතින් ලස්සනට, හැඩට රැකියාවට යන ඔබ මේ හැම සපත්තු වර්ගයක්ම ඔබේ අවශ්‍යතාවය අනුව තෝරාගන්න. එතනදී ඔබට ඔබේ ජීවන රටාව ගැනත් අනිවාර්යයෙන්ම හිතන්නට වෙනවා.
පාදවල ප්‍රමාණයට ගළපාගන්න
විලාසිතාවට කැපිලා පේන්න හිතලා ඔබේ පාදවල ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩු ප්‍රමාණයක සපත්තු පැළඳීම ඔබේ පාදවලට ඉතා අහිතකර තත්ත්වයන් ඇති කරන්නට පුළුවන්. ඔබේ පාදවලට වඩා කුඩා ප්‍රමාණයේ සපත්තු පැළඳීමෙන් පාද තුවාල වීම, පාදවලට වැඩිපුර දහඩිය දැමීම නිසා ආසාත්මිකතා ඇති වීම වේදනාකාරී තත්ත්වයන් ඇතිවීමේ හැකියාව තියෙනවා. ප්‍රමාණයෙන් විශාල සපත්තු පැළඳ සිටීමේදී ඔබ ඒවා සමබරව තබා ගැනීමට උත්සාහ කරනවා.
මෙහිදී ඔබේ පාදවලට පමණක් නොව පාදවලින් ඉහළට පවා පසුකාලීනව අහිතකර තත්ත්වයන් ඇති වන්නට පුළුවන්. ඒනිසා පාවහන් මිලදී ගැනීමේදී ඔබගේ කකුල්වලට හරියටම ගැළපෙන පාවහන් යුගලය තෝරගන්න මතක තබාගන්න.
පහසුවෙන් ගැළපිය හැකි වර්ණ තෝරන්න
උද්ධමනය දවසෙන් දවස ඉහළ යාමත් එක්ක හැඩට ඉන්න විලාසිතා කරන්න කොච්චර වුවමනා වුණත් මුදල් ඒකට හරස් වෙනවා. ඉතින් සාමාන්‍ය ගමනක් යනකොට වගේම, කාර්යාලයට, උත්සව අවස්ථාවකට හෝ වෙනත් විශේෂ අවස්ථාවකට අඳින ඇඳුම අනුව ඔබට ඔබ පැළඳිය යුතු සපත්තු යුගලය තෝරා ගන්නට සිදුවෙනවා. මෙහිදී ඕනෑම ඇඳුමක ඕනෑම වර්ණයකට ගළපා ගත හැකිවන පරිදි වර්ණවලින් ඔබ සතුව සපත්තු තිබෙනවා නම් මේ වර්ණ ගළපාගැනීම ඔබට එතරම් අපහසු වන්නේ නැහැ.
උදාහරණයක් ලෙස කළු, දුඹුරු, රතු හෝ Nude Colors වලින් ඔබ සතුව සපත්තු තිබෙනවා නම් ඔබට ඒවා ඕනෑම ඇඳුමකට ගළපා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ගැළපෙන්න විලාසිතා කරන්න ඕනම ඇඳුමකට ගැළපෙන වර්ණ පාවහන් මිලදී ගන්න.ඉතින්,පෙනුමට, හැඩට පාවහන් පළඳින්න කලින් මේ දේවල්ගැන දැනගෙන සිටීම ඔයාගෙ පොකට් එකට වගේම විලාසිතාවේ අගය වැඩි කරගන්නත් ලොකු වාසියක් වෙයි.
(අන්තර්ජාලය ඇසුරෙන්)
දුම්ෂා විජේසිංහ ✍️