ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී මව්කුස පිළිසිඳ ගත් බෝසත් කුමරු වෙසක් පුර පසළොස්වක පොහොය දිනක මෙලාව එළිය දුටු සේක. එතැන් පටන් වසර විසිනවයක් රජකුමරුවකු ලෙසින් අධික සැප සම්පත් විඳ ඇසළ පුර පසළොස්වක පොහොය දින අභිනිෂ්ක්රමණයේ යෙදුණාහ. එතැන් පටන් වසර හයක් පුරා දුෂ්කර ක්රියාවේ හෙවත් අත්ථකිලමථානුයෝගීව ජීවිතයක් ගතකළ උන්වහන්සේ අන්තවාදී ලෙසින් සිරුරට සැපදීම මෙන්ම දුක් කටුක වේදනාවන් දීමට වඩා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමේ වැදගත්කම වටහා ගත්හ. එවකට පැවැති විමුක්තිගාමී කඳවුරු දෙක හෙවත් අත්ථකිලමථානු යෝගය සහ කාමසුඛල්ලිකානු යෝගය ප්‍රතික්ෂේප කරමින් මධ්‍යම ප්රතිපදාවවට අනුගතවුණ බෝසතාණන් වහ්නසේ වෙසක් පුර පසළොස්වක පොහොය දින සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.
ප්‍රථම ධර්ම දේශනාව
බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපිතනයේදී පස්වග තවුසන් වෙනුවෙන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ සේක. ධම්ම චක්ක පවත්වන සුත්‍රයේ ඇතුළත් වන්නේ සමස්ත බුදුදහමේ සම්පිණ්ඩනයකි. ඒ අනුව ලෝකයේ සදහටම වෙනසක් නොවී පවත්නා ධර්මය ලෙසින් මෙම චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා වී ඇත.
බුදුදහම හේතුඵල ධර්මයක් ලෙසින් සැලකෙන අතර හැම ක්‍රියාවකටම බලපාන හේතුවක් ඇත. ඒ අනුව ලෝකයේ පැවැත්ම මෙම හේතුඵල ධර්මතාවය මත පදනම් වී ඇත.
- දුක්ඛ අරිය සච්ච (දුක පිළිබඳ උතුම් සත්‍යය)
- දුක්ඛ සමුදය අරිය සච්ච (දුක ඇතිවීමේ හේතුව පිළිබඳ අරිය සත්‍යය)
- දුක්ඛ නිරෝධ අරිය සච්ච (දුක නැති කිරීම පිළිබඳ අරිය සත්‍යය)
- දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරියසච්ච (දුක නැති කිරීමට පිළිපැදිය යුතු මාර්ගය පිළිබඳ අරිය සත්‍යය)
දුක පිළිබඳ උතුම් සත්‍යය
ආර්ය සත්‍ය අතරින් මුල්ම සත්‍ය දුක්ඛ සත්‍යයයි. දුක විවිධාකාරය. ඉපදීම
(ජාති), වයස්ගත වීම (ජරා), ලෙඩවීම
(ව්‍යාධි), මරණ, ප්‍රියයන්ගෙන් වෙන්වීම,
අප්‍රියයන් හා එක්වීම, කැමැති දේ නොලැබීම යන මෙම කායික, මානසික ප්‍රශ්න සාමාන්‍ය ජීවිතයේදී අප අත්විඳින තත්ත්වයන්ය.අපේ ජීවිතය සැනක් සැනක් පාසා වෙනස් වෙයි. එය විපරිණාමයයි.
එය කාටවත් වැළක්විය නොහැක. අපට පාලනය කළ නොහැකි මේ තත්ත්වය විපරිණාම දුක ලෙස සැලකේ.හේතු ප්‍රත්‍යන් ලෙසින් හටගත් සියල්ල සංඛාර නම් වේ. ස්ථිර නොවන පංචස්කන්ධය ‘මමය’‘මාගේය’ යැයි ග්‍රහණය කරගැනීම නිසා ඇතිවන දුක සංඛාර දුකයි.
දුක්ඛ සමුදය අරිය සච්ච
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව හැම ප්‍රතිඵලයකටම හේතුවක් තිබෙනවා. ඒ අනුව දුක ඇතිවීමට හේතුවක් තිබෙනවා. ඒ තෘෂ්ණාවයි. මෙම තෘෂ්ණාවත් ත්රිවිධාකරයි.
කාම තණ්හාව – ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් පිනවීමේ කාම තණ්හාව.
භව තණ්හාව– නැවත නැවත උපත ලැබීමේ තෘෂ්ණාව හෙවත් භවයට ඇති තෘෂ්ණාව.
විභව තණ්හා- මේ මගේ අවසන් ආත්මයයැයි සිතා ලෞකික සැප සම්පත් ලැබීමේ තණ්හාව.
දුක්ඛ නිරොධ අරිය සච්ච
දුකට හේතු වූ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැති කිරීමෙන් ලැබෙන නිවන නිරෝධාර්ය සත්‍යයි. ‘නිබ්බාණං පරමං සුඛං’ යනුවෙන් නිවන පරම සුවය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. ලෞකික සැප අස්ථිරය. නමුත් තෘෂ්ණාව නැති කිරීමෙන් ලබන සැපය පරම සැපය වේ.
දුක්ඛ නිරොධ ගාමිණී පටිපදා අරියසච්ච
දුක නැතිකිරීමට අනුගමනය කළ යුතු මාර්ගය බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන් සේක. ඒ වෙනුවෙන් උන්වහන්සේ අපට ආර්ය අෂ්ටාංගික ගමන් මාර්ගය පෙන්වා දුන් සේක.
සම්මා දිට්ඨි- ලෝකය සහ තමා පිළිබඳව ඇති සැටියෙන් දැකීම.
සම්මා සංකප්ප – නිවැරදි ලෙසින් දැකීම අක්‍රෝධයෙන්, අවෛරීව බුද්ධිමත්ව කටයුතු කිරීම.
- සම්මා වාචා– වාග් සංවරය හෙවත් මුසාවාදය, කේලම් කීම, පරුෂ වචන සහ හිස් වචනවලින් දුරස් වීම
- සම්මා කම්මන්ත – සතුන් මැරීම, සොරකම් කිරීම සහ කාමය වරදවා හැසිරීම යන අකුසල ක්‍රියාවන්ගෙන් වෙන්ව යහපත් පැවැත්ම ගොඩ නගා ගැනීම.
- සම්මා ආජීව-වැරදි ජීවිකාවන්ගෙන් වෙන්වීම සම්මා ආජීවයයි. ආයුධ වෙළෙදාම, මස් පිණිස සතුන්, වහල් වෙළඳාම, මත්පැන්, මත්ද්‍රව්‍ය වැනි වැරදි වෙළෙඳාම් මෙන්ම අනුන් රවටා මුදල් ගැනීම ආදී අයුතු ලාභ ලැබීමෙන් වෙන්වීම සම්මා ආජීවයි.
- සම්මා වායාම – නූපන් කුසල් උපදවා ගැනීම, උපන් කුසල් දියුණු කරගැනීම, නූපන් කුසල් ඇති කරගැනීම, උපන් අකුසල් නැති කරගැනීම සහ නූපන් අකුසල් උපදවා නොගැනීම සම්මා වායාමයි.
- සම්මා සතිය – සතර සතිපට්ඨාන ධර්මයන් පිළිබඳව සිහියෙන් කටයුතු කිරීම සම්මා සතියයි.
- සම්මා සමාධි – සිත විසිරයාමට ඉඩ නොදී එක අරමුණක යහපත්ව පිහිටා ගැනීම සම්මා සමාධියයි.
සම්මා දිට්ඨියෙන් තම ජීවිතය සකස් කරගැනීම නිසා පුද්ගලයා තුළ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව ගොඩ නගාගැනීම නිසා ශිලයෙන් ශික්ෂණය ලබනවා.
මේ අන්දමින් ශීලයෙන් ශික්ෂණය ලද පුද්ගලයාට හිතේ සමාධිය ගොඩනගා ගැනීම පහසුවක්. ශීල, සමාධියෙන් යුක්ත සිතක ප්‍රඥාව පහසුවෙන් ගොඩ නගාගැනීමේ හැකියාව ලදි උත්සාහය, නිවැරදි සිහිය ඇතිකරගත සිතක ඇති ඒකාග්‍රතාව නිසාම මාර්ගඵල ලබා ගැනීමටත් හේතු වනවා. ඒ වගේම ජීවිතයේ කටයුතුවලදී අන්තගාමී නොවී යහපත් ලෙසින් පවත්වා ගැනීමට හේතුවනවා.
කිවියර, ගීත රචක-
ශාස්ත්‍රපති පූජ්‍ය
මහගම සීලානන්ද
ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️