ලංකාව කියන්නේ පුංචි පාරාදීසයක්. ස්වභාවික සෞන්දර්යයෙන් පිරුණු දේශීය විදේශීය සංචාරකයන්ගේ සිත් ගත් පාරාදීසයක්.වර්ග කිලෝමීටර් 65610ක් වෙන මේ ලංකාව වටේම දින 12 කින් පාපැදියකින් සවාරියක් ගිය තරුණියක් අපිට හමුවුණා. මේ කතාබහ ඈ ගැනයි.
ඔබ ගැන කිව්වොත්…
මගේ නම ප්රතිනි සමරදිවාකර. මිනුවන්ගොඩ ඉන්නෙ. මට වයස 33 යි. ගම්පහ රත්නාවලි බාලිකාවෙන් අධ්‍යාපන හැදෑරුවා. පසුව කැලණි විශ්වවිද්‍යාලයෙන් භූගෝල විද්‍යා විශේෂවේදී උපාධිය හදාරලා දැන් රීසර්චර් කෙනෙක් විදිහට වැඩ කරනවා.
මෙහෙම සවාරියක් යන්න හිතුවෙ ඇයි?
බයිසිකල්වලට මම හරි ආසයි. මීට කලින් ගොඩාක් පිරිමි අයත් ලංකාව වටේ සවාරි ගියා. ස්කූටර්වලින් පවා ගෑනු ළමයි ගියා. මට ලංකාව වටේ බයිසිකලයකින් යන්න ඕන වුණා. අවුරුදු තුන හතරක ඉදලා හිතේ තිබ්බ ආසාවක් ඒක.
ඒ ගමන ගැන කිව්වොත් ?
මීගමුවෙන් මම මගේ සවාරිය ආරම්භ කරේ. උදේ 5.30 ට. මම මීගමුව, පුත්තලම, මන්නාරම, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, ආරූගම්බෙ, බුත්තල, අම්බලන්ගොඩ, ගාල්ල සහ ආයේත් මීගමුවට. මේ විදිහට දවස් 12 සවාරිය ගියා. km 1430 ගෙවා තමයි මම පාපැදියෙන් ලංකාව වටේ සවාරිය ගියේ.
මොනවද ලැබුණු අභියෝග?
දේශගුණය තමයි ලොකුම අභියෝගය වුණේ. යාපනයේ, ත්‍රිකුණාමලයේ අව්ව සැරයි ගොඩාක්. ලංකාව කියන්නෙ ඔයා කිව්වා වගේ වෙනස් දේශගුණයන් තියෙන රටක්.
ඒකට මුහුණ දුන්නෙ කොහොමද ?
මුල් කාලෙ නම් සන්ක්‍රීම් එකක් පාවිච්චි කළා. ඒත් දාඩිය දාද්දි ඒකෙන් වැඩක් නැති වෙනවා. මම බයිසිකල් පැදලා පුරුදු කෙනෙක් නිසා එච්චර ගාණක් වුණේ නෑ. ඉතින් මං ඒවාට අවධානයක් දුන්නෙ නෑ .
ලැබුණු සහයෝගය කොහොමද ?
සාම පපැදි ශූර බලචන්ද්ර හෙන්රි මහතා අපේ ගමේ. එයා මට ගොඩාක් බයිසිකල් ටෙක්නිකල් පැත්තෙන් උදව් කරා. බුද්ධි ජයමාන්න විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. එතකොට අනිත් විශේෂම කෙනා තමා මගේ තාත්තා. එයා මාත් එක්ක මේ සවාරිය යන්නත් ආවා. අපි අතර Km 5 ක වගේ පරතරයක් තිබ්බා. මගේ ඇඳුම්, උපකරණ ඔක්කොම වෙනත් වාහනයකින් අරන් ආවේ තාත්තා. තව මුල්‍යමය වශයෙනුත් ගොඩාක් අය මට උපකාර කළා.
ලංකාව ආරක්ෂිත තැනක්ද ගෑනු ළමයෙක්ට ට්‍රැවල් කරන්න?
සමහර තැන් නම් ආරක්ෂිතයි. සමහර තැන් එහෙම නැහැ. මටම හිතුණු වෙලාවල් තියෙනවා මේ වගේ තැනකින් මං ඇරුණාම වෙන ගෑනු ළමයෙක් යයිද කියලා. මට තිබ්බ ආසාව නිසා සවාරිය යන්න ගත්තේ. මම කියන්නෙ ආසාව තියෙන ඕනෙම කෙනෙක්ට ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් කිසිදේකට බය නොවී.
නිපුනි සම්මානි ✍️