පරාර්ථකාමීත්වය, දුර්ලභ සහ නොසලකා හැරිය යුතු කාරණයක් නොවේ. තමන් හැදූවැඩූ අම්මා තාත්තාටත් අමානුෂිකව සලකන මිනිස්සු අතරේ අනෙකා වෙනුවෙන් තම කාලය, ශ්‍රමය කැපකරන පින්වත් චරිත ද මේ සමාජයේ නැතුවාම ද නොවේ. ඒ පින්වත් චරිත අතරේ මහමඟ ඉන්න අසරණ සතුන්ටත් ජිවිතය ලබාදෙන සංවේදී හදවතක් තියෙන මිහිපිට දෙව්දුවක් අපිට මුණගැසුණා. ෆේස්බුක් මාධ්‍ය තුළ ජනප්‍රිය “Kandy Guinea Pigs” නම් පිටුව හරහා බොහෝ දෙනාගේ ආදරය මෙන්ම ගෞරවය දිනාගත් ඇය නමින් වත්සලා.
ඉතින් වත්සලා කියන්කෝ ඔයාගේ පෞද්ගලික විස්තර ටිකක්
මගේ නම වත්සලා සෙව්වන්දි. මට අවුරුදු 26 යි. මම ඉන්නේ මහනුවර අලවතුගොඩ. කැළණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා හා විශ්රාන්ති කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරලා දැනට පෞද්ගලික ආයතනයක ප්‍රොජෙක්ට් කෝඩිනේටර් කෙනෙක් විදිහට වැඩකරනවා. ඊටඅමතරව, ඔන්ලයින් ටියුෂන් කරනවා.
තරුණියක් විදිහට මේ වගේ අසරණ සතුන් වෙනුවෙන් කැපවෙන්න හිතුවේ ඇයි?
ඇත්තෙන්ම මට පොඩිකාලේ ඉඳන්ම අසරණ සතෙක් දැක්කාම ගොඩක් දුක හිතෙනවා. ඒ නිසා මම එයාලව ගෙදර අරගෙන ඇවිත් කන්න බොන්න දීලා බෙහෙත් කරනවා. මොකද මනුස්සයෙක්ට වඩා සතෙක් ගොඩක් අසරණයි. මනුස්සයෙක්ට නම් ඕන දෙයක් කතාකරලා ඉල්ලන්න පුළුවන්.
හැබැයි අසරණ සත්තුන්ට ඒ දේවල් ඉල්ලන්න බැහැ. ඒ නිසා පොඩිකාලේ ඉඳන්ම සතුන්ට කෑම දෙන්න ඕන විදිහ, බෙහෙත් දෙන්න ඕන විදිහ මම පුරුදු වුණා. උසස් පෙළ කාලේ දී මේ දේවල් ටිකක් මඟ හැරිල තිබුණත් මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ දී රටේ ඇතිවුණ කොරෝනා වගේම පාස්කු ප්‍රහාර නිසා මට සත්තු වෙනුවෙන් කාලය වෙන්කරන්න වැඩි ඉඩක් ලැබුණා. අද වෙනකොට ගොඩක් සත්තු පාරවල්වල අසරණ වෙලා දුක් විඳිනවා. ඒ නිසා දැන් මම විනෝදාංශයක් විදිහට ඒ සත්තු වෙනුවෙන් කැපවෙනවා.
වත්සලා සත්ත්ව සංවිධානයක් පවත්වාගෙන යනවද?
ඇත්තටම නැහැ. මම තනි කෙනෙක්. හැමෝම හිතන් ඉන්නවා මම සත්ත්ව සංවිධානයක් කියලා. පාරවල්වල ඉන්න අසරණ සත්තුන්ට ගෙවල් හොයලා දෙන එක, එයාලට බෙහෙත් කරන එක, ඒ ඒ සත්තුන්ට ගැළපෙන කෑම හදලා දීලා එයාලව පරිස්සමට බලාගන්න එක වගේ සත්ත්ව සංවිධානෙකින් කරන වැඩ ගොඩක් මම තනියම කරනවා. ඒ වගේම එයාලා වෙනුවෙන් නේවාසිකව ප්‍රතිකාර කරන්නත් මම ගෙදරම තැනක් හදලා තියෙනවා.
අපි දකිනවා දවසකට සත්තු ලොකු ප්‍රමාණයකට වත්සලා පිහිට වෙනවා. කොහොමද මේ අසරණ සත්තු ගැන තොරතුරු දැනගන්නේ?
ගොඩක්ම පාරේ යද්දි දකින අයව තමයි මම බේරගන්නේ. ඒ වගේම මම අසරණ සත්තුන්ට පිහිට වෙන වීඩියෝ දකින රට පුරාම ඉන්න ගොඩක් දෙනෙක් සත්තු ගැන තොරතුරු කියලා දවසකට කියවගන්න බැරි තරම් මැසේජ් ප්‍රමාණයක් මට එවනවා. පේජ් එකටත් දානවා. ඒ අතරින් මට පුළුවන් උපරිම සත්තු ප්‍රමාණයකට පිහිට වෙනවා.
සත්තුන්ට බෙහෙත් කරන්න, කෑමබීම දෙන්න ඔයාට ලොකු වියදමක් යනවා ඇති. ඒ දේවල්වලට මුදල් හොයාගන්නේ කොහොමද?
ඇත්තෙන්ම ඔව්. මම බේරගන්න ගොඩක් සත්තු පිළිකා, පණුවො ගහපු තුවාල තියෙන අය. සමහර වෙලාවට ඒ අය සුවපත් කරන්න මාස ගාණක්, අවුරුදු ගාණක් යනවා. එතකොට එයාලට ඔපරේෂන් කිහිපයක් කරන්න වෙනවා. විවිධ බෙහෙත් වර්ග, කෑම ජාති අරන්දෙන්න වෙනවා. ඒ වගේම පාරේ ඉදන් බේරගන්න බල්ලෝ, පූසො හැමෝටම මම පණුබෙහෙත් එහෙම අරන් දෙනවා.
මේ දේවල් එක්ක මගේ ගොඩක් දේවල් කැපකරලා සත්තු වෙනුවෙන් මාසෙට රුපියල් 80000 ක් විතර මගේ පඩියෙන් වියදම් කරනවා. ඊට අමතරව, මේ දේවල්වලට අවශ්‍ය මුදල් හොයාගන්න මම සුරතල් සත්තුන්ගේ මෙට්ට මහනවා. වියදම් දරාගන්න බැරිම වෙන අවස්ථාවල මම පේජ් එකේ දානවා උදව් කරන්න පුළුවන් අයට කතාකරන්න කියල එහෙම බැරි වුණොත් බිල් ගෙවන්න සහන කාලයක් ලබා ගන්නවා.
දැනට අසරණ සත්තු කොච්චර ප්‍රමාණයකට වත්සලා උදව් කරල තියෙනවද?
මම හිතන්නේ සත්තු 3500 කට වඩා මම මේ අවුරුදු ගාණ ඇතුළේ බේරගෙන තියෙනවා.
මේ දේවල් වලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මයි, අප්පච්චී තමයි මට ඉන්න ලොකුම හයිය. ගොඩක් වෙලාවට මම සත්තුන්ව ප්‍රතිකාරවලට අරගෙන යනවා, මගේ රැකියාවේ වැඩවලට යනවා මේ දේවල් එක්ක මම ගෙදර නැති වෙලාවට නේවාසිකව ප්‍රතිකාර ලබන අයට කන්න බොන්න, බෙහෙත් හැමදේම දීලා එයාලව බලා ගන්නේ ගෙදර අය තමයි.
වත්සලා නේවාසිකව ප්‍රතිකාර කරන අය දිගටම ඔයා ළඟ තියාගන්නවද?
නැහැ. එයාලව දිගටම තියා ගත්තහම තවකෙනෙක්ට පිහිට වෙන්න මට බැරි වෙනවා. සුවපත් වුණාට පස්සේ හොයල බලලා හොඳ තැන්වලට විතරක් එයාලව බාර දෙනවා. දිගටම මං ළඟ තියාගන්න එළු පැටියෙක්, ඌරු පැටියෙක්, ගිනිපිග් පැටව් දෙන්නෙක්, හැම්ස්ටර්, හාවෝ, බලු පැටව්, පූස් පැටව් 15 ක් විතර ඉන්නවා.
එයාලව බාර දෙන්න හොඳ තැන් හොයා ගන්නේ කොහොමද?
මම පාරේ ඉඳල මේ වගේ අසරණ සත්තු හම්බුණාම මගේ ෆෙස්බුක් පේජ් එකේ ලයිව් එකක් හරි පෝස්ට් එකක් හරි දානවා. ඒ වගේම මම අසරණ සත්තුන්ට ගෙවල් හොයල දෙනවා කියල දන්න නිසාම ගොඩක් අය මට කතා කරල ඒ ගැන අහනවා.
ඒත් කතා කරන හැමෝටම සත්තු බාර දෙන්නෙ නැහැ. එයාලට කන්න බොන්න, බෙහෙත් දෙන්න පුළුවන් මනුස්සකම් තියෙන අයට විතරයි සත්තු භාර දෙන්නේ. මොකද එයාල සෙල්ලම් බඩු නෙවෙයිනේ. එයාල භාර දුන්නට පස්සෙත් මම ඒ තැන්වලට ගිහින් එයාලා ඉන්න තත්ත්වෙ අනිවාර්යයෙන්ම හොයල බලනවා.
සුරතල් සත්තු එක්ක උපාධිය ගන්න ගියපු ලංකාවේ පළවෙනිම උපාධිධාරිනිය ඔබද?.
ඔව් එදා මගේ ජීවිතයේ වැදගත්ම දවසක්. ඉතින් මම හිතුවා මම ආදරේම කරන අය මාත් එක්ක ඉන්න ඕන කියලා. අහිංසක සත්තුන්ට ආදරේ කරන්න, එයාලව ජීවිතේ කොටසක් කරගන්න කියන පණිවිඩය දෙන්න හිතලම තමයි මම ඒ කන්සෙප්ට් එක කරන්න හිතුවේ. ඒ ගැන සමාජයේත් ගොඩක් කතාබහට ලක්වුණා.
වත්සලාගේ අනාගත බලාපොරොත්තු මොනවද?
හැමදාම සත්තු ගොඩක් වට කරගෙන සතුටින් නිදහසෙන් ඉන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මම ඉගෙන ගන්න ගොඩක් ආසයි ඒ නිසාම ඉක්මනින්ම මාස්ටර් එකත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සමාජයට වත්සලා දෙන පණිවිඩය මොකක්ද?
මම හැමෝටම කියන්නේ පුළුවන් විදිහට තියෙන දෙයක් තව කෙනෙක් එක්ක බෙදාගන්න. සල්ලි නෙමෙයි හැමදේම. අහිංසක සත්තුන්ට දුක, බඩගින්න කියන්න බැහැ. ඒ නිසා කන කෑම එකෙන් හරි ටිකක් එයාලට දෙන්න පුරුදු වෙන්න. ඒ වගේම ආසාවට විතරක්ම ගෙදර සත්තු හදන්න එපා. සත්තු හදනව නම් එයාලගේ ජීවිතේ ගැන වගකීමත් ගන්න පුරුදු වෙන්න.
දුම්ෂා විජේසිංහ ✍️