කාන්තාව මුළුතැන් ගෙදරට සීමාවුණ යුගයක් තිබුණත් අද වන විට ඇය බොහෝ සීමා මායිම් බිඳගෙන ඉදිරියට ගිය චරිතයක්. සම්ප්‍රදායික රැකියාවන්ට හෝ ව්‍යාපාරයන්ට සීමා නොවී අලුත් මංමාවත් තමන් විසින්ම එළිපෙහෙළි කරගන්නා යුගයක අද කාන්තාව ජීවත් වෙනවා. ගාල්ල, අක්මීමන පදිංචි ආර්.ඒ. ඉන්ද්‍රානි කුමාරි තවත් එවැනි චරිතයක්. මෝටර් බයිසිකලයක් පාවිච්චි කරන පුද්ගලයෙකුට හෙල්මට් එකක් නැතුවම බැහැ. ඒ වගේම මේවායේ අලුත්වැඩියාවක් අවශ්‍ය වුණොත් ඒ වෙනුවෙන් සේවය ලබා දෙන්න සූදානමින් සිටින ඇය කවුද? මේ කතාව ඇය ගැන.
කවුද මේ හෙල්මට් අක්කා?
මම ආර්.ඒ. ඉන්ද්‍රානි කුමාරි. මගේ ගම අගලවත්ත දිගන්නේ. මම අධ්‍යාපනය ලැබුවේ අගලවත්ත මොරපිටිය වීදියබණ්ඩාර පාසලෙන්. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම ස්වයං රැකියාවක් විදිහට ඇඳුම් මැසීම කරගෙන ගියා.
මම විවාහවුණාට පසුවත් ඇඳුම් මැසීමේ ව්‍යාපාරයම කර ගෙන ගියා. කරාතේ ක්‍රීඩා ඇඳුම්වලට මම බොහොම ප්‍රසිද්ධ වුණා. නමුත් කොවිඩ් වසංගතයත් සමඟ මගේ ව්‍යාපාරය කඩා වැටුණා. නමුත් එක දොරක් වැහුනාට තවත් දොරවල් තියෙනවානේ. ඉතින් මමත් වැහුන දොර ගැන නොතැවී විකල්ප ගැන හිතන්න පටන් ගත්තා.
ඉස්සර දවසක මගේ මාමා කෙනෙකුගෙන් මම හෙල්මට් අළුත්වැඩියාව ගැන ඉගෙන ගත්තා. නමුත් කවදාවත් හෙල්මට් අළුත්වැඩියා කරන්න කියන හීනයක් මට තිබුනේ නැහැ.
අර කියමනක් තිබෙනවානේ “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” කියලා. අපි උගත්කම කිව්වාම හිතන්නේ කඩදාසියෙන් ලැබෙන සහතිකය ගැන විතරයි. සමාජයේ තිබෙන මේ ආකල්පය වැරදියි. යම් ශිල්පයක් ඉගෙන ගත්තොත් ඒක අපේ ජීවිතයට කවදා හෝ වටිනාකමක් ලබා දෙනවා.
ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ මොකක්ද?
මම මුලින් කිව්වා වගේ අපේ ව්‍යාපාරය වැහුණට පසසේ ආදායම් මාර්ගයක් ඕන වුණ නිසා වගේම හැම දෙනාම කරන දෙයකට වඩා වෙනස් දෙයක් කරන්න ඕන ඉල්ලුමක් ඇති වෙන්න. ඒ නිසා හෙල්මට් අළුත්වැඩියා කරන්න මම ජංගම රථයක් තෝරා ගත්තා.
කොවිඩ් වසංගත කාලය කියන්නේ ඉතාම අවදානම් කාලයක්, හැබැයි ඔබ ඒක ජයග්‍රහණය කළා නේද?
ඔව්. නමුත් මම මේ කාලයේ තවත් අයෙකු හිසේ පළඳන හෙල්මට් එකක් අතින් අල්ලාගෙන අලුත්වැඩියා කළා. ලොකු අවදානමක් එතැන තිබුණා. නමුත් මම මේ අවදානම සමඟ කටයුතු කළා.
ඔබ අලුත් වුණා….
ඔව්. මම හෙල්මට් අළුත්වැඩියා කරන්න හිතුවා. එතැනත් අලුත් වුණොත් ව්‍යාපාරයක් විදිහට පැවැත්මක් ගොඩ නැගෙන බව මට දැනුණා. අපි කවුරුත් අළුත්වැඩියාවක් ගැන කිව්වාම ස්ථිර ගෙඩනැගිල්ලක පවත්වාගෙන යන ස්ථානයක් කියන සංකල්පයක් හිතේ ඇති වෙනවා. මම එතැනින් වෙනස් වුණා.
මේ කාලයේ අපේ ගෙදර තිබුනා පියාජියෝ ඩිලිවරි වර්ගයේ ත්‍රීවිල් එකක්. මම මේ රථය තුළ හෙල්මට් අළුත්වැඩියා කරන්න පටන් ගත්තා. සරලව කිව්වොත් ජංගම රථයක්. නමුත් ත්‍රීවිල් එකක ඉඳගෙන මේ ව්‍යාපාරය කර ගෙන යන්න හරිම අපහසුයි. කාලයත් එක්ක මගේ ජංගම රථයට ගණුදෙණුකරුවන් එකතු වෙන්න පටන් ගත්තා. සංඛ්‍යාත්මකව හෙල්මට් වැඩි වෙන්න පටන් ගත්තාම මගේ ත්‍රීවිල් එකේ ඉඩ ප්‍රමාණය මදි බව මට තේරුණා.
ඔබ විකල්පයක් විදිහට තෝරාගත්තේ…
මේ කටයුත්තට බස් එකක් හොඳයි කියලා මට හිතුණා. ලීසිං ක්‍රමයට බස් එකක් අර ගත්තා. දැන් බස් එක විදිහට පාරට දාන්න බැහැනේ. ඒක මගී ප්‍රවාහන මාදිලියේ බස් රථයක්. අපි ඒ බස් එකේ ආසන ගැලෙව්වා. දැන් ඉඩපහසුකම් තියෙනවා. මගේ හෙල්මට් බස් එක උදේ ඉඳන් හවස් වෙනකල්ම දක්ෂිණපාය ළඟ නවත්වා ගෙන ඉන්නවා.
මගේ සැමියා ක්‍රීඩා නිළධාරීවරයෙකු ලෙස කටයුතු කරනවා. මම ඔහු සමඟ සතියට දින හයක්ම හෙල්මට් බස් එකේ වැඩ කරනවා. ඉරිදාට නම් අපි යන්නේ නැහැ. උදේ සැමියා කාර්යාලයට යන වෙලාවට ගිහින් ඔහු සමඟ හවසට ගෙදර එනවා.
මට පුතාලා තුන් දෙනෙක් ඉන්නවා. ලොකු පුතා කොතලාවල ඇකඩමියේ කැඩෙට් නිලධාරීයෙක් ලෙස පුහුණුව ලබනවා. දෙවැනියා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ මෝටර් කාර්මික පාඨමාලාවකට අයදුම් කරලා සිටිනවා. බාල පුතා 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
හෙල්මට් අලුත්වැඩියා කටයුතු ගැන කිව්වොත්…
මම හෙල්මට් අළුත්වැඩියා කිරීම වගේම හෙල්මට් කුෂන් කිරීම, ලොක් සවි කිරීම, වයිපර් සවිකිරීම වැනි කටයුතු කරනවා. ඊට අමතකර ජැකට්, කීටැග් වගේ දේවල් අලෙවි කිරීමත් මේ අතරේම සිදු කරනවා.
දැන් ඔබ බොහොම ප්‍රසිද්ධයි…
ඔව් දක්ෂිණපාය ළග “හෙල්මට් අක්කා” කිව්වොත් හැම දෙනාම මා ගැන දන්නවා. මට මේ විදිහට නමක් ගොඩ නැගුණේ මගේ වැඩ පිළිබඳව තිබෙන ප්‍රමිතිය නිසයි. මගේ රහස එතැන.
ඒ වගේම මට හැම දෙනාගේම ආදරය වගේම ගෞරවයත් තිබෙනවා. ඒක ලොකු වාසනාවක්. ප්‍රධාන මාර්ගයක්. ජංගම රථයක් තුළ දවස ගෙවීමත් බාහිරව බලන විට සිතන තරම් සුන්දර කථාවක් නොවෙයි. නමුත් මට කිසිම ගැටළුවක් නැහැ. මගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයත් එතැන කිව්වොත් නිවැරදියි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️