ඇය ලීලාවතී ඇසිලින් ධර්මරත්න. ලීලාවතී අත්තම්මා විශේෂ වෙන්නේ ජීවිතෙන් අඩකටත් වැඩි කාලයක් දූවරුම හතර දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසිලා අවුරුදු 97 දි මුළු ලංකාවෙම මිනිස්සුන්ට ලොකු ආදර්ශයක් ගෙන දෙමින් පශ්චාත් උපාධිය ලබාගත් නිසයි. අවුරුදු 97කින් වියපත් වුණත් මනසින් තවමත් ඇය තරුණයි. මේ ලීලාවතී අත්තම්මත් ඇයගේ දියණිවරුත් නවලියට කියූ සියවසක අරුමැති කතාව…
“සැමියා මියගියාට පස්සෙ මට ජීවත් වෙන්න තිබුණ ලොකුම හයිය මගේ දරුවො හතර දෙනා. මට ඉන්නෙ ලස්සන දුවලා හතරදෙනෙක්. හරිම පිංවන්තයි. මං මගෙ දරුවන්ට ගොඩක් ආදරේ කළා. මගේ ස්වාමිපුරුෂයත් උතුම් මනුස්සයෙක්. ඔහු අකාලෙ මියගියත් මට දීලා ගිය තෑග්ග තමයි මගේ දරුවෝ. ඔහුට තිබ්බ ගෞරවය, ආදරය මගේ හිතෙන් අහක් වෙලා ගියේ නෑ කවදාවත්. මහත්තයා වෙනුවෙන් තමයි මං මගේ දරුවන්ට ගොඩක් ආදරේ දීලා හොඳට උගන්නලා උසස් තැන්වලට ගත්තේ.
දරුවොන්ගේ ජයග්‍රහණ දකිද්දි මට මගහැරුණු දේවල් ගැන කවදාවත් දුක් වෙලා නෑ.දරුවන්ගේ අවාසනාවට පියා පුංචි කාලෙම මියගියත් ඔවුන්ගේ වාසනාවට මං නොතාරිස් කෙනෙක් වුණා. මට ඕනතරම් වැඩ ලැබුණා. ඒ නිසා ආර්ථික අපහසුතාවක් තිබුණේ නෑ. ඒ තමයි හොඳින් ඉගෙනගැනීමේ වටිනාකම.”
ලීලාවතී අත්තම්මා මෙහෙම ඇගේ කටහඬ අවදි කරද්දි ඒ කතාවේ අඩුලුහුඬුකම් පිරෙව්වේ ඇගේ වැඩිමල් දියණිය ධම්මිකා ජයලත්.“තාත්තා මියගියාම ගෑනු ලමයි හතර දෙනෙක් එක්ක විවාහයෙන් අවුරුදු 7ක් යද්දි අම්මා තනිවුණා. ඒ වෙද්දි අම්මා නීති ශිෂ්‍යාවක්. නීති විද්‍යාලෙන් ආපහු ගෙදර ඇවිත් අපිට උගන්නන්න මුල් තැන දුන්නා. අපිට සියලු පහසුකම් දුන්නා. අවසානෙ අපි PHD ඇතුළු පශ්චාත් උපාධිධාරීන් වුණා.
මං බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරියක්. දෙවෙනි නංගි සමුද්‍රා, බැලරට් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ මහාචාර්යවරියක්. තුන්වෙනියා ඉන්ද්‍රනීලා උපාධිධාරී ගුරුවරියක්. බාල නංගි මනෝහරී නීතිඥවරියක් වගේම රාජ්‍ය සම්මාන දිනූ ගත් කතුවරියක්.ඔය හැමදේම අස්සෙ අම්මා පොත්පත් පරිශීලනය කළා. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, පාලි, හින්දි, සංස්කෘත හාෂාවල නිපුනත්වයට පැමිනුණා. සියලුම ආකාරයේ හස්ත කර්මාන්තවල අති දක්ශයෙක් වුණා. බීරලු, තැටින්, නිටිං, ක්‍රොචේ, එම්බොයිඩරි, චිත්‍ර ආදී බොහෝ දේවල් කළා.
ජීවිතේ කරදර පැමිණි වෙලාවල්වල ගැහැනුකම ඉක්මවා එඩිතර පිරිමියෙක් වගේ වැඩකළා. හැකි හැමවිටම බොහෝ අයට මුදලින්, ඉඩකඩම් දේපළවලින්, දැනුමින් හා හැකි හැම විදිහටම උදව් කළා.දරුවො ඈතට යනකොට උපේක්ෂා සහගතව අධ්‍යාපන කටයුතුවල යෙදුණා. අවසානයේ වයස 95දී උපාධියත් 97දී පශ්චාත් උපාධියත් ලබාගත්තා. අපේ උපාධි උත්සවවලට ආඩම්බරෙන් ආව අම්මගෙ උපාධි උත්සවයට අපි හතර දෙනා ආවෙ මොනරු වගේ ආඩම්බරෙන්.
හැම ළමයකුටම නොලැබෙන ගාම්භීර අවස්ථාවක් අම්මා අපිට දුන්නා. අපේ අම්මාගේ කතාව හැමෝටම, විශේෂයෙන් ගැහැනු අපට ආදර්ශයක්.”ඇය ඒ විදිහට ඇත් රැජිණක් වගේ ඉන්න ආදරණීය අම්මා ගැන වචන කරද්දි තවත් කරුණු ටිකක් ඒකට එකතු කළේ ලීලාවතී අම්මගේ තුන්වෙනි දියණිය ඉන්ද්‍රනීලා ජයලත්.
“අපේ තාත්තා හෘදයාබාධයකින් නැතිවෙද්දි ලොකු අක්කට අවු 6යි. දෙවෙනි අක්කට 5යි. මට 4යි. නංගිට අවු 3යි. තාත්තා නැතිවුණ දවසේ අම්මා හිටියේ නීති විද්‍යාලයේ අන්තිම විභාගෙ ලියන ගමන් ඒ කාලේ ෆෝන් නෑනෙ. ඉතින් ගෙදර කෙනෙක් ගිහින් අම්මව එක්කන් ඇවිත් තිබුණේ බබෙක්ට සනීප නෑ කියලා. අම්මා විභාගෙ අතරමග ගෙදර ආවා.
පස්සෙ කාලෙක අම්මා කිව්වා අම්මා එදා ගෙදර එද්දි අහසෙ වල්ගා තරුවක් පායලා තිබ්බලු. මතයක් තියෙනවනෙ වල්ගා තරු දකින්න හොඳ නෑ කියලා. ඉතින් අම්මා වල්ගා තරුව දිහා බල බල ගෙදර එනකල්ම දැනන් හිටියෙ නෑ තාත්තා නැති වෙලා කියලා. අපේ අම්මා තාත්තා නැති වෙලත් හොඳ දරාගැනීමකින් හිටියා කියලා අපේ වැඩිහිටියො කියලා තියෙනවා.
අම්මා අදටත් කියන දෙයක් තමයි එයා ඉගෙනගෙන හොඳ තැනක නොහිටියා නම් දේපළ සේරම විකුණගෙන කාලා, දරුවො හතරදෙනා එක්ක පාරට බහින්න සිද්ධ වෙන්නෙ කියලා. අම්මට ආර්ථික ප්‍රශ්න තිබුණෙ නෑ. අම්මා නීති විද්‍යාලෙ ඉගෙනගත්ත නිසා අපිව බලාගන්න සේවිකාවොත් ගෙදර හිටියා. අවසන් නීති විභාගෙ නොලිව්වට අම්මත් ඒ වෙද්දි නොතාරිස් කෙනෙක්. තාත්තත් නොතාරිස්. තාත්තා අම්මට ගෙවල් අටක් හදලා දීලා තිබුණා කවදහරි අම්මට කලින් තාත්තා නැතිවුණොත් ඒවා කුලියට දීලා ජීවත් වෙන්න කියලා. ඒ වගේම අපිට කුඹුරු තිබ්බා. මේ නිසා ආර්ථික අපහසුතා තිබුණෙ නෑ.”
අපිව අධ්‍යාපනය පස්සෙම පැන්නුවෙ නෑ
“ අපිට උඩරට/භරත නැටුම්, සංගීතය, මැහුම් ගෙතුම් පවා අම්මා ඉගැන්නුවා. කිසිම ටියුෂන් එකකට අපිව යවලා නෑ. ඉංග්‍රීසි, සිංහල, ගණිතය ඉගැන්නුවේ අම්මාමයි. ඒ වගේම ළමා කාලය ළමයි විදිහට ගෙවන්න දුන්නා. නමුත් ඒ කාලෙ සෙල්ලම් බඩු හරි හිඟයි. අම්මා කුඹුරෙ ගොයම් කපපු කාලෙට ලොරියක් පිරෙන්න පිදුර පුරවන් ඇවිත් මිදුලට දම්මෝනවා. ඇති තරම් පිදුරු ගොඩේ සෙල්ලම් කරන්න දෙනවා. නැත්නම් අපිව කුඹුරට හරි ගෙනිහින් දානවා සෙල්ලම් කරන්න කියලා. ඒ වගේ හැම පැත්තකින්ම අත්දැකීම් අපේ අම්මා අපිට දුන්නා.”
අන්තිම විභාගෙ ලියන්න බැරිවුණා කියලා අම්මා කවදාවත් පසුතැවුණෙ නෑ
“පළවෙනි පාර, තාත්තා නැතිවෙලා විභාගෙ ලියන්න බැරි වුණත් දෙවෙනි පාර අම්මා උත්සාහ කළා. නමුත් එදා නංගිගෙ කකුලක් කැඩුණා. ඊටපස්සෙ අම්මා නීති විභාගෙ ගැන ආයෙ හිතුවෙ නෑ.” අම්මා ගැන මං පොතක් ලියනවා ‘සියවසක අරුමය’ කියලා. සියවසක මතක අම්මගෙ ඔළුවෙ තියෙනවනේ. අම්මත් එක්ක ගෙදර ගෙවෙන කාලෙ හරිම අර්ථාන්විතයි.
අපිට කතා කරන්න දේවල් ඕනතරම් තියෙනවා. අම්මා හරිම සෞඛ්‍ය සම්පන්නයි. එයාගේ වැඩවලට උදව් වෙන්න කෙනෙක් අපි තියලයි තියෙන්නේ. නමුත් ඇය තවමත් ඇගේ රෙදි හෝදගන්නවා. කෑම ටික බෙදාගන්නවා. හැමතිස්සෙම කියන්නෙ වැඩ නොකළොත් ඇඟිලි පණ නැතිවෙයි කියලා. අම්මා තවමත් ලියනවා. කියවනවා. අපේ මුණුබුරු මිණිබිරියන්ටත් කතන්දර පොත් හදලා දෙනවා. ඇය තවමත් ඇගේ ලෝකෙ සුන්දරව ජීවත් වෙනවා. අම්මට තිබුණා අපිත් දැන් සමාජේ වැදගත් තැන්වල ඉන්න නිසා ගෙදරට වෙලා නිකන් ඉන්න. හැබැයි ඇය ඉගෙනීම නැවැත්තුවේ නෑ. අපි නවත්තන්න කිව්වෙත් නෑ.
එදා අම්මා උපාධිය ගත්තු දවසේ
‘අම්මා එදා දවසටත් මූණ දුන්නෙ හරිම උපේක්ෂා සහගතව. එදා අම්මා කිව්වෙත් මේ ජයග්‍රහණයත් අපි හතර දෙනාටම තමයි කියලා. සමාජේ හැම දරුවෙක්ටම ආදර්ශයක් දුන්න එක ගැන අම්මා ගොඩක් ආඩම්බර වුණා. අපි හතර දෙනාගේම උපාධි ප්රදානෝත්සවවලදි අම්මා පුදුම විදිහට සතුටු වුණා. තාත්තත් නැතුව තනියම කෙල්ලො හතර දෙනෙක්ට උගන්නලා උපාධිධාරියෝ කරපු එක ගැන අම්මට තිබුණේ නොසෑහෙන සතුටක්. සමහර පවුල්වල දරුවො සහ දෙමාපියො අතරේ සම්බන්ධය නැතිවෙලා තියෙද්දි මම හිතන්නෙ තවමත් අපේ අම්මට දරුවො හතරදෙනා එක්කම ඉන්න පුළුවන් වෙලා තියෙන එක ලොකු වාසනාවක්.’
එරංදි කෞශල්‍යා ✍️