රටක් යනු නෞකාවක් නම්, එය බාධක මැදින් නිරුපද්‍රිතව මෙහෙයවන කපිතාන්වරයා වන්නේ එම රටේ ජනාධිපතිවරයාය. එහිදී ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පරමාධිපත්‍යය බලය පවතින්නේ රටේ ජනතාවටයි. තවත් නොබෝ දිනකින් එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාව නිවැරදි දිශානතිය කරා මෙහෙයවිය හැකි නායකයෙකු පත් කර ගැනීමට අප රටේ ජනතාවට තවත් ස්වර්ණමය අවස්ථාවක් උදාවී ඇත. ඉතින් ජනාධිපතිවරණය හා පවතින නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අපි අද දැනුවත් වෙමු.
ජනාධිපතිවරයෙකු පත්කිරීම සඳහා බලපාන නීති මොනවාද?
මේ සඳහා ප්‍රධාන වශයෙන්ම අදාළ වනුයේ සංශෝධිත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ (සංශෝධිත) පනත වේ. මීට අමතරව 2004 අංක 14 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත සහ 2011 අංක 28 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත මඟින්ද විධිවිධාන සලසයි.
ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත්වීමට නම් සපුරාලිය යුතු සුදුසුකම් මොනවාද?
අපේක්ෂකයා වයස අවුරුදු 30 සම්පුර්ණ කළ ශ්‍රී ලංකාවේ ඡන්ද බලය හිමි පුරවැසියෙකු විය යුතු අතර ඔහු හෝ ඇය ජනාධිපතිධුරය සඳහා ජනතාව විසින් දෙවරක් තෝරා පත්කර නොතිබිය යුතුයි.ඒ අනුව, එම සුදුසුකම් සහිත පුද්ගලයාගේ නම පිළිගත් දේශපාලන පක්ෂයකින් හෝ ඔහු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුව සිටී හෝ සිටින්නේනම් වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ ඡන්ද හිමි නාම ලේඛනයක නම ඇතුළත් ඡන්ද හිමියෙකු විසින් හෝ යෝජනා කළ හැක.
ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු කාලය තීරණය කරන්නේ කොහොමද?
ජනාධිපති ධූර කාලය වසර 5 ක් වන අතර වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉකුත්වීමට මාසයකට නොඅඩු සහ මාස 2කට නොවැඩි කාල සීමාව තුළ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වේ.
ජනාධිපතිවරණ කටයුතු ආරම්භ වන්නේ කොහොමද?
ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට නියම වන අවස්ථාවකදී පළමුවෙන්ම එම දිනයේ සිට දින 16 කට නොඅඩු හෝ දින 21 කට නොවැඩි දිනයක් නාම යෝජනා කිරීමේ දිනය ලෙස නියම කළ යුතුය. අනතුරුව එම දින සිට සති 4 කට නොඅඩු හෝ සති 6කට නොවැඩි දිනයක් ඡන්ද විමසීමේ දිනය ලෙස ප්‍රකාශයට පත් කළ යුතුය.
මේ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් විසින් කොමසාරිස්වරයාට ඡන්ද විමසීම පැවැත්වීමට නියම වූ දින සිට නාම යෝජනා බාරදීමේ දිනට පෙර දිනයෙහි මධ්‍යහන 12 ට පෙරත් අතර කාලයේ ඇප තැන්පත් කළ යුතුවේ.
ඡන්දයකදී ජනාධිපතිවරයා තෝරා පත් කරගනු ලබන්නේ කොහොමද?
අපේක්ෂකයින් තිදෙනෙකු හෝ ඊට වඩා ඉදිරිපත්ව සිටින විටකදී ඡන්ද දායකයන්ට තම දෙවන සහ තුන්වන මනාපයද දැක්විය හැක. ඒ අනුව වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමි අපේක්ෂකයා ජනාධිපති ලෙස ප්‍රකාශ කරනු ලබයි.
කිසිම අපේක්ෂකයෙකුට දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට නොහැකි වුණොත් ජනාධිපතිවරයා තෝරන්නේ කොහොමද?
පළමුවෙන්ම වැඩිම සහ දෙවනියට වැඩිම මනාප හිමි අපේක්ෂකයන් දෙදෙනා ඉතිරි කොට අනෙකුත් අපේක්ෂකයන් ඉවත් කරයි. පසුව එසේ ඉවත් කළ අපේක්ෂකයන්ට ඡන්දය ලබාදුන් ඡන්ද දායකයන්ගේ දෙවන මනාපය ඉතිරි අපේක්ෂයකයන් දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ ලැබී ඇත්නම්, එය ඔහුට ලද ඡන්දයක් සේ සලකයි.
තවද, දෙවෙනි මනාපය ගණන් නොලැබූ ඡන්ද දායකයන්ගේ තුන්වන මනාපය ඉතිරි අපේක්ෂයකයන් දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ ලැබී ඇත්නම් එය ද ඔහුගේ වාසියට ගණන් කළ යුතුය. ඒ අනුව වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමි අපේක්ෂකයා ජනාධිපති ලෙස පත් කෙරේ.
හොර ඡන්ද කියන්නේ මොනවාද?
ජීවත්ව සිටින හෝ මියගිය හෝ කල්පිත වු හෝ වෙනත් යම් පුද්ගලයෙකු ලෙස පෞද්ගලිකව හෝ තැපෑලෙන් ලබාදෙන ඡන්ද සහ තමාගේ නමින් එක වරකට වඩා ලබාදෙන ඡන්ද මේ යටතට වැටෙන අතර මෙලෙස හොර ඡන්ද ලබාදීම අපරාධමය වරදක් වේ.
ඡන්ද විමසීමක් නිෂ්ප්රභා බවට තීරණය වුණොත් මොකද්ද වෙන්නේ?
ජනාධිපතිවරයා තේරීම සඳහා වූ ඡන්ද විමසීම යථා පරිදි සිදු නොවු බවට හෝ එය නිෂ්ප්රභා බවට තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය සතුව බලය ඇති අතර එවැනි විටකදී එම තීරණය ගෙන මාස 3 ක් ගතවීමට පෙර ඡන්ද විමසීමක් පැවැත්විය යුතුය. එසේ නැතිනම් වෙනත් තැනැත්තෙක් ජනාධිපති ලෙස යථා පරිදි තෝරා ගත් බවට තීරණය කර ඇති විට, එම තීරණය ගෙන මාසයක් ඇතුළත ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දිය යුතුය.
අනුප්‍රාප්ත ජනාධිපතිවරයා කියන්නේ කවුද?
ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉකුත්වීමට පෙර එම ධූරය හිස් වුණොත්, පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතුරින් ඒ සඳහා සුදුකම්ලත් මන්ත්‍රීවරයෙකු පත් කරනු ලබන අතර ඔහු ධූරය හිස්කරන ජනාධිපතිගේ ඉතුරු කාලය සඳහා පමණක් අනුප්‍රාප්ත ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි. මේ අයුරින් ජනාධිපතිවරණය හා සම්බන්ධ මූලික නෛතික ප්‍රතිපාදන පෙන්වා දිය හැකිය.
එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඡන්ද හිමියෙකු වීමට සුදුසුකම්ලත්, වයස 18 සම්පුර්ණ කළ, තමන්ගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත්ව ඇති සෑම පුරවැසියෙකුටම ජනරජයේ ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ඡන්ද බලය හිමිවේ.
නීතීඥ කාංචනා ෂෙහානි
kanchanashehaniaal@gmail.com