‘තණමල්විල ‘ ප්‍රසිද්ධ මල්වලට. මල මොකක්ද කියල දන්නවනේ. ඒ මල් පවා පරවෙන, පහුගිය කාලෙ අත්දැකපු කඨෝර සිදුවීමක් ඇසුරෙන් තමයි කතාකරන්න යන්නේ. තණමල්විල පාසලක දහසය වියැති දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකාර සිසුන්ට අමතරව කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒකට හේතුව මේ කාරණාවට අනුබලදීම සම්බන්ධවයි. අපේ රටේ කාන්තාවකට එහෙමත් නැත්නම් ගැහැනියකට වෙන අපරාධයක් වසන් කරන්න උදව් වෙන එක හරිම සාමාන්‍ය දෙයක් වෙලා. අද රටේ ලිංගික ශ්‍රමිකයන් වැඩිපුර සේවයේ යොදවන්නේ කාන්තා අක්කලා, මැඩම්ලා තමයි.
මේ පුණ්‍යවන්ත අගෝස්තු මාසෙ දළදා පෙරහැර තියෙනවා. ඒකෙ දළදා වහන්සේට අගෞරවයක් වනවායි කියල කියන නිසා කාන්තාවෝ නර්තනයේ යෙදෙන්නෑ. ඒ වගේම දළදා වහන්සේ සඟවාගෙන ආපු හේමමාලා කුමරිය ඉන්න ලෝකෙක ඉඳන් ඉනට අත තියං බලං ඇති. උඩ මළුවෙ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වඳින්න පුළුවන් ප්‍රභූ කාන්තාවන්ට පමණයි. ඒක ගෙනාවෙන් සංඝමිත්තා මහතෙරණිය. ‘ජය සිරිමා හාමුදුරුවනේ…’ කියන ගීතයේ මේ කතාව ලස්සනට කියනවා.
අපේ රටේ ගැහැනුන්ට වැඩිපුර අසාධාරණකම් වෙන්නේ පිරිමි අතින්ම නෙවෙයි. ළමයෙකුගේ මුළු ජීවිතයටම බලපාන සිදුවීමක් වසන් කරා කියන්නේ ගමේ ගොඩේ අය කියන්නේ මේ ගෑනිට ළමයි-බමයි නැද්ද දෙයියනේ කියල. දරුවෙක්ගෙ අසරණකම ගැන කියවීම කොහොම ඇද්ද ? සහජයෙන්ම ගැහැනියකට අසාධාරණයකට විරුද්ධවීමේ ශක්තිය තිබුණට අද විරුද්ධ වෙන්නේ කීයෙන් කීදෙනාද? ගැහැනුන්ගේ ඒ හැකියාව නෂ්ට වෙමින් යන්නේ ඇයි?
අද ගැහැනු දරුවෙක්ට තියා පිරිමි දරුවෙක්ටවත් තනියම පාරෙ බැහැලා යන්න බැරි සමාජයක් තියෙන්නේ කියල බොහෝ දෙනා කියනවා. නමුත් ඒ සමාජය හදල තියෙන්නේ අපිම තමයි. සමස්ථ සමාජයේ වැඩි ප්‍රතිශතයක් ගැහැනු හිටියට රැකවරණය අඩුවෙන්ම ලැබෙන්නෙත් ගැහැනුන්ට. ඒ ඇයි?එකක් පසුගාමී සිතිවිලි, අනික අන්ධ ආගමික ශ්‍රද්ධාව අනික් එක තමා යටත් මානසිකත්වය. මිනිස්සු වෙනස් වෙන්නේ හැකියාවල් නැතුව දක්ෂතා නැතුව නෙවෙයි. ඔන්න ඔය සංකල්ප තුන අවුල් වුණාම. ඉස්සර මිනිස්සු කියනවා. කාගෙ වුණත් දරුවෙක්නෙ“ කියල මොනව හෝ සමාජ විරෝධී ක්‍රියාවලියකින් දරුවන් බේරගන්න සමාජයක් තිබුණා. වතාවක් මට මතකයි පාසල් ඇරිලා එද්දි මම කෝච්චිය නවත්තන්න කලින් එල්ලෙන්න ගිහින් වේදිකාව අස්සට වැටුණා.
වාසනාවකට හානියක් නොවුණට මිනිස්සු ඒ වෙලාවෙ උදව් කළා. හැබැයි ඊට පස්සේ පලු යන්න මට බනිනවා ඇහුණා. අද එහෙම දේකට මැදිහත් වෙන්න මිනිස්සු බයයි. ඊටත් වඩා ආත්මාර්ථකාමීයි.
බුදුන් වහන්සේ කිව්වේ. අත්තානං උපමං කත්වා. තමා උපමා කොට ජීවත් වෙන්න කියල. ෆෙස්බුක් එකේ ඒකම ලස්සනට ලියනවා. තමාට යම් කරදරයක් වනතාක් අපේ අදහස් දාර්ශනිකයි කියල.
අනෙක් පාර්ශවය කෙතරම් බලවත් වුණත් කවදාවත් වැරැද්ද, ආසාධාරණය වහන්න යන්න එපා. ඒක බලපෑම වෙන්නේ අපේ දරුවට, පවුලට, සමාජයට, රටට කියල හිතන්න…
මනෝරම වීරසිංහ