අහස ගැන හීන නොදැකපු දරුවකු මිහිපිට සිටින්නට විදිහක් නොමැත. ඒ තරමට අහස අල්ලන්නට, කුරුල්ලකු මෙන් සැහැල්ලුවෙන් අහසේ පියාසර කරන්නට සිහින දැකපු අපද ඒ සිහිනය සැබෑකරගත් අයකු මුහුණට මුහුණලා හමුවූයේ නම් වහා කුමක් කරන්නේ ද? එවැනි අභීත තරුණියන් හතර දෙනෙකු මේ මොහොත වන විට මා ඉදිරියේ ජීවමානව සිටිනු ඇත. එබැවින් මට ඔවුන්ගෙන් පියාසැරියේ දී වින්ද අත්දැකීම් කතානොකර සිටිය හැකිද? මේ මා කතා කරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානය උඩුගුවනේ දී පෙන්වන ගුවන් නියමුවරියන් හතර දෙනෙකු සමඟය. ඔවුන් තව නොබෝ දිනකින් එහිම ප්‍රධාන ගුවන් නියමුවරියන් ලෙස අභිෂේක ලබනු ඇත.
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දිලුක්ෂි ජයසේකර
අංක 8 සැහැල්ලු ප්‍රවාහන බලඝනය ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුර, රත්මලාන
එයාෆෝස් එක ඇතුළේ වෙනස්ම යුනිෆෝම් එකක් ඇන්දම මුලින්ම මොකද හිතුණේ?
ඇත්තටම ඒක ජීවිතේ වෙනස්ම අත්දැකීමක්. එයාෆෝස් එකේ අනිත් බ්‍රාන්චස්වලට වඩා අපේ බ්‍රාන්ච් එක හරි වෙනස්. ඒ නිසා අනිත් ලේඩි ඔෆිසර්ස්ලට වඩා අපිව කැපිලා පේන බව දන්නවා.
ෆ්ලයින් ඕවරෝල් එකත් එක්ක ඔයා එළියට යනකොට මොනවගේ ප්‍රතිචාරද ජනතාවගෙන් ලැබෙන්නේ?
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ලේඩි ෆයිලර්ට්ස්ලා 8 දෙනෙක් ඉන්නවා. ඕවරෝල් එක නිසා එයාෆෝස් එක ඇතුළෙ වගේම පිටතදීත් අපට බොහොම ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා. අපි මේ යුනිෆෝම් එකෙන් ගොඩක් වෙලාවට එළියට යනවා අඩුයි.
ඒ නිසා සාමාන්‍ය ජනතාව මේ යුනිෆෝම් එක දකිනවත් අඩුයි. අපි එළියට යනකොට ගුවන් හමුදාවේ සාමාන්‍යය යුනිෆෝම් එක තමයි ඇඳගෙන යන්නේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවරියක් වීම එක්ක ඔයාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මගේ පාසල කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් පටන් ගත්තොත් දැනට අපේ ඉස්කෝලේ එයාෆෝස් එකේ ඉන්න එකම ඔෆිසර් සහ ලේඩි ෆයිලට් මම විතරයි.
ඉතින් ඒක නිසා ආනන්ද බාලිකාවෙන් ඉහළ පිළිගැනීමක් මට ලැබෙනවා. ගෙදර අයගෙනුත්, යාළුවන්ගෙනුත් හොඳ පිළිගැනීමක් තමයි ලැබෙන්නේ.
ගැහැනු ළමයෙක්ට ගුවන් නියමුවරිය කියන වෘත්තිය අභියෝගයක්ද?
ගොඩක් අය හිතනවා මේ වෘත්තිය කාන්තාවකට අභියෝගාත්මක රැකියාවක් කියලා. මේක කරන්න පුළුවන් පිරිමි අයට විතරයි කියලා.
හැබැයි ඉතින් අපිට ගැහැනු අය විදිහට ඕනම අභියෝගයක් බාරගන්න අපට පුළුවන්. ඉතින් මම නම් හිතන්නේ මේක ගැහැනු ළමයෙක්ට සුදුසුම අභිමානවත් රැකියාවක් කියලයි.
දිලුක්ෂිගේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
දැනට මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ගුවන් නියමුවරියක් විදිහට තමයි වැඩ කරන්නේ. එතනින් ඉස්සරහට ගිහිල්ලා ප්‍රධාන ගුවන් නියමුවරියක් වෙන්න මට තව ගුවන් පැය ප්‍රමාණයක් සම්පූර්ණ කරන්න ඕන. ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවරියක් විදිහට ඔයාගේ සෞඛ්‍ය ගැන නිරන්තර අවදානය යොමු කරනවාද?
ඔව්. අවුරුද්දකට සැරයක් සියලුම ගුවන් හමුදා නිලධාරීන්ගේ ෆිට්නස් මැනීමක් කරනවා. ඊට අමතරව අපි ෆ්ලයින් ඔපරේෂන් වලට යන නිසා ෆයිලට්ස්ලට අනිත් ඔෆිසස්ලට වඩා හොඳ ෆිට්නස් එකක් තියෙන්න ඕන.
ඒ නිසාම ෆයිලට්ස්ලගේ මෙඩිකල් එකකුත් අවුරුද්දකට සැරයක් කරනවා. මොකද අපේ ජොබ් එකේ පැවැත්ම තියෙන්නේ මේ ෆිට්නස් එකත් එක්ක.
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් උපේක්ෂා රණසිංහ
අංක 8 සැහැල්ලු ප්‍රවාහන බලඝනය- ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුර, රත්මලාන
කොහොමද මේ වෙනස් ජොබ් එක?
වෙනස් විදිහේ දෙයක් නිසා හරිම ආසාවෙන් කරගෙන යන ජොබ් එකක්.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවරියක් විදිහට මොනවගේ පුහුණුවක්ද ඔයාලට ලැබුණේ?
සාමාන්‍ය පුද්ගලයකුගේ ඉඳන් ගුවන් හමුදා නිලධාරිනියක් බවට පත්වෙන්න අපිට මාස හයක කම්බැට් ට්‍රේනින් එකක් දියතලාවෙන් ලැබුණා. ඊටපස්සේ අපි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චීන වරාය විද්‍යා පිඨයට ගියා.
එතනදි ෆ්ලයි කරන්න කලින් ඉගෙන ගන්න විෂයන් කිහිපයක් තිබුණා. ඒ ටික සම්පූර්ණ කරලා අපි අපේ බේසික් ෆ්ලයින් ට්‍රේනින් එක පටන්ගත්තා. ඒ ට්‍රේනින් එක ඉවර කරලා අපේ ඇඩ්වාන්ස් ෆ්ලයින් පටන් ගත්තා.
එතනින් පස්සේ අපි කට්ටියම සිලෙක්ට් වුණේ ප්‍රවාහන බලඝනයට. ඒ ට්‍රේනින් එක ඉවර වුණාට පස්සේ අපි ගුවන් මෙහෙයුම් සඳහා සුදුසුකම් ලැබුවා.
ෆ්ලයින්වලදි ඔයා ලබපු අමතකම නොවන අත්දැකීම මොකක්ද?
බේසික් ෆ්ලයින් වලදී මුලින්ම තනියෙන් ගියපු ගුවන් ගමන තමයි අමතකම නොවන අත්දැකීම.
අහසෙදි ලැබෙන අත්දැකීම කොහොමද?
සාමාන්‍යයෙන් කෙනෙක්ට එයාක්‍රාෆ්ට් එකක පිටිපස්සේ ගියාට ඉස්සරහ කොක්පිට් එකේ යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැනේ. හැබැයි අපිට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේක අහසෙදී වෙනස්ම අත්දැකීමක් මට.
ෆ්ලයින් ඔෆිසර් සුමාලි ගයනිකා හෙට්ටිආරච්චි
අංක 8 සැහැල්ලු ප්‍රවාහන බලඝනය – ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුර, රත්මලාන
සුමාලි ගුවන් නියමුවරියක් විදිහට මෙතෙක් ලබපු අත්දැකීම් මොනවගේද?
ගුවන් නියමුවරියක් විදිහට මට තියෙන්නේ ගුවන් පැය 160 ක වගේ ප්‍රමාණයක අත්දැකීම්. ඒ කාලය ඇතුළත සමහර දවස්වල රටේ ඇතිවුණු හදිසි තත්ත්වවලට පවා මුහුණ දෙන්න මටත් සිද්ධ වෙලා තියෙනවා.
ඒ වගේ අවස්ථාවලදී ප්‍රධාන ගුවන් නියමුවරයාගේ උපදෙස් සහ අපි ලබපු පුහුණුවත් එක්ක කරදරයක් නැතිව ගුවන් යානය හසුරුවන්න කටයුතු කරලා තියෙනවා.
ගුවන් නියමුවරියක් වෙනවා කියන දේ ජීවිතයේ තිබුණ හීනයක්ද?
පොඩිකාලේදි නම් එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි මම උසස් පෙළින් පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ මොනිකියුලර් බයෝලොජි ඇන්ඩ් බයෝ කෙමෙස්ට්‍රි උපාධිය හදාරන්න තේරුණා.
එහෙම අවුරුද්දක කාලයක් සම්පූර්ණ කළාටත් පස්සෙ තමයි මට ගුවන් හමුදාවට බැඳෙන්න අවස්ථාව ලැබුණේ.
උපාධිය අතහැරලා ගුවන් නියමුවරියක් වෙනවට ඔයාගේ ගෙදරින් කැමති වුණාද?
ගුවන් නියමුවරියක් කිව්වාම ලැබෙන පිළිගැනීමත් එක්ක ගෙදරින් අකැමති වුණේ නැහැ. විශේෂයෙන්ම තාත්තාගේ මග පෙන්වීම තමයි මේ ගමන එන්න මට පුළුවන් වුණේ.
අද ඉන්න තත්ත්වෙ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. රටේ තියෙන අවශ්‍යතාවයන් එක්ක ගුවන්යානා හැසිරවීමේ ඉඳන් ජනතා සේවය දක්වා පුහුණුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් අපිට ලැබිලා තියෙනවා.
ෆ්ලයින් ඔෆිසර් එස්. එච්. සඳුනි රවිහංසි
අංක 8 සැහැල්ලු ප්‍රවාහන බලඝනය – ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුර, රත්මලාන
ගුවන් නියමුවරියක් විදිහට සඳුනි කොච්චර කාලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරල තියෙනවද?
මේ වෙනකොට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳිලා අවුරුදු පහ මාරක් වෙනවා.
ගුවන් නියමුවරියක් වෙන්න ඕන කියල ඔයාට හිතුණේ ඇයි?
පයිලට් කෙනෙක් වෙන්න පොඩිකාලේ ඉඳලම ලොකු ආසාවක් මට තිබුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඒ අවස්ථාව ලැබෙන නිසා මම ගුවන් හමුදාවට බැඳෙන්න තීරණය කළා.
කාන්තා ගුවන් හමුදා නිලධාරිනියක් විදිහට ඇතුළත් වෙද්දි මොනවද බලපු සුදුසුකම්?
මුලින්ම අපි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳෙන්නේ කැඩෙට් නිලධාරිනියක් විදිහට. එතනදී අපේ අධ්‍යාපන සුදුසුකම් විදිහට විශේෂයෙන් උසස් පෙළ ප්‍රතිඵල බලනවා. ඊටඅමතරව ලොකු මෙඩිකල් ටෙස්ට් එකක් අපිට තියෙනවා.
ඒක පාස් වුණොත් තමයි අපිව බඳවාගැනීම සිදුකරන්නේ. එතනින් එහාට ෆ්ලයින් ඇප්ටිටියුඩ් ටෙස්ට් 03 ක් තියෙනවා. ෆයිලට් කෙනෙක් විදිහට බැfඳන්න නම් ඒ ටෙස්ට් 03 ම අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕන.
ඇඩ්වාන්ස් ෆ්ලයින්වලදී කාන්තාවකට ලැබෙන අත්දැකීම කොහොමද?
අපි බේසික් ෆ්ලයින්වලදී සින්ගල් එන්ජින් එයාක්‍රාෆ්ට් එකක් තමයි ෆ්ලයි කරන්නේ. හැබැයි ඇඩ්වාන්ස් ෆ්ලයින්වලදී Y12 මල්ටි එන්ජින් එයාක්‍රාෆ්ට් එකක් ෆ්ලයි කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ. ඒක වෙනස්ම අත්දැකීමක්.
පළවෙනි දවසේ ෆ්ලයි කළාම මොනවගේ හැඟීමක්ද ඔයාට දැනුණේ?
කවදාවත්ම නොලබපු අලුත්ම සහ වෙනස්ම අත්දැකීමක් නිසා පළවෙනි දවසේ ෆ්ලයි කරන්න ලොකු උද්යෝගයක් තමයි මට තිබුණේ.
කාන්තාවකට මේ වගේ රැකියාවක් ගැළපෙනවද?
මේක කාන්තාවක් විදිහට කරන්න බැරි රැකියාවක් නෙවෙයි. ලැබෙන අභියෝවලට අධිෂ්ඨානයෙන් සහ හැකියාවෙන් මුහුණ දෙන්න පුළුවන් නම් ගුවන් නියමුවරියක් වීම කාන්තාවන්ගේ ජීවිතයට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්.
අනාගත බලාපොරොත්තු මොනවද ?
ගුවන් හමුදාව තුළ වෙනස් ඔපරේෂන්වලට යන දක්ෂ පයිලට් කෙනෙක් වීම තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.
විශේෂ ස්තූතිය-
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඇතුළු
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය අංශයට
හරින්දී ලියනගේ ✍️