අද වෙනකොට අපි හැමෝම ජීවත් වෙන්නේ ගොඩක් කාර්ය බහුල ජීවන රටාවක. අපේ මේ ජීවිතෙත් හරියට රේස් එකක් වගේ. අපි හැමෝටම ඕන මේ රේස් එක අතරමග අතහැරලා දාන්නෙ නැතුව සාර්ථකව අවසන් කරන්න. හැබැයි සාර්ථකව අපිට මේ ගමන යන්නනම් කායික සෞඛ්‍ය විතරක් නෙවෙයි මානසික සෞඛ්‍යයත් යහපත් වීම ඉතාම වැදගත්. මේ කාරණාවේදී මොළයේ ක්‍රියාකාරීත්වය වගේම මතක ශක්තිය ඉහළ නංවා ගැනීම ප්‍රමුඛතම අවශ්‍යතාවයක්. මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩි කිරීම සඳහා ඖෂධීය ගුණ සපිරි ඖෂධ පැළ වර්ග භාවිත කිරීම හේතුවන බව ඔබ දන්නවද? ඉතින් මේ සඳහා උපකාරී වන ඖෂධ පැළෑටි පහක් ගැන අද අපි ඔබව දැනුවත් කරනවා.
බ්රාහ්මී (Brahmi)
Bacopa Monnieri කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම පැළෑටිය ශතවර්ෂ ගණනාවක් තිස්සේ ‘මොළයේ ප්‍රබල ටොනික්‘ ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රසිද්ධ වී තිබෙනවා. මෙම ඖෂධීය පැළෑටිය මතක වර්ධනයට, කාංසාව අඩු කිරීමට වගේම සංජානන ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට හේතුවන බව “Alternative and Complementary Medicine “, සඟරාවේ ප්‍රකාශයට පත්කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ඒ වගේම හානියට පත් නියුරෝන ප්‍රතිසංස්කරණය කර, ස්නායු ආවේග සම්ප්‍රේෂණය වැඩි දියුණු කිරීමට හේතුවන බැකෝසයිස් සංයෝගය මෙම ඔසු පැලවල අඩංගු බවත් හෙළිවී තිබෙනවා. බ්රාහ්මී පැළෑටි භාවිත කර නිෂ්පාදනය කරන කැප්සියුල, තේ ආදී විදියටත් මේවා පරිභෝජනය කරන්න පුළුවන් වගේම ස්මූති වලට එකතු කරලා, ඒ වගේම අතිරේකයක් විදියටත් මේ බ්රාහ්මී පරිභෝජනය කරන්න පුළුවන්.
අශ්ව ගන්ධ (Ashwagandha)
අශ්ව ගන්ධ කියන්නෙත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මැණිකක් හා සමානව සලකන ඖෂධීය ගුණය සපිරි පැළෑටියක්. ඔයාගේ ආතතිය, කාන්සාව කළමනාකරණය කරන්න වගේම සංජානන ක්‍රියාකාරීත්වය සහ මතකය වැඩි කරන්නත් මේ ඖෂධ පැළෑටියට පුළුවන්. Dietary Supplement නම් සඟරාවේ ප්‍රකාශයට පත්කරන ලද අධ්‍යයනයකින් මේ පිළිබඳව තහවුරු කරලයි තියෙන්නේ. අශ්ව ගන්ධ සංජානන කාර්ය සාධනය, විධායක ක්‍රියාකාරීත්වය, අවධානය සහ තොරතුරු සැකසීමේ වේගයද සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට හේතු වෙනවා. ආතතිය හේතුවෙන් ඇතිවෙන කෝටිසෝල් මට්ටම අඩුකිරීමටද මෙම ඔසු හේතු වෙන නිසා ශක්තිමත් මතකයට වගේම සංජානන ක්‍රියාකාරීත්වයට හිතකර සන්සුන් මනසක් ප්‍රවර්ධනය කරනවා. මේවා කුඩු ආකාරයෙන්ද බොහෝ විට කිරි හෝ මී පැණි සමඟ මිශ්‍ර කර හෝ කැප්සියුල් එකක් විදියටත් භාවිතයට ගන්න පුළුවන්.
කහ (Turmeric)
කහ කියන්නේ මොළයේ සෞඛ්‍ය ඉහළ නැංවීමට උපකාරී වෙන ඖෂධීය ගුණය පිරුණ පැළෑටියක්. American journal of Gerratric Psychiatry ඔස්සේ ප්‍රකාශයට පත් කළ සමීක්ෂණයකින් තහවුරු කර ඇත්තේ කහ මගින් වැඩිහිටියන්ගේ මතකය සහ අවධානය වැඩි දියුණු කරන බවයි. ව්‍යංජන වලට, කිරි හෝ තේ වලට මිශ්‍ර කිරීම මගින් මේවා පහසුවෙන් ඔබේ ආහාරයට එකතු කරගැනීමට පුළුවන්.
ගොටු කොළ (Centella Asiatica)
මතකය සහ සංජානන ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට සාම්ප්‍රදායිකව භාවිත කරන තවත් ඖෂධයක් විදියට ගොටුකොළ හඳුනාගන්න පුළුවන්. රුධිර සංසරණය වැඩිදියුණු කරන්න වගේම ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීම සඳහාත් මේවා අතිශය ප්‍රසිද්ධයි. Ethnopharamacology සඟරාව මගින් සිදුකළ අධ්‍යයනයකින් හෙළි වූයේ, විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ සංජානන ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට ගොටුකොළ උපකාරී වන බවයි. ඉතින් මේ ගොටු කොළ, සලාද විදියට වගේම සුප් වලට එකතු කරලත්, කැඳ විදිහටත් ඔයාගේ ආහාර වලට එකතු කරගන්න පුළුවන්.
ජින්ගො බිලෝබා (Ginkgo Biloba)
මේවා මගින් මොළයට සපයන රුධිර ප්‍රවාහ වැඩිදියුණු කරමින් මතකය සහ සංජානන ක්‍රියාකාරීත්වයත් වැඩිදියුණු කරනවා. චීන වෛද්‍ය විද්‍යාවේ බහුලව භාවිත වන ඖෂධ පැළෑටියක් විදියට මෙය පෙන්වා දෙන්න පුළුවන්. Cochrane Database of systematic Reviews මගින් ප්‍රකාශයට පත්කරන ලද සමාලෝචනයකින් පෙන්වා දී ඇත්තේ, ජින්ගෝ බිලෝබා වැඩිහිටියන්හට සංජානන පරිහානියෙන් ආරක්ෂාව වෙමින් සංජානන ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමට උපකාරවන බවයි.
ඔයාගේ මොළයේ සෛල හානි වලින් ආරක්ෂා කරන්නත් මේ ඔසුවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය උපකාරී වෙනවා. මේවා කැප්සියුල, ටැබ්ලට් ආකාරයෙන් ලබාගන්න පුළුවන් වගේම තේ විදියට පානය කරන්නත් පුළුවන්.ඉතින් ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය වගේම මතක ශක්තිය වැඩිදියුණු කරන්නත් අපි අද ඔයාට කියලා දුන්න මේ කරුණු උපකාරය කරගන්න. ඔයාගේ ජීවිතේ මානසික සැහැල්ලුවෙන් යුක්තව ඉදිරියට ගෙනයන්න මේ කරුණු ඔබට පිටුවහලක් වේවි.
timesofindia ඇසුරෙන්
ටෂ්මි ගමගේ ✍️