පුංචි කාලයේ දරුවන්ට තමන් කැමැති දෙයක් ලබා ගන්න නොහැකි වුණාම සිතින් තැවෙනවා. හඬනවා. ඒත් සමහර දරුවන් එතැනින්ම පන්නරය ලබනවා. මාතලේ දොඹවෙල පදිංචි ඒ. ජී. තරංග විමලරත්න තරුණ ගුරුවරයාගේ ජීවිතය ගීතයක් බවට පත් වුණේ කොහොමද…? අපි ඒ කතාවට ඔහුටම ඉඩ දෙමු….
මාතලේ දොඹවෙල මම පදිංචියි. මම මුලින්ම පලාපත්වල බුද්ධඝෝෂ විද්‍යාලයට ඇතුළත් වුණා. මට පුංචි කාලෙ ගිටාර් එකක් ගන්න ආසාවක් තිබුණා. ඒත් මගේ අප්පච්චිට ගිටාරයක් අරගෙන දෙන්න තරම් ආර්ථික හැකියාවක් තිබුණේ නැහැ. ඒ බව මම දන්න නිසා නැවත නැවත ඇවිටිලි කළෙත් නැහැ.
ඒ නිසා ඔබ ගිටාරය ගැන තිබුණ සිහිනය අතහැරියා…
ඔව්. ඒත් මම එතැනින් නැවත ඉපදුණා. මට ගිටාරය ගන්න බැරි වුණ වෙලාවේ හිතට දැනුණ කම්පනය සංගීතයට ලැදි දරුවෙකුට ඇති වුණොත් මම කොහොමද අත හිත දෙන්නේ කියන සිතුවිල්ල ඇති වුණා. මම අසමත් වෙන තැනින් නැගිටින්න දන්නවා.
ඒ ගැනත් යමක් කිව්වොත්…
මම මුල්ම වතාවේ සාමාන්‍ය පෙළ අසමත් වුණා. මගේ සමකාලීන මිතුරන් සමත්. නමුත් මම පසුබැස්සේ නැහැ. මගේ ආදායම මමම හොයා ගෙන අතිරේක පංතිවලට සහභාගී වුණා.
එතැනින් පසුව උසස් පෙළ හදාරන්න මාතලේ විජය විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ විභාගය මම A සාමාර්ථ දෙකක්. B සාමාර්ථ එකක් සමඟ දිස්ත්‍රික් ප්‍රමුඛතාවය 52 ලබාගෙන සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා.

බට නලා ගැන උනන්දුවක් ඇති වුණේ…
මම පුංචි කාලයේ ඉඳලාම බට නලා වාදනයට කැමැත්තක් දැක්වූවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබද්දී බට නලාවක සිදුරු ගීතයක ශ්‍රැතිය වෙනුවෙන් වැදගත් බව දැනගත්තා. ඒ නිසා මම “යූ ටියුබ් ” නාලිකා ඔස්සේ බට නලා හදන ශිල්පය ගැන හොයන්න පටන් ගත්තා.
නමුත් අමුද්‍රව්‍ය ප්‍රශ්නයක් වුණා…
බටනලා හදන්න ගන්න කොළ පාට උණ ගස් අපේ රටේ දුර්ලභයි. ඒ නිසා මම “ බැංකොක් උණ ” යොදා ගන්න තීරණය කළා. ව්‍යාපාරිකව බට නලා හදන මහා පරිමාණ කර්මාන්තශාලාවල නම් උණ පදම් කරන්න රසායනික ද්‍රව්‍ය දැම්මත් මම ඒ වෙනුවෙන් ස්වභාවික ශාඛ සාර යොදා ගන්නවා. කොහොඹ කොළ දාලා තම්බා ගෙන බැංකොක් උණ මද පවනේ වියලා ගන්නවා. එතැනින් පසුව කපුරු තෙල්, එඬරු තෙල් ඇතුලට දාලා සිසිල්කරණය කරනවා.
බටනලා වර්ග තිබෙනවාද… ?
ඔව්. බටනලා වර්ග 24 ක් තිබෙනවා. මේ උණ බට වැලි කඩදාසිවලින් හොඳින් මැදලා සුමට කරනවා. එතැනින් පසුව තමයි සුවිශේෂී කාර්ය පටන් ගන්නේ.අපි වචනයටත් කියනවා නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියලා. නමුත් බටනලාවේ සිදුරු හරියට විදලා නොතිබුණොත් ගායනයේදී ශ්‍රැතිය පිහිටුවන්න බැහැ. අද බොහෝ දරුවන් සංගිතය හදාරන්න ආවත් රැඳී ඉන්නේ නැති හේතුවත් එතැනයි.
වාදන භාණ්ඩයක් විදිහට නිසි ලෙසින් සිදුරු විදමන් නැති වුණාම ඔවුන් හිතන්නේ අනේ… මට බට නලාව වාදනය කරන්න බැහැ කියලා. නමුත් එතැන වරද දරුවාගේ නොවෙයි. නලා වේ සිදුරුවලයි.
ඒ නිසා මම ත්‍රිකුණාමලය මහ දිවුල්වැව පාසලට පත් වීමක් ලැබ ආවාට පසුව මේ පාසලේ සංගීත විෂය හදාරන දරුවන් ගොඩක් උනන්දු බවක් මට පෙනුණා. 2023 වසරේ සමස්ත ලංකා සංගීත වාදන ( බටනලා ) වලින් අපේ පාසලේ දරුවෙක් ප්‍රථම තැන ලබා ගත්තා. ඔහු වාදනය කළේ මම නිෂ්පාදනය කළ බට නලාවක්.
ඔබ බටනලා අලෙවි කරනවාද…?
මම බටනලා අලෙවි කරනවා. දවසකට බට ලී නලා පහක් විතර හදන්න පුළුවනි. දුර පළාත්වලට නම් කුරියර් මගින් යවනවා. ආර්ථික ප්‍රශ්න ඇති දරුවන්ට මම අඩු මිලකට ලබා දෙනවා. ටට බටනලාවක් මගේ අලෙවි මිල රුපියල් 1700 ක්. c-1 බටනලාවක් රුපියල් 800 ට මම දෙනවා.
පාසල් දරුවන්ට විශේෂත්වයක් දක්වන්නේ…
මගේ කථාව ආරම්භයේදීම මම කිව්වේ ගිටාර් එකක් මිළට ගන්න බැරි වුණ වෙලාවේ මගේ හිතේ ඇති වුණ වේදනාව. ඉතින් අදටත් සංගීතයට ලැදි බටනලාවක් වාදනයට හිතැති දරුවෙකුට එය ලබා ගන්න නොහැකි වුණොත් ඇති වෙන මානසික වේදනාවට විකල්ප විදිහට අඩුම මිලකට බටනලා අලෙවි කිරීමට මම සූදානමින් ඉන්නවා.


ඔබට අත් උදව්වට…
කිසිම කෙනෙක් අත් උදව්වට නැහැ. කැලේ ගිහින් ගස් කපා ගෙන, ඒවා කොටස් කිරීම වියලීම වැනි සියලු කාර්යන් මම කරනවා. ගුරුවරයෙක් විදිහට පාසලේ කටයුතුවලට බාහිරව බට නලා නිෂ්පාදන කටයුතු සිදු කරනවා. මගේ වෘත්තිය නිසාත් ලැබෙන බට නලා ඉල්ලුම ඉහළ බවත් කියන්න ඕන.
ඔබ ගැන සමාජ මාධ්‍ය දැන ගත්තේ…
2023 වසරේ මගේ දරුවෙක් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීමෙන් පසුව ඒ ගැන වැඩසටහනක් තිබුණා. ඒ වැඩසටහනේදී මගේ බට නලා ගැනත් සඳහන් වුණා. ඒ වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විකාශය වුණාට පසුව මටත් යම් නමක් ගොඩනැඟුනා. ඉතින් ඒ ගැන ඔවුන්ටත් ස්තුතියි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️