ඇමරිකාවේ සරසවිවලින් අනාවරණයක්
මොළයේ විශාලත්වය නිසා මිනිසා සෙසු ජීවින්ට වඩා වෙනස් බව සැළකෙනවා. ඒ නිසාම චින්තනය, නවෝත්පාදන හැකියාව වැනි කටයුතුවලදී සැබැවින්ම මිනිසා ඉදිරියෙන් සිටිනවා. අභ්‍යවකාශය පවා ජයගැනීමට මිනිසාට හැකියාව ලැබී තිබෙන්නේ මේ නිසා බැව් රහසක් නොවේ. ශරීරයේ විශාලත්වය අනුව පිරිමින්ගේ මොළය කාන්තාවන්ගේ මොළයට වඩා 11% කින් විශාලයි. නමුත් පර්යේෂණ සාහිත්‍ය අනුව කාන්තාවන්ට සහ පිරිමින්ට සමාන ඥාන ශක්තියක් තිබෙනවා. මොළය අපේ ශරීර ස්කන්ධයෙන් 2% ක පමණ බරින් යුක්ත වුණත් අපගේ පරිවෘත්තිය ශක්තියෙන් 20% කට වඩා පරිභෝජනය කරනවා. කොටින්ම අපේ සියළු අවයවවලින් වැඩිම ශක්ති පරිභෝජකයා මොළයයි. චිම්පන්සියෙකුගේ මොළය සමග සංසන්දනාත්මකව බලනවිට මිනිසාගේ මොළය විශාලත්වයෙන් වැඩියි. නමුත් මේ ගැනත් දැන් අලුත් අදහස් ඇති වෙනමින් පවතිනවා.
මොළයත් පුංචි වෙනවා…
හෝමෝසාපියන් අවධියට සාපේක්ෂව බලන විට මිනිසාගේ මොළය කුඩා වෙන ප්‍රවණතාවයක් ගොඩනැගෙමින් පවතිනවා. පසුගිය වසර 10, 000 ක කාලයක් තුළ මෙම කුඩා වීමේ ප්‍රවණාතවය පැහැදිළිව දැක ගැනීමට හැකි බැව් පර්යේෂකයන් පෙන්වා දෙනවා. 2023 වසරේදී නිව්යෝර්ක්හි ස්වභාවික ඉතිහාසය පිළිබඳ ඇමරිකානු කෞතුකාගාරයේ ඉයන් ටැටර්සෝල් මේ පිළිබඳව අධ්‍යනයක් සිදු කරනු ලැබුවා.
ඔහු සඳහන් කරන අන්දමට අවසන් අයිස් යුගයේ ජීවත්වුණ හෝමෝසාපියන් මිනිසුන්ට වඩා අද දවසේ ජීවත් වෙන පිරිමින් සහ කාන්තාවන්ගේ මොළය 12.7 % කින් කුඩාය. මීට පෙරාතුව 1934 වසරේදී ඉලිනොයිස්හි චිකාගෝ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ජර්මානු ජාතික විද්‍යාඥයෙකු වන ගර්හාඩ් බොනින් මේ අන්දමේ සටහනක් තබා තිබෙනවා.
පසුගිය වසර කීපය තුළ එනම් අවුරුදු 10, 000- 20, 000 දක්වා වූ කාලය තුළ මිනිස් මොළයේ කුඩා වීමක් ගැන නිශ්චිතව හඳුනා ගෙන තිබෙනවා. මිනිසුන් ජ්‍යාමිතික රූප සහිත කැටයම් නිර්මාණයට යොමු වූ කාලයේ පටන් මෙම සංසිද්ධිය පෙනීගොස් තිබෙන බැව් බොනින්ගේ අදහසයි.
මොළය කුඩා වෙන්න පටන් ගත්තේ ඇයි?
ඉයන් ටැටර්සෝල්ගේ උපකල්පනය අනුව මිනිසා භාෂාව සමග ගණුදෙණු කිරීමට පටන් ගැනීමත් සමග චින්තන විලාසය වෙනස් වුණා. ඔවුන්ට භාෂාව මගින් අවශ්‍ය තොරතුරු සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබුණා. ඒ නිසාම මොළයේ ස්නායු පරිවෘත්තිය වඩාත් කාර්යක්ෂම ආකාරයකින් ප්‍රතිසංවිධානය වුණා. මේ අන්දමින් මොළයේ සැකස්ම වෙනස් වීමත් සමග විශාල මොළයක අවශ්‍යතාවය වෙනස් වුණා.
මේ පිළිබඳව තවත් අදහසක් 2021 වසරේදී ඉදිරිපත් වී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ඩාර්ට් මවුත් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥ ජෙරම් ද සිල්වා විසින් වසර මිලියන 9. 85 කට පෙරාතුව පටන් හිස් කබල්හි පොසිල විශ්ලේෂණය කරන ලද අතර ඒ අනුව උපකල්පනය කරන්නේ සංකීර්ණ සමාජයන් සහ අධිරාජ්‍යන් බිහිවීම සඳහා දැනුම සහ කාර්යන් ව්‍යාප්තවීම නිසා මිනිසුන්ට තව දුරටත් සෑම දෙයක්ම දැනගැනීමට එතරම් අවශ්‍යතාවයක් ඇති වුණේ නැති අතරම ජීවත් වීමට බරපතල ලෙසින් සිතන්නට අවශ්‍යතාවයක්ද ඇති නොවීය. ඒ නිසා ක්‍රමයෙන් මිනිස් මොළයේ ප්‍රමාණය අඩු වෙන්නට ඇතැයි උපකල්පනය කරනවා.
පෝෂණයත් බලපානවා…
මොළයේ හැකිලීම සඳහා පෝෂණය පිළිබඳව ගැටලු යම් අන්දමකින් බලපා ඇති බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව පරිණාමය පිළිබඳ අධ්‍යනය සඳහා වූ ලිවර්පූල් මධ්‍යස්ථානයේ මාර්ටා ලාර් සඳහන් කරනවා. දරිද්‍රතාවය, මන්දපෝෂණය වැනි දේවල් මොළයේ වර්ධනයට බලපාන බව අප හොඳින් දන්නා කරුණක්. අපේ මුතුන් මිත්තන් දඩයම් යුගයේ සිට ගොවිතැනට යොමු වීමත් සමග ඇති වුණ ඛණිජ ලවණ ඌනතාවයත් මොළයේ කුඩා වීමට බලපා තිබෙනවා. ඒ අතරම වනාන්තරයේ නිවැසි බල්ලන් සහ බළලුන්ට වඩා ගෙවැසි බල්ලන් සහ බළලුන්ගේ මොළයේද 10%- 15% ක කුඩා වීමක් දක්නට ලැබෙනවා.
දේශගුණයේ බලපෑම…
වෙනස්වන දේශගුණයත් මොළයේ වෙනස්වීම සඳහා බලපෑම් ඇති කරන්නට ඇතැයි කැලිෆෝනියාවේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ විද්‍යාඥ ජෙෆ් මෝගන් ස්ටීබල් සඳහන් කරනවා. 2023 වසරේදී ඔහු මේ වෙනුවෙන් අධ්‍යනයක් ආරම්භ කළ අතර එහිදී පසුගිය වසර 50, 000 ක පමණ කාලයක් තුළ හෝමෝසේපියන් හිස්කබල් 298 ක් පමණ විශ්ලේෂණය කළා. දේශගුණය ඉහළ යෑමත් සමග මොළයේ ප්‍රමාණය කුඩා වීමක් සහ දේශගුණය සිසිල් වීමත් සමග මොළයේ ප්‍රමාණය විශාල වීමක් සිදු වෙන බැව් දේශගුණික වාර්තාවන් සමග සිදු කරන ලද සංසන්දනාත්මක අධ්‍යනයන් අනුව ඔහු පෙන්වා දෙනවා.
උණුසුම් දේශගුණික කලාපයන්හි මිනිසුන්ට උෂ්ණත්වයට ඔරොත්තු දීම සඳහා සිහින් උස ශරීර පරිණාමයෙන්ම ලැබී තිබෙනවා. මොළයේ ප්‍රමාණයත් ඊට සමගාමී ක්‍රියාවලියක් විය හැකි බැව් ඔහුගේ අදහසයි. අවසාන අයිස් යුගයේදී ඇති වුණ ඉහළ උෂ්ණත්වය සමග සිරුර සිසිල්ව තබා ගැනීම සඳහා කුඩා ප්‍රමාණයේ මොළයක සහය අවශ්‍ය වුණා. මේ අදහස ඔහු තවත් සරලව අපට මේ අන්දමින් ඉදිරිපත් කරනවා.
අපට උණුසුම වැඩි වුණොත් ටී ෂර්ට් එකක් අඳිනවා. නැත්නම් පිහිණුම් තටාකයට පනිනවා. ඒත් නැත්නම් වායු සමීකරණයක් ක්‍රියාත්මක කරනවා. මේ වගේ විකල්ප අද අපට තිබෙනවා. නමුත් අතීත යුගයේදී මෙවැනි පහසුකම් තිබුණේ නැහැ.
ඒ නිසා මොළය, බලශක්තිය හා උණුසුම විශාල ලෙස පරිභෝජනය කරනවා නම් එය දේශගුණයට අනුගත විය යුතුයි. මේ නිසා ඉක්මනින් පෘථිවිය උණුසුම් වන විට අපේ මොළය හැකිලීම වඩාත් වේගවත් වීමේ හැකියාවක් තිබෙනවා යැයි ජෙෆ් මෝගන් ස්ටීබල් සඳහන් කරනවා.
මොළය අඩු වුණොත් බුද්ධියෙන් පිරිහෙනවාද…?
මොළය අඩුවීම බුද්ධිය පිරිහීමට බලපානවාදැයි දැන් බොහෝ දෙනා අතර විවාදයට තුඩු දෙන හේතුවක් විය හැකියි. නමුත් මොළයේ ප්‍රමාණය සියල්ල තීරණය කරන තීරණාත්මක සාධකයක් නොවේ. අපේ මොළය මේ වෙන විට ප්‍රමාණයෙන් අඩු වෙමින් පැවැතෙන අතර එයින් අදහස් වන්නේ මිනිසා බුද්ධියෙන් හීන කොටසක් ලෙසින් වර්ධනය වීමක් නොවේ.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️