‘චමරිලා සෙල්ලං කරේ පිරිමි වගේ…!
පහුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙච්චි පෝස්ට් එකක්. ගැහැනු, පිරිමි වගේද?
ඇලන් සහ බාබරා පීස් කියන දෙදෙනා ලියනවා පොතක්. ගැහැනු සහ පිරිමි මෙතරම් වෙනස් ඇයි කියලා. ඒ පොතේ පුරුෂයෙක් සහ ස්ත්‍රියකගේ කායික විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක වෙනස ගැන අපූරුවට කතාකරල තියෙනවා.
චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විශිෂ්ට ලෙස ආසියානු කුසලානය දිනාගන්නේ පිරිමි විදියට සෙල්ලං කරලා නෙවෙයි. අසමාන කැපකිරීම්, උත්සාහය, බලාපොරොත්තු කඩවීම්, පරාජයන් මැද්දෙ ගැහැනු විදියට ශක්තිමත්ව මුහුණ දීලා. ඉතිහාසයේ ඉඳන්ම ගැහැනිය දුර්වල, සුකුමාල පෞරුෂයක් විදියට තමා සැලකුවේ. පරිණාමික යුගවල ඉඳන් ඓතිහාසික යුගයට එද්දි ගැහැනිය විවිධ චරිත නිරූපණය කරල තිබුණා.
ඇමසෝනියානු සංස්කෘතිය එකල පුරුෂ-මූලික සංස්කෘතිය වඩා බොහොම වෙනස් බව කියැවෙනවා. ඔවුන්ගේ රාජ්‍ය පාලනය රැජින මූලික කාන්තාවන්ගෙන් සිදුවූ බව කියැවෙන අතර, දැරියන් කුඩාකල සිටම අසුන් පිට යෑමටත්, අසුන් මෙල්ල කිරීමටත්, දුන්න සහ ඊතලයත්, පොරවත්, හෙල්ලත්, පළිහත් පරිහරණය හුරු කෙරුණා.
ඇමසන් කතුන් නිරූපනය වන පැරණි චිත්‍ර බොහොමයි. ඒවාට අනුව ඔවුන් ඉතා රූමත්, ක්‍රියාශීලී සහ ධෛර්යයසම්පන්න කාන්තාවන්. වසර 2000 දි පමණ ඇමසෝනියානු සොහොන් ගැබක් අනාවරණ කරගත් පුරාවිද්‍යාඥයින් නිසා එය තවදුරටත් මිත්‍යාවක් නොවන බව සනාථ වුණා.
නමුත් බුද්ධකාලීන භාරතය ගත්තාම ගැහැනිය සැලකුවේ දුර්වල, දරුවන් වැදිය යුතු, ගෙදරට වී ස්වාමියාට යටත්ව සිටිය යුතු චරිතයක් විදියටයි. ‘ ද්වංගුලපඤ්ඤ ’ කියල තමා ගැහැනියට බමුණන් කීවේ. ඒ කිව්වේ ඇඟිලි පුරුක් දෙකක ප්‍රඥාවක් එනම් බතට වතුර තියන්න තරම් දැනුමක් තමයි ගැහැනුන්ට තියෙන්නෙ කියල බමුණෝ විශ්වාස කරේ. ඉතින් ඒ බමුණු මත ජාතක පොතෙත් එහෙම් පිටින්ම තියෙනවා. ත්‍රිපිටක
ග්රන්ථවලත් ඒවාම ලියවෙලා තියෙනවා. මොකද හින්දු මහා සමාජයේ දේවල් තමයි චූල සමාජයට බලපෑම් කරන්නේ. ඒවා කියවල ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේ කාන්තාව සැමියාට දාසියකව සිටිය යුතු යැයි බණ දේශනා කරනවා.
මෙහෙම කාලෙකදි ගැහැනුන් විසින් ජයග්‍රහණ වාර්තා කළාම ඒවායේ වටිනාකම අඩුයි වගේ එකක් පෙන්නුම් කරන්න ඇතැමුන් උත්සාහ කරනවා. ජයග්‍රහණවල සමාජභාවයන් නෑ. නමුත් සදාචාරසම්පන්න සහ සාධාරණය කියන කාරණාව සලකා බැලෙනවා. ඔලිම්පික් වලදි බොක්සිං තරඟයකින් පසු ක්‍රීඩිකාවක් පරාජයෙන් පසු හඬා වැටුණේ ඒකයි.
ගැහැනිය බිහිව ඇත්තේ ජීවයේ අඛණ්ඩතාවය පවත්වගෙන යන්න විතරක් නෙවෙයි. සමාජයේ ප්රගමනයට ගැහැනිය දායකත්වය දක්වනවා. ඒ වගේ වීර ගැහැනු අපේ රටෙත් ඉන්නවා. හැම ගැහැනියකටම රැජනක් වෙන්න බැරි වුණත්… හැම රැජනක්ම ගැහැනියක්…!
මනෝරම වීරසිංහ ✍️