ගැහැණු දරුවෙකුගේ පළමු ඔසප්වීම නොඑසේ නම් මල්වරවීම ගැන ආසියාතික සමාජය වැඩි උනන්දුවක් දක්වනවා. මෙය ඇගේ ජීවිතයේ සාමාන්‍ය ජීව විද්‍යාත්මක සංසිද්ධියක්. පියයුරු වර්ධනයේ ආරම්භය පටන් නව යොවුන් වියේ ආරම්භය සනිටුහන් කරන මෙම සිදුවීම පිළිබඳවත් දැන් විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබෙනවා. අතීතයට සාපේක්ෂව බලන විට විසි වන සියවසේ පටන් ගැහැණු දරුවන්ගේ මල්වරවීම සාමාන්‍ය වයසට වඩා කලින් සිදු වෙන ප්‍රවනතාවයක් වර්ධනය වෙමින් පවතිනවා.
පළමු ඔසප්වීම කලින් සිදු වීම
ඇමරිකා එක්සත් ජනපදයේ ගැහැණු දරුවන් අතර මෙම තත්ත්වය සුලබව දක්නට ලැබෙන බැව් විද්‍යාඥයින් සඳහන් කරනවා. මීට වසර සියයකට සාපේක්ෂව බලන විට දැරියක් වයසට පෙරාතුව මල්වර වීමේ වැඩි ප්‍රවනතාවයක් අද වනවිට දක්නට ලැබෙනවා. 1950 සහ 1969 අතර කාලයේදී උපත ලද ගැහැණු දරුවන් වයස අවුරුදු 12-13 අතර කාලයේදී මල්වර වුණත් 2000 වසර මුල් භාගය වනවිට මෙම වයස අවුරුදු 11දක්වා පහළ ගොස් තිබෙනවා.
මෙම තත්ත්වය ඇමරිකාවට සීමා වී නැහැ. දකුණු කොරියානු විද්‍යාඥයින් සඳහන් කරන අන්දමට 2008-2020 අතර කාලය වනවිට වයස අවුරුදු 8 ට පෙරාතුව ගැහැණු දරුවන් වැඩිවිය පත් වීමේ ප්‍රවනතාවය 16% කින් ඉහළ ගොස් තිබෙනවා.
පහළ සමාජ, ආර්ථික කණ්ඩායම් සහ වාර්ගික සුළුතර කණ්ඩායම් අතර අඩු වයසින් මල්වර වීමේ අවස්ථාව වැඩි වශයෙන් දක්නට ලැබෙන බැව් එක්සත් ජනපදයේ ඇට්ලන්ටාහි එමරි විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ඕඩ්‍රි ගෑස්කින්ස් සඳහන් කරනවා.
සෞඛ්‍ය ගැටළු ඇති වීම…
වයසට කලින් දැරියක් මල්වර වීම ගැන අපි නොසිතන පැතත්ක දැන් හෙලිදරව් වී තිබෙනවා. සාමාන්‍ය ජීව විද්‍යාත්මක තත්ත්වයට වඩා වෙනස් වන කල්නි මල්වර වීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු මොනවාද? වයසට කලින් දැරියක මල්වර වීම නිසා ඇතිවන ගැටළු ගණනනාවක් මහාචාර්ය ගෑස්කින්ස් විසින් හඳුනාගෙන තිබෙනවා. කලින් මල්වර වෙන දැරියක් අනාගතයේදී නිසි වයසේදී මල්වර වුණ කාන්තාවකට වඩා ඉක්මනින් ආර්තවහරණයට පත් වීමේ හැකියාව තිබෙනවා.
ඒ නිසා දරුවන් ලැබීමේ හැකියාව අහිමි වීමේ වැඩි අවදානමක් තිබෙනවා. ඒ වගේම පියයුරු හා ඩිම්බ කෝෂ පිළිකා, තරබාරුව සහ දෙවන වර්ගයේ දියවැඩියාව වැනි පරිවෘත්තික සහ ලක්ෂණ වගේම හෘදවාහිනී ආශ්‍රිත සංකුලතාවයන් ඇති වීමටත් වැඩි අවදානමක් ඇති බැව් පර්යේෂකයන් සඳහන් කරනවා.
කාන්තා සිරුරේ සෛල වැඩි කාලයක් ඊස්ට්‍රජන් වැනි ලිංගික හෝර්මෝනවලට වැඩි කාලයක් නිරාවරණය වීම නිසා හොර්මෝන සෛල වර්ධනය වී පිළිකාමය තත්ත්වයක් ඇති කිරීමේ අවදානම වැඩි කරන බව බර්ක්ලිහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය බ්‍රෙන්ඩා එස්කෙනාසි සඳහන් කරනවා.
එපමණක් නොව, මෙම දියිණිවරුන් අනාගතයේදී ප්‍රජනන පිළිකාවන්ට ගොදුරු වීමේ සහ ඉතා ඉක්මනින් ලිංගික ක්‍රියාශීලීත්වයට පත් විය හැකි බවත් මහාචාර්ය බ්‍රෙන්ඩා සඳහන් කරනවා. මේ අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ගබ්සාවන් වෙනුවෙන් යොමු වීමේ බියකරු තත්ත්වයක්ද ඒ සමග වර්ධනය වන බැව් ඇය තව දුරටත් සඳහන් කරනවා.
වයසට කලින් මල්වරවීමට බලපාන හේතු
එක්සත් ජනපදයේ ගැහැණු දරුවන් විෂ සහිත වාතයට නිරාවරණය වීම නිසා වයසට පෙරාතුව ඔසප් වීමේ යම් අවදානමට පත් වෙන බැව් විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා.
IQAir දර්ශකයට අනුව ලෝකයේ වඩාත් දූෂිත නගර අතරට සෝල්, බූසාන් සහ ඉන්චොන් ඇතුලත් බැව් කොරියාවේ විද්‍යාඥයින් විසින් සිදු කරන ලද අධ්‍යනයක් මගින් හඳුනා ගෙන තිබෙනවා. මේ අනුව විවිධ වායු දූෂකවලට නිරාවරණය වීම සහ වැඩිවියට පත් වීම කලින් සිදුවීම අතර සහ සම්බන්ධතාවයක් පවතින බැව් Ewha Womens University විසින් ප්‍රකාශිත සමාලෝචන වාර්තාවක සඳහන් වෙනවා.
ඒ වගේම වාහනවලින් නිකුත් වන වායු විමෝචනය වගේම කර්මාන්තශාලා අපද්‍රව්‍ය හරහා වාතයට මුදා හරින සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, කාබන් මොනක්සයිඩ් සහ ඕසෝන වැනි විෂ වායු ඊට හේතු ලෙස දක්වා තිබෙනවා.
2022 වසරේදී පෝලන්තයේ ගල් අගුරු දහනය කරන කර්මාන්තශාලා බහුල වූ අතර මෙම තත්ත්වය දැරියකගේ මල්වරවීම කලින් සිදු වෙනවාදැයි අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. මේ සඳහා කාන්තාවන් 1257 දෙනෙකුගේදත්ත ලබාගත් අතර නයිට්‍රජන් වායුවලට නිරාවරණය වුණ වයස අවුරුදු එකොළහ පිරීමටත් පෙරාතුව මල්වර වූ බැව් එහිදි පෙනී ගිය කරුණක්.
ඉදිකිරීම් මධ්‍යස්ථානවල සිට ලැව්ගිනි බලාගාර, වාහන එන්ජින් සහ තාර පාරවල්වලින් වාතයට මුදා හැරෙන සියුම් අංශු ( PM) මේ තත්ත්වයට බෙහෙවින් බලපාන බැව් 2023 වසරේදී ගෑස්කින්ස් ඇතුළු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද අධ්‍යනයකින් තහවුරු වී තිබෙනවා. තම ගැහැණු දරුවා ගැබ් දරණ කාලයේදී මවක් මෙම අහිතකර සියුම් අංශු වෙනුවෙන් නිරාවරණය වීම නිසා එම ගැහැණු දරුවා අනාගතයේදී වස අවුරුදු 11 ට පෙරාතුව මල්වර වීමට හැකියාවක් තිබෙන බැව් මෙම කණ්ඩායම විසින් පෙන්වා දෙනවා.
මෙම සියුම් අංශු පෙනහළු තුළට ඇතුළු වෙන අතර ඒවා පෙරී ඉවත් නොවන බැවින් වැදෑ මහ, භ්‍රෑණ පටක සහ ඩිම්බ කෝෂවලට එකතු වී සිරුර පුරාම පැතිරීමට ඉඩ තිබෙනවා. ගෘහස්ථ වායු සාම්පලවල ඇති අංශු මිශ්‍රණ භාවිතයෙන් සිදු කරන ලද අද්‍යනයක් මගින් පෙන්වා දෙන අන්දමට මෙම සියුම් අංශු තුළ ඇති රසායනික සංයෝග විවිධ හෝර්මෝන ( ඇන්ඩ්‍රොජන් සහ ඊස්ට්‍රජන් )සමග අන්තර් ක්‍රියා කිරීමක් සිදු වෙනවා. ඒ නිසා ගෘහස්ථ පරිසරය විසින්ද ඔබේ දියණිය වයසටත් පෙරාතුව මල්වර වීමට අවශ්‍ය පරිසරය සූදානම් කරන බවත් කිව යුතුයි.
අද පවතින ජීවන රටාව සහ ආහාර පුරුදු නිසා දරුවන්ගේ ස්ථුලතාවය සහ අධිබර සෞඛ්‍ය ගැටළුවක් වී තිබෙනවා. මේ තත්ත්වයත් වයසට පෙරාතුව මල්වර වීමට ළමා ස්ථුලබව තවත් සාධකයක් ලෙස හඳුනා ගෙන තිබෙනවා. එසේ නම් ඔබේ දියණිය වයසට පෙරාතුව මල්වර වීම නිසා සිත්තැවුලට පත් වීම වෙනුවට ඊට අදාල පාරිසරික සාධක හඳුනාගෙන ඇයට ඇවැසි හිතකර පරිසරයක් නිර්මාණය කර දීම කාගේත් වගකීම විය යුතුයි.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️