දරුවෙක් ඉපදුන දවසේ ඉඳලා අඳින ඇඳුමෙන්, කරන සෙල්ලමෙන් පවා එකිනෙකා බෙදා වෙන්කරනවා. මේ ලාංකීය පටු සම්මතයන් තුළ ‘හිත ඇත්නම් පත කුඩාද’ යන ආප්තෝපදේශය යථාර්ථයක් කරමින් ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්රයේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ බාධක බිඳ දැමූ කාන්තාවක් අපට හමුවුණා. ඇය ලාංකීය නම ජාත්‍යන්තරයට ගෙන යන්නට සමත් වුණ නයෝමි අමරසිරි. අද අපේ කතානායිකාව බවට පත්වන ඇය “මගී ප්‍රවාහන නෞකාවක සේවය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු නාවික කත” නමින් විරුදාවලිය ලබා ඇත.
ඉතින් නයෝමි කියන්නකෝ ඔයාගේ පෞද්ගලික විස්තර ටිකක්
මගේ නම නයෝමි අමරසිරි. මට දැන් අවුරුදු 30 යි. මගේ ගම ගාල්ලේ. හැබැයි දැනට පදිංචි වෙලා ඉන්නේ පිළියන්දල. මගේ පවුලේ අම්මා වගේම අයියලා දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තා දැනට ජීවතුන් අතර නැහැ. මම පොඩිකාලේ ඉඳලා උසස්පෙළ වෙනකල්ම ඉගෙන ගත්තේ ගාල්ල හෘදය කන්‍යාරාමයෙන්. උසස්පෙළ ප්‍රතිඵල අනුව මට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට ඇතුළත් වෙන්න අවස්ථාව තිබුණත් මම ඒ වෙනුවට නෞකා ක්ෂේත්රයේ රැකියාව තෝරාගත්තා.
කාන්තාවකට පහසුවෙන් කරන්න පුළුවන් රැකියාවන් ඕනතරම් තියෙද්දි ඇයි මේ වගේ රැකියාවක් තෝර ගන්න හිතුවේ?
ඇත්තටම මට පොඩි කාලේ ඉඳලා ආසාවක් තිබුණා නැවකට යන්න. හැබැයි අපේ රටේ ගැහැනු ළමයින්ට නැවක රැකියාවක් කරන්න නම් කැඩෙට් කෙනෙක් වෙන්න ඕන කියල තමයි අපි දැනගෙන හිටියේ. ඒත් කාන්තාවකට රේටින් කෙනෙක් විදිහට වුනත් නැවකට සම්බන්ධ වෙන්න පුළුවන් කියල දැනගත්තට පස්සේ තමයි මම මේ රැකියාවට සම්බන්ධ වෙන්න හිතුවේ.
මගී ප්‍රවාහන නෞකාවක රේටින් කෙනෙක් විදිහට සේවයට බැඳුණ පළමු ලාංකීය කාන්තාව විදිහට නයෝමිට මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?
ඇත්තටම නිහතමානී ආඩම්බරයක් වගේම ලොකු සතුටක් තියෙනවා මට. නැවක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා ඩෙක්, එන්ජින්, ගැලි කියලා. ඒකේ ප්‍රධානම කොටස වන ඩෙක් ඩිපාට්මන්ට් එකේ රැකියාවලට ලංකාවෙන් කිසිම කාන්තාවක් මීට පෙර සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඒ නිසාම තමයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය මාව ලංකාවෙන් මගී නෞකාවක සේවයට ගිය පළමු ලාංකීය කාන්තාව විදිහට නම් කරන්නේ.
නයෝමිට කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ?
ශ්‍රී ලංකා නාවිකයන්ගේ ජාතික සංගමය(NUSS) ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) එක්ක ඒකාබද්ධ වෙලා ලංකාවේ ගැහැනු ළමයින්ව නැව්වල රේටින් ෆීල්ඩ් එකේ රැකියාවලට හඳුන්වා දෙන්න මහපොළ වරාය සහ සමුද්‍රීය ඇකඩමියේ පාඨමාලාවක් සංවිධානය කළා.
නැවකට යන්න තිබුණ ආසාව නිසාම මම ඒකට සම්බන්ධ වුණා. පාඨමාලාවෙන් පස්සේ මර්කන්ටයිල් මැරීන් මැනේජ්මන්ට් ආයතනයේ උපකාරය මත තමයි ‘අයිඩා සෝල්’ කියන මගී නෞකාවේ මට රැකියාව ලැබෙන්නේ.
නැවක රැකියාවක් කිරීම කාන්තාවකට එතරම් පහසු දෙයක් නෙවෙයි. ඉතින් මේ කාල සීමාව ඇතුළේ මොනවගේ අභියෝගවලටද මුහුණ දුන්නේ?
2022 දී තමයි මගේ පළවෙනිම කන්ට්‍රැක් එක මම ගියේ. එදා ඉඳන් අද වෙනකම් නැව ඇතුළේ හැමදෙයක්ම අභියෝගයක් තමයි. ගැහැනු ළමයෙක් විදිහට මාස 8 ක කාලයක් ගෙදර අයගෙන් ඈත්වෙලා නැවක ඉන්නවා කියන එකම හරිම අමාරු දෙයක්.
මගී නෞකා නිසා සතියේ දවස් හතම අපි වැඩ කරන්න ඕන. ඒ වගේම රේටින් කෙනෙක්ට ගොඩක් බර වැඩ කරන්න තියෙනවා. සේෆ්ටි තියාගෙන නමට කැළලක් වෙන්නෙ නැති වෙන්න ඒ හැම වැඩක්ම කරන එක ලොකු අභියෝගයක්.
නැව ඇතුළේ නයෝමිට මොනවගේ දේවල්ද කරන්න තියෙන්නේ?
නැව ඇතුළේ කාන්තාවක් කියල වෙන් කිරීමක් නැහැ. ඩෙක් ඩිපාර්ට්මන්ට් එක යටතේ තියෙන මේන්ටේනස්, පේන්ටින්, ගැන්වේ ඔපරේෂන් වගේ හැම වැඩක්ම මම කරනවා.
නැව් ජීවිතයේ අමතකම නොවන සිදුවීම මොකක්ද?
මගේ තනතුරත් එක්ක පළවෙනි කන්ට්‍රැක් එකෙන්ම එම්ප්ලෝයි ඔෆ් ද මන්ත් වෙන්න ලැබීමම මගේ නාවික ජීවිතයේ ලබපු සුවිශේෂීම සිදුවීමක්. ඒ වගේම ස්කොට්ලන්තයේ දී අපි ටෙන්ඩර් ඔපරේෂන් කළා. ඒකෙදී මම තමයි එක බෝට්ටුව එකක් පදවගෙන ගියේ.
විශේෂයෙන්ම කාන්තා රේටින් කෙනෙක් මීට කලින් බෝට් එකක් පදවනවා පැසෙන්ජර්ස්ලා දැකලා තිබුණේ නැහැ. ඉතින් මේ නිසාම මට ලැබුණ ආදරය, අගය කිරීම් මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
දැනට රටවල් කීයකට විතර සංචාරය කරලා තියෙනවද?
මේ අවුරුදු දෙක ඇතුළත මම රටවල් 34 ක සංචාරය කරලා තියෙනවා.
මේ හැමදේටම ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. දැන් මම ඉන්න තැන ගැන අම්මා ගොඩක් ආඩම්බර වෙනවා. ඒ වගේම මම රැකියාවේ වැඩවලට පහසු නිසා පිළියන්දල මගේ අක්කා
කෙනෙක්ගේ ගෙදර තමයි දැන් නැවතිලා ඉන්නේ. එයත් මගේ වැඩ වලට ලොකු සහයෝගයක් දෙනවා.
ලාංකිකයෙක් විදිහට නැව ඇතුළේ නයෝමිට තියෙන පිළිගැනීම කොහොමද?
ලාංකිකයෙක් විදිහට නැව ඇතුළේ ගොඩක් හොඳ පිළිගැනීමක් තියෙනවා. ගොඩක් වෙලාවට ජර්මන්, පිලිපීන් ගැහැනු ළමයි එක්ක මම වැඩ කරනවා. එයාලත් මට හරිම ආදරෙයි. ඒ වගේම ඕනම වැඩක් තිබුණොත් HR මැනේජර් මට අනිවාර්යයෙන් කතා කරනවා. ලංකාවෙ කෙනෙක් නිසාම ඒ හැමෝගෙම ආදරය මට ලැබෙනවා.
මේ දේවල් එක්ක මෑතක දී නයෝමි සම්මානයට පවා පාත්‍ර වෙනවා. ඒ ගැන මතක් කළොත්.
මගේ රැකියාව නිසාම මේ වසරේ ජූලි මාසයේ දී women in management ආයතනය සංවිධානය කරපු යූත් ටොප් 40 සම්මාන උළෙලේ දී මගේ වෘත්තිය කුසලතා ඇගයීම වෙනුවෙන් “ඉන්ක්ලූසිවිටි යූත් ලීඩර් ඔෆ් ද ඉයර් 2024” සම්මානය මට ලැබුණා.
නයෝමිගේ අනාගත බලාපොරොත්තු මොනවද?
මාස 36 සම්පූර්ණ වුණාට පස්සේ ඔෆිසර් එක්සෑම් එක ලියලා ඔෆිසර් කෙනෙක් විදිහට නැවට නගින්න වගේම නාවික ක්ෂේත්රයේ ඉහළටම යන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.
මගී නෞකා ක්ෂේත්රයේ රැකියාවලට සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්න ලාංකීය කාන්තාවන්ට දෙන පණිවිඩය මොකක්ද?
මම ලබපු අත්දැකීම් එක්ක හිතේ ශක්තියයි, ගතේ වීර්යයි, අධිෂ්ඨානයයි තියෙනවනම් ගැහැනු ළමයෙක්ට සුදුසුම රැකියාවක් විදිහට නාවික ක්ෂේත්රයේ රැකියාව හඳුන්වන්න පුළුවන්. ඉතින් නැව් නගින්න කැමති ගැහැනු ළමයින්ට මම කියන්නේ බය නැතිව මේ ක්ෂේත්රයට යොමුවෙලා ඔයාලගේ අනාගතය දිනන්න කියලා.
දුම්ෂා විජේසිංහ