ශ්‍රී ලාංකීය නර්තන වංශ කතාවට අපූරු ඉසව්වක් නිර්මාණය කරන අපේ සාම්ප්‍රදායෙන්, මතකයෙන් ඈත්වෙලා යන, අප වෙනත් සංස්කෘතියන්ට ගෝචර වෙමින් තියෙන කාලයක අපේ තිබුණ පොහොසත්, සංස්කෘතිය සහ කලාව නැවතත් මතක් කරලමින් ලෝකෙට පෙන්නන්නට දරන උත්සාහයක් ලෙසින් නර්තන ආචාර්ය වීශා ද සිල්වා මහත්මිය සමඟින් උමාලි තිලකරත්න, වින්ද්‍යා ද සිල්වා සහ උපේඛා ඩැනියෙල් එක්ව සංවිධානය කරන ලද “ත්‍රිෂා” නර්තන ප්‍රසංගය ජූලි මස 15 වන දා සවස 07.15 ට මරදාන ලයනල්වෙන්ට් රංග ශාලාවේ දී වේදිකාගත කිරීම සිදුකරනු ලබන අතර මේ කතාබහ ඇරඹෙන්නේ ඒ පිළිබඳවයි…
උමාලි මේ “ත්‍රිෂා” කියන්නේ මොකක්ද අපි මුලින්ම ඒ ගැන කතා කරමු…
මම මියුසියස් විද්‍යාලය හරහා තමයි විශා මිස්ව මුලින්ම අඳුර ගත්තේ. වින්ද්‍යා, උපේක්ඛා සහ මමත් එදා “විශා කලායතනයේදී” ඇතිවුණ යාළුකම අදටත් ඒ විදියටම පවත්වාගෙන යනවා.
ඒ වගේම අපි කුඩා කාලයේ අපේ විශා කලායතනයේ දී කලඑළි මංගල්‍යක් පැවැත්වුණා. ඒ තිබුණ දෙවැනි කණ්ඩායමේ උදවිය තමයි අපි. එදා අපි අට දෙනෙක් කලඑළි බැස්සා. ඊට පස්සෙත් අපි විවිධ ප්‍රසංග පැවැත්වුවා. නමුත් කොරෝනාවලින් පසුව කිසිම ප්‍රසංගයක් පවත්වන්න බැරි වුණා. ඒකත් නිමිති කරගෙන, නර්තනයට අපව ජීවත් කරවන්න වයස බලපාන්නේ නැහැ කියන දේ අරමුණු කරගෙන තමයි අපි එකතුවෙලා මේ කටයුත්ත කරන්නේ.
මේ නර්තන ප්‍රසංගයට “ත්‍රිෂා” කියලා නම යොදාගන්න හිතුවේ ඇයි?
මේකේ ඇත්තටම ගායන ශිල්පීන් තුන්දෙනයි, බෙර වාදන ශිල්පීන් තුන්දෙනයි, නැට්ටුවෝ තුන්දෙනයි ඉන්නේ. එහෙම තුන්දෙනා තුන්දෙනා සහභාගී වෙන නිසා තමයි අපි මේ ප්‍රසංගයට “ත්‍රිෂා”කියලා නම යොදා ගත්තේ.
මේ නර්තන ප්‍රසංගයේ තියෙන සුවිශේෂය ගැනත් අපි කතා කරමු
මේක හවස් යාමේ යන කර්තව්‍යයක්. අපේ ශාන්ති කර්මවලින් ස්ත්‍රී චරිත තුනක් උපයෝගී කරගෙන තමයි අපි මේ නිර්මාණය කරන්නේ. වින්ද්‍යා පහතරට ශාන්ති කර්මයේ එන ගිරිදේවී ලෙසිනුත්, උපේඛා කොහොඹ කංකාරිය ශාන්ති කර්මයේ එන කුවේණි ලෙසිනුත්, මම රට යකුම ශාන්ති කර්මයේ එන රිද්දි බිසව්ගේ චරිතයන් තමයි රඟදක්වන්නේ. ඊට අමතරව තවත් නිර්මාණාත්මක,සංස්කෘතික අංග කිහිපයකුත් ප්‍රසංගය අලංකාර කරන්න එකතුකරලා තියෙනවා.
ඒත් එක්කම උමාලි අපි කියමු, ජීවිතේ අමාරුම කාලවලදිත් මේ මිතුදම මෙලෙසම පවතින්න ඇති නේද?
ඇත්තටම ඔව්. අනිවාර්යයෙන්ම ජීවිතේ අමාරුම කාලවලදිත් අපි පෞද්ගලිකව වචනෙකින් හරි අනෙක් කෙනාගේ මනස හැදෙන විදියට අවවාද උපදෙස් දෙමින් ළඟින් ඉන්නවා. එකිනෙකාගේ දේවල් බෙදා හදාගනිමින් උපකාර කරගන්නවා. ඉතිං ජීවිතේ හැමදේකදිම අපිට අපිම තමයි ඉන්නේ.
වින්ද්‍යා කොහොමද මේ අපූරු අත්දැකීම ඔබට දැනෙන්නේ?
ඇත්තටම අපි තුන්දෙනාම කතාවුණා මොකක්ම හරි දෙයක් කරමු කියලා. අපි සාම්ප්‍රදායික පැත්තට තමයි ගොඩක් නැඹුරුවෙලා තියෙන්නේ. නිර්මාණාත්මක දේවලුත් කරනවා. අපිට ඕනේ මෙතනදී ශාන්තිකර්මවල තියෙන චරිත අරගෙන කාන්තාවකගේ තියෙන ප්රතාපවත් බව වගේම ජව සම්පන්න බව කාලීන සමාජයත් සමඟ එකතු කරලා, නිර්මාණය කරලා පෙන්නන්න. ඉතිං ඒ දේ අපි හැමෝගෙම ජීවිතවලට නැවතත් සුන්දර අත්දැකීමක් වේවි.
වින්ද්‍යා ඔබ තුන්දෙනාගේ මේ යාළුකමට දැන් වසර විසි එකක් ගතවෙනවානේ. කොහොමද මේ තරම් දුර යාළුකම් පවත්වාගෙන ආවේ?
උපේඛයි, උමාලීයි මියුසියස් විද්‍යාලයේ. මම විශාකා විද්‍යාලයේ. අපි නැටුම් පන්තියේදී මුණ ගැහෙනවා වගේම ඊට අමතරව අනෙකුත් වැඩවලදිත් මුණ ගැහෙනවා. එදා ඉඳලා අද වෙනකම්ම අපේ දේවල්වලදී අපි එකිනෙකාට උදව් උපකාර කරගන්නවා, දේවල් බෙදා හදාගන්නවා. එහෙම හොඳ සහයෝගයක්, සහෝදරත්වයත් නිරායාසයෙන්ම ගොඩනැගිලා තියෙනවා. ඒකත් එක්ක තමයි අදටත් අපි කොච්චර කාර්යබහුල වුණත් මොන විදියේ ගැටලු ආවත් ඒවා නිරාකරණය කරගෙන එදා තිබුණ යාළුකම අදටත් ඒ විදියටම පවත්වාගෙන ඉදිරියට යන්නේ.
උපේඛා ඔබට කොහොමද මේ නිර්මාණ කටයුත්ත දැනෙන්නේ?
ඇත්තටම මේ නර්තනය තියෙන තැනත් එක්ක දැක්කම මට හිතෙනවා මේක වෙනස් වැඩක් කියලා. අපේ සාම්ප්‍රදායික නර්තන කලාවේ යෙදෙන ගමන් අපි ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා තමයි අපි අපේ සම්ප්‍රදායෙන් ගතයුතු දේවල් අරගෙන වේදිකාවට සුදුසු විදියට නිර්මාණය කළේ. මගේ මතය නම් “ත්‍රිෂා” කියන්නේ සාම්ප්‍රදාය අත් නොහැරපු, ඒත් ඉදිරියට අඩියක් තබමින් යන නිර්මාණයක්.
උපේඛා අවුරුදු ගානකට පස්සේ මේ ලබන අත්දැකීම කොහොමද?
ඒක තමයි ඒක හැමෝටම ලැබෙන්නේ නැති අවස්ථාවක්. දැන් අවුරුදු ගානක් ගිහිල්ලත් තාම පාසල් කාලෙට යන්න ලැබුණා වගේ දැනෙන්නේ. ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි.
අපි ආරාධනා කරමු ආදරණීය ප්‍රේක්ෂකයින්ට “ත්‍රිෂා” නරඹන්නට එන්න කියලා…
ඔව්. මේ අපූර්වත්වය දකින්න, ආදරණීය ප්‍රේක්ෂක ඔබ සැමට අපි ආරාධනා කරනවා ජූලි මාසේ 15 වෙනිදා සවස 07.15 ට ලයනල්වෙන්ට් රංගශාලාවට එන්න කියලා.
– පාරමී කෞෂිකා ✍️ –