සුචීන්ද්ර දිලුම් සංජීව අවුරුදු 37 ක තරුණයෙක්. ඔහු ඉන්නේ නුවර කටුගස්තොට. ඔහු ගැන ලියන්න හිතුවේ ඔහු කරන අලුත් වැඩක් නිසා. මේ වගේ අලුත් විදිහට හිතන තරුණයා මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණය පිළිබඳ උපාධිධාරියෙක් ද වෙනවා. හැබැයි ඔහු කරන අලුත් වැඩේ ඔහුගේ උපාධිය හා සම්බන්ධ එකක් නෙවෙයි.
සුචීන්ද්ර ඇයි මේ දිවුල් චොක්ලට් හදන්න හිතුවේ?
මම යුනිවසිටි අධ්‍යාපනය ඉවරවෙලා කොළඹ ජොබ් දෙකක් කළා. කොවිඩ් කාලෙන් පස්සේ ආපු ආර්ථික අර්බුදෙත් එක්ක අලුත් දෙයක් කරන්න හිතුවා. එකේ ප්‍රතිඵලය තමයි මේ දිවුල් චොක්ලට්.
කෙහොමද දිවුල් චොක්ලට් හැදුවේ ?
දිවුල් චොක්ලට් කියන්නෙ නැචුරල් දිවුල් පවුඩර් කොකෝවා පවුඩර් එක්ක මික්ස් කරල හදපු චොක්ලට් එකකට. ස්වාභාවික දිවුල් ඩීහයිඩ්‍රේට් කරල තමයි චොක්ලට් එක හදන්න ඕන පවුඩර් එක මම හදාගන්නේ. චොක්ලට් හදන්න ආටිෆිශල් ෆ්ලේවස් මුකුත්ම පාවිච්චි කරල නැහැ. ඒ නිසා බය නැතිව කන්න පුළුවන් නැචුරල් ප්‍රොඩක්ට් එකක් තමයි දිවුල් චොක්ලට් කියන්නේ.
ඩීහයිඩ්‍රේට් කියන්නේ මොකක්ද?
ඩීහයිඩ්‍රේට් කියන්නේ විජලනය කිරීමට. පලතුරු කොළ වර්ගවල ස්වාභාවිකව ජලය අන්තර්ගත වෙනවා. ඩීහයිඩ්‍රේට් කළාම වෙන්නේ ජලය යන්ත්‍රානුසාරයෙන් ඉවත් වෙනඑක. එතකොට ඉතුරු වෙන්නේ පෝශ්‍ය පදාර්ථ විතරයි. ඒ නිසා ඩීහයිඩ්‍රේට් පලතුරු ටිකක් කෑවත් ඇගට අවශ්‍ය පෝෂණය ඉක්මනින් ගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් අඹ, අන්නාසි, වගේ පලතුරු ඉක්මනට නරක් වෙනව. ඒත් ඩීහයිඩ්‍රේට් ක්‍රමයෙන් මාස හයක් වගේ කල් මේවා තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඩීහයිඩ්‍රේට් පලතුරු පහසුවෙන් ඕනම තැනක කන්නත් පුළුවන්. ගස්ලබු වගේ පලතුරු අතේ ඇලෙනවා. ඉක්මනට කන්න බෑ. ඒත් ඩීහයිඩ්‍රේට් කළාම ඉස්කෝලේ ළමයෙක්ට වෑන් එක ඇතුළෙදි වුණත් හරිම ලේසියෙන් කන්න පුළුවන්.
ඔයාගේ අලුත් චොක්ලට් එක හදන්න ඇයි දිවුල්ම තෝරගත්තේ?
චොක්ලට් එක හදන්නේ මොන පලතුරෙන්ද කියන එක ගැන මම ගොඩක් එක්ස්පරිමන්ට් කළා. චොක්ලට් එකක් කනකොට එකත් එක්ක තියන ෆ්ලේව එක දැනෙන්න ඕන. අඹ, කුරුඳු වගේ අනික් පලතුරු එක්ක එක්ස්පරිමන්ට් කරල බැලුවා. ඒත් චොක්ලට් එකත් එක්ක ෆ්ලේවස් හරියට එකතු වුණේ නැහැ.
ඒත් දිවුල් රසට ගොඩදෙනෙක් කැමතියි. අනික චොක්ලට් එකත් එක්ක හොඳට කම්බයින් වුණා. අනික් කාරණය තමයි දිවුල් කියන්නේ ගොඩක් රටවල නැති පලතුරක්. දිවුල් අපේ දෙයක්. පිටරට මකට් එක නොදන්න රසක්.
ඒ නිසා දිවුල් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන්. අනිත් එක දිවුල් කුණු කොල්ලෙට සමහර කාලවලට විකිණෙනවා. පහසුවෙන් ගන්න පුළුවන් නිසා ඒක ගැනත් හිතල දිවුල්වලින් චොක්ලට් එක හදන්න තීරණය කළා.
සුචීන්ද්රගේ නිෂ්පාදන වෙළදපොළේ මිලදී ගන්න තියෙනවද ?
ඔව්. ලංකාවේ තියෙන සමහර ශොප්වල මගේ චොක්ලට් එක ගන්න තියෙනවා. ඒ වගේම ගිහින් ගන්න අපහසු ඕනම කෙනෙකුට ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන්.
ඔබේ නිෂ්පාදන පිටරටටත් යවනවද?
ඩීහයිඩ්‍රේට් පලතුරු දැනටමත් පිටරටට මම එක්ස්පෝට් කරනවා. දිවුල් චොක්ලට් එකත් එක්ස්පෝට් කරන්න බලාගෙන ඉන්නේ. දැනට ජපානෙට සාම්පල් කිහිපයක් යවලා තියෙන්නෙ. ඊට අමතරව ඉතාලියට, ඇමරිකාවට එක්ස්පෝට් කරන්න රික්වෙස්ට් ලැබිල තියෙන්නේ.
ඔබ ඇයි වෙළඳ නාමයට කළු කොළ තීම් එකක් තෝරගත්තේ ?
ලංකාවේ පසු අස්වනු හානි වැඩියි. ඒක නිරූපණය කරන්න කළු ගත්තා. කොළ පාටෙන් සශ්‍රීකත්වය අගවනව.මම දිවුල් චොක්ලට් එක හදන්න හිතුවෙත් මේ ගැන හිතලා. ලංකාවේ සමහර කාලවල දිවුලුත් ගොඩක් අපතේ යනව.
මේ අපතේ යාම වළක්වන්න දිවුල් චොක්ලට් නමින් අලුත් නිෂ්පාදනයක් කරා. පසු අස්වනු හානි අවම කරල සශ්‍රීකත්වයට මඟ පෑදීම කියන අදහසින් තමයි කල තීම් එක දැම්මේ.
ඩයබෙටික්ස් වගේ රෝග තියන චොක්ලට් කන්න ආස අය වෙනුවෙන් නිෂ්පාදන තියෙනවද?
ඇත්තටම මගේ ඊලග ටාගට් එක තමයි ඩයබෙටික්ස් වගේ රෝග තියන අය වෙනුවෙන් සීනි නැති දිවුල් චොක්ලට් එකක් හදන එක.
මේවා කොච්චර කල් තියාගන්න පුළුවන්ද?
සාමාන්‍යයෙන් මාස හයක වගේ කාලයක් තියාගන්න පුළුවන්.
චොක්ලට් එක හදන්න කල් තියාගන්න දේවල් භාවිත කරල නැද්ද?
නැහැ. මාස හයක් වගේ තමයි කල් තියාගන්නත් පුළුවන්.අපේ ප්‍රොඩක්ට් වල මොයිස්චර් කන්ටෙන්ට් එක (7%) පල්ලෙහයින් තියෙන්නෙ. නරක් වෙන්නේ මොයිස්චර් එක වැඩි වුණාම.
ඉල්ලුම අනුව සැපයුම දෙන්න පුළුවන්ද
අපි දැනට චොක්ලට් නිෂ්පාදනය කරන්නේ පොඩි මැෂින් එකකුන්. ඒ නිසා මහා පරිමාණෙන් චොක්ලට් හදන්න බෑ. ඉල්ලුමට අනුව සැපයුම දෙන්න අමාරුයි. ඉස්සරහට ලොකු මැෂින් එකක්අරගෙන තවත් වැඩියෙන් නිෂ්පාදන වෙළදපොළට දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
ඔබ කරන අමතර නිෂ්පාදන මොනවද?
ඩීහයිඩ්‍රේට් පලතුරු නිෂ්පාදන කරනවා. අඹ,අන්නාසි,කෙසෙල්, කාමරංගා, ගස්ලබු ඩීහයිඩ්‍රේට් කරනවා. ඊට අමතරව පොඩි දරුවන් වෙනුවෙන් මික්ස් ෆෘට් එකක් කරනවා. ඒ වගේම අඹ,අන්නාසි,ගස්ලබු වලින් ජුජුබ්ස් හදනවා. ඊට අමතරව ඩි්රන්ක් එකක් විදියට දිවුල් පවුඩර් සෙල් කරනවා.
මොනවද ආපු අභියෝග?
කොවිඩ් එක්ක ආපු ආර්ථික අර්බුදයත් එක්ක පටන් ගත්ත නිසා මූල්‍යමය අබියෝග ආවා. ක්‍රමානුකූලව ඒ අබියෝග ජයගත්තා. ඒවගේම සමහර කාලවලට ඕඩර් ආවත් පලතුරු හිඟවෙනව. අඹ දිවුල් වුණත් හැම කාලේම එක වගේ නැහැ. දිවුල් වැඩියෙන් එන්නේ ජුලි අගෝස්තු සීසන් කාලයේදී. දැන් නම් ස්ටොක් කරගෙන දිවුල් පවුඩර් හදන නිසා ලොකු ගැටලුවක් නැහැ.
පවනි දිලේකා ✍️