අපේ රටේ තරම් බණ අහන පිරිසක් නැති වුනත් තවමත් ධර්ම දේශනාවක් වෙනුවෙන් අනුගමනය කරන චාරිත්‍ර ගැන බොහෝ විට බෞද්ධයන් පවා දැණුවත් නැහැ.
ධර්ම දේශනාවක් පවත්වන්නේ ඇයි…?
ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා යම් විශේෂ හේතුවක් නිමිති වෙනවා. සමහර විට එය පිං අනුමෝදනාවක් හෝ ආශිර්වාදයක් වෙනුවෙන් විය හැකියි. එසේ නැත්නම් ඥාතියෙකු මිය ගොස් දින සතක්, තෙමසක් හෝ වසරක් නිසා විය හැකියි. උපන්දිනයක්, විවාහ සංවත්සරයක්, විවාහ වන යුවලක් වෙනුවෙන් ධර්මානුශාසනාවක් නිමිති කර ගැනීමත් සිදු වෙනවා.ධර්මදේශනාවක් පැවැත්වීමේදී අනාරාධිතව ධර්මදේශනා කිරීමේ සම්ප්රදායක් නැහැ. ප්‍රථම ධර්ම දේශනාව පවා සහම්පතී මහා බ්‍රහ්මයාගේ ආරාධනාවක් ඇතුව දේශනා කරනු ලැබුවා.
ධර්මදේශනාව වෙනුවෙන් ආරාධනා කිරීම…
ධර්මදේශනාවක් සඳහා ආරාධනා කරන විට දැහැත් වට්ටියක් පිළිගන්වා පස පිහිටුවා වැඳ ආරාධනා කිරීම සිදු වේ. දෙවියන්ට මෙන්ම බුදුරජාණන්වහන්සේට ආරාධනා කිරීමේදී බුලත යොදා ගැනේ. එය පාරිශුද්ධිත්වයේ සංකේතයකි. සමහර අවස්ථාවලදී දුරකථන ඇමතුමකින් ධර්මදේශනාවක් වෙනුවෙන් කාලය වෙන් කර ගන්නා නමුත් නැවත භික්ෂුන්වහන්සේ හමුවට ගොස් ආරාධනා කිරීම සිදු වේ.
භික්ෂුන්වහන්සේ වැඩම කිරීම…
ධර්මදේශනාවට ආරාධනා කළ පසුව අදාල දිනයේදී, අදාල වෙලාවට භික්ෂුන්වහන්සේ වැඩම කළ යුතුය. භික්ෂුන්වහන්සේ රටක රජතුමා හා සමාන ගෞරවණීය චරිතයකි. ඒ නිසා අතීතයේදී ධර්මදේශනාවට වඩින භික්ෂුන්වහන්සේ පල්ලැක්කියෙන් වැඩම කරන කළ අතර ඇතැම් ගම්බද ප්‍රදේශවල ධර්මදේශක භික්ෂුව හේවිසි මධ්‍යයේ වැඩම කරවන ලදී. නමුත් අද ප්‍රවාහන පහසුකම් ඇති නිසා මෙම සම්ප්‍රදායන් ක්‍රමයෙන් අභාවයට ගොස් තිබෙනවා.
පැරණි ගම්වල කාන්තාවන්ගේ කෙස් පියවිලි මතින් භික්ෂුන්වහ්නසේලා වැඩම කිරීම සිදු වුණා. අදටත් මෙම අවස්ථාවන් සිදු වෙනවා. භික්ෂුන්වහන්සේගේ පාද දෝවනය කොට නිවසට වැඩම කිරීම සිදු වෙන අතර ධර්මාසනය ශ්‍රාවකයන්ට සමීපව සූදානම් කරනවා. දේශක භික්ෂුන්වහන්සේ ධර්මාසනයට පැමිණි විගස අසුන් ගන්නේ නැහැ. ධර්මාසනයට අත තබා ආරක්ෂාව ගැන විමසා බලනවා. එය සතිසම්පඤ්ඤයෙන් කටයුතු කිරීමකි.
දහම් දේශනා නොකළ යුතු අය…
බුදුරජාණන්වහන්සේ විසින් ධර්මය ගෞරවයෙන් ශ්‍රවණය කිරීමේ අවවාද ලබා දුන් හෙයින් විනය පිටකය අනුව ධර්මය දේශනා නොකළ යුතු පිරිස් ගැනත් සඳහන් වෙනවා.කුඩයක්, දණ්ඩක්, ආයුධ, දුනු ඊතල දරන්නා, පාවහන් පැළඳ සිටින්නා, යානගත පුද්ගලයා, පලසෙහි සිටින්නා, හිස වෙලා සිටින්නා ඒ අතර වේ. නමුත් ගිලන් පුද්ගලයෙකුට දහම් දෙසීම තහනමක් නැහැ.
දෙවියන්ට ආරාධනා කිරීම…
ධර්මානසාරූඪ භික්ෂුන්වහ්නසේට ධර්මදේශනාවට ආරාධනා කිරීමෙන් අනතුරුව දේවතාරාධනාව සිදුවේ. සමන්තා චක්කවාලේසු සහ සග්මේ කාමේ රූපෙ ගිරිසිඛරතවෙ ” යන පාළි ගාථාවන් ගායනයෙන් අනතුරුව “ ධම්මස්සවනකාලො අයං භදන්තා ” යන්න තෙවරක් හඬ නගා ගායනා කෙරේ. බුදුරජාණන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට දෙවියන්ට සිදු කරන ආරාධනය සමග ඇතැම් ප්‍රදේශයන්හි ශබ්ද පූජාවන් සිදු වෙනවා.
ධර්මය දේශනා කිරීමේදී එක්වරම ධර්ම කාරනා ඉදිරිපත් කිරීම සිදු නොවේ. ධර්මාවවාදය, ධර්මය ශ්‍රවණය කළ යුතු ආකාරය, එහි අනුසස්, ධර්ම ශ්‍රවණයේ අරමුණු පැහැදිලි කිරීම මෙන්ම නෑසූ කරුණු ඇසීම, ඇසූ කරුණු පිරිසිදු කර ගැනීම, සැක දුරු කර ගැනීම, දැක්ම සෘජු වීම සහ සිත පැහැදීම වැනි කරුණු සිහිපත් කෙරේ. මාතෘකා ගාථාව ප්‍රකාශ කිරීමෙන් පසුව එහි අර්ථය, නිදාන කථා ඇත්නම් ඉදිරිපත් කරනු ඇත’ අවසානයේ ධර්මාපදේශ ඉදිරිපත් කරමින් ධර්මදේශනාව නිමාවට පත් කරනවා.
ධර්මදේශකයානන්වහන්සේට පරිෂ්කාර ධර්ම පූජාවක් පූජා කිරීම අපේ සම්ප්රදායක් වුනත් පිරිකර අපේක්ෂාවෙන් ධර්මය දේශනා කිරීම සඳුන් අරටුවක් කුණු මෝරු හැලියකට හුවමාරු කිරීමට සමාන බැව් මහා සුපින වත්ත සුත්‍රයේ සඳහන් කර තිබේ. නමුත් බුදුරජාණන්වහ්නසේගේ කාලයේ පටන් පරිෂ්කාර පූජාව සිදු වී තිබෙනවා. උදේනි රජතුමාගේ අන්තංපුරයේ කාන්තාවන් විසින් ධර්මය දේශනා කළ ආනන්ද හාමුදුරුවන්ට සළු පන්සියයක් පූජා කර තිබෙනවා.
විවිධ ධර්මදේශනාවන්…
මංගල බණ- මෙහි අර්ථ තුනක් තිබෙනවා මංගල සුත්‍රය ඇසුරෙන් සිදු කරන ධර්මදේශනාව බුදුරජාණන්වහ්නසේගේ ප්‍රථම ධර්ම දේශනාව අභිනවයෙන් උපසම්පදාවලත් භික්ෂුන්වහන්සේ නමක විසින් සිදු කරන පළමු ධර්මදේශනාව අරියවංශ දේශනාව- බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කළ ධර්මය ආර්ය මාර්ගාධිගමය පිණිස විස්තර වශයෙන් දේශනා කිරීම මතක බණ- යම් පුද්ගලයෙකු මියයෑමෙන් දින හතක් ගත වූ පසුව සිදු කරන ධර්ම දේශනාව. පුද්ගලයා මිය ගිය දිනයේ පටන් දින ගණන් කොට හයවන දිනයේදී රාත්‍රි ධර්ම දේශනාව පවත්වා පසු දින සග සතු දානය පිරිනැමීම සිදු වෙනවා. දෙවියන් අපිරිසිදු ස්ථානවල සැරි සරන්නේ නැති නිසා මෙහිදී දේවතාරාධනය සිදු නොවේ.
යුගාසන දේශනාව එක් භික්ෂුන්වහ්නසේ නමක් පාළියෙන් දේශනා කරන විට අනෙක් භික්ෂුව එය සිංහලෙන් තේරුම් කිරීමයි. මෑත කාලයේ මේ ධර්ම දේශනා ශෛලීය එතරම් ජනප්‍රිය නැත .කාව්‍යමය ධර්ම දේශනාව- මෙය “ පෙදෙන් බුදු සිරිත ” හෙවත් බුදුරජාණන්වහ්නසේගේ ගුණ පද්‍යයෙන් කීමේ සම්ප්රදායයි.
ධර්මදේශනාවකට පැමිණෙන බෞද්ධයන් සංවර ඇඳුමකින් පැමිණීම ඉතාම වැදගත්. ධර්මය ශ්‍රවණයේදී කාය, වාග් සංවරයෙන් සිටීම වගේම උදාසීන නොවී ධර්මශ්රවණය කිරීමත් වැදගත්. ධර්ම ශ්‍රවණයේදී ඉතා උදාසීනව නොවිය යුතුය. ථෙරගාථා පාළියේ දක්වා ඇති අන්දමට නොනිදා ධර්ම ශ්‍රවණය කළ යුතුය. සිහියෙන් යුතුව ධර්ම ශ්‍රවණය කිරීමෙන් පස්පව්, දස අකුසලයෙන් මිදී ජීවිතය හැඩ ගසා ගැනීමට හැකි වෙනු ඇත.
රූපවාහිනී සහ ගුවන්විදුළි ධර්මදේශක
පූජ්‍ය අතුරුගිරියේ අනුරුද්ධ ස්වාමින්වහන්සේ,
ධර්මරාජ මහ පිරිවෙන
කණදුල්ල,
කුලියාපිටිය
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️