මනුස්සයෙක්ගේ ජීවිතයට සතුටක් එකතු කරන්න හැමෝටම බැහැ. ඉරිසියාවෙන් වංකභාවයෙන් කුහකකමින් පිරුණු මේ ලෝකේ තවත් කෙනෙක් ගැන හිතන්න තරම් උතුම් හදවතක් ඇති අය ඉන්නේ අතළොස්සයි. අපිටත් හමවුණා එහෙම හදවතක් තියෙන කෙනෙක්. නොමිලේ භාණ්ඩ ලබාදෙන කඩයක් තියෙන ඔහු තමයි කුරුණෑගල ප්‍රදේශයේ සාලිය ලක්ශාන්.
ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුවේ?
අපේ ගෙදර වැඩක් නැති, ඒත් වෙන අයට පාවිච්චි කරන්න හොඳයි කියලා හිතපු බඩු අපේ වටපිටාවේ අයට දුන්නා. එහෙම දෙනකොට මට හිතුණා මේක අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් විදිහට කරන්න. මගේ ග්‍රොසරිය ඉස්සරහමයි මේ කඩේ දාල තියෙන්නේ. එතනට එන ඕන කෙනෙක්ට ඒකෙ තියෙන භාණ්ඩ
බලාගන්න පුළුවන්. බෑග් වර්ග, ටීවී, කුඩ, බ්ලෙන්ඩර් වගේ බඩු පවා තියෙනවා. මේ බඩු අවශ්‍ය ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවට එයා පාවිච්චි කරපු හෝ නොකරපු නමුත් වෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතෙන දෙයක් මෙතනින් තියලා අවශ්‍ය දේ අරගෙන යන්න පුළුවන්.
ඒවට සල්ලි ගන්නෙම නැද්ද?
කිසිම මුදලක් ගන්නේ නැහැ. හැබැයි මෙතනදි බඩු ගන්න කෙනාට පුළුවන් පෑනක් වුණත් තියලා මෙතන තියෙන ටීවී එකක් වුණත් අරගෙන යන්න.
මේ බඩු ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් ඒවද?
සමහර උපකරණ සීයට සීයක් පාවිච්චි කරන්න පුළුවන්. සමහර උපකරණ සීයට අනූවක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ඒවට පොඩි රෙපෙයාර් එකක් දුන්නම හරි.
මේ වැඩේ ආරම්භය කොහොමද?
මුලින්ම ස්ටූල් එකක් තියලා පටන් ගත්තේ. ටීවි, ෆෝන්, බ්ලෙන්ඩර් වගේ විදුලි උපරණ තිබ්බා. ඒ වගේම අපේ දුවගේ පාවිච්චි කරන්න පුළුවන් සෙල්ලම් බඩුත් තිබ්බා. අපේ ගෙදර උපකරණ තමයි මුලින්ම තිබ්බේ. මන් කිව්වා ඕන කෙනෙක්ට අවශ්‍ය කරන උපකරණයක් තියෙනවා නම් ගන්න හැබැයි ඔයාට ප්‍රයෝජනවත් නැති අනිත් අයට ප්‍රයෝජනයක් තියෙන දෙයක් ඒ වෙනුවෙන් තියලා යන්න කියලා.
කොච්චර කල්ද පටන් අරගෙන?
ගිය අප්‍රේල් මාසේ තමයි පටන් ගත්තේ. භාණ්ඩ තිහකින් විතර පටන් අරගෙන අද වෙද්දි භාණ්ඩ දෙසීය පහක් දක්වා වර්ධනය වෙලා.
ලැබෙන සහයෝගය කොහොමද?
මුල් කාලයේ එච්චර හොඳ සහයෝගයක් ලැබුණේ නෑ. ගොඩක් අය කියලා තිබ්බා මොකක් හරි මට වාසියක් ඇති කියලා. ඒත් එයාලටම තේරිලා තිබ්බා මේ වැඩේ කොච්චර හොඳයිද කියලා.
දැන් නම් ගොඩක් ලොකු සහයෝගයක් ගමේ අයගෙන් හම්බෙනවා. සමහර අය ඉන්නවා පාවිච්චි කරන්න පුළුවන් දේවල් ගෙනත් තිබ්බත් ආයෙත් කිසි දෙයක් නොගන්න.
මොකක්ද ඔබ සමාජයට දෙන පණිවිඩය..
දවසක් කෙනෙක් ඇවිල්ලා එයාට අනවශ්‍යයි කියල ටයි පටි කිහිපයක් එල්ලලා ගියා. ආයෙ කෙනෙක් ඇවිල්ලා එයාගේ පුතාගේ ඉන්ටව් එකට ටයි පටියක් ඕන වෙලා ටයි එකක්වත් ගන්න සල්ලි තිබ්බේ නැති නිසා ඒවා අරගෙන ගියා.
ඒ තාත්තා ගෙදර තිබ්බ මොට උදලු තලයක් ගෙනත් තියලා තමයි ඒ ටයි එක අරගෙන ගියේ. ඒක මට අමතක නොවන සිද්ධියක්. මේ වගේ මිනිස්සු තව මේ රටේ කොච්චර ඉන්නවද?
නිකමට හිතන්න සපත්තු නැති ළමයෙක්ට නොමිලේ සපත්තු දෙකක් ගන්නත් පුළුවන්. ගොඩක් අය වැඩකට නැති බඩු ඔහේ දිරලා යන්න දෙනවා නැත්තං වීසි කරනවා. ඒත් මේ වගේ දෙයක් කරොත් කී දෙනෙක්ට යහපතක් වෙනවද. මම කියන්නේ මේ වගේ මධ්‍යස්ථාන තව තවත් රටේ හදන්න ඕන කියලා.
නිපුනි සම්මානි ✍️