පුරාතන යුගයේ සිට මිනිසුන් ජීවත් වීම සඳහා නිවාස ඉදිකර ගන්නා ලදී. මෙහිදී වහලය නැමැති ගෘහ අංගය ඔස්සේ නිර්මාණය වූ නිවාසවල මිනිස් පරිණාමයත් සමඟ හැඩය ශක්තිය ආදියද වෙනස් විය.නිවසක් තුළ ජීවත් වන මිනිසුන් ඒ තුලින් තමාට ලැබෙන ආරක්ෂාව පිළිබඳව නිරන්තර අවධානයක් යොමු කරයි.
මෙහිදි ස්වභාවික උවදුරුවලින් මෙන්ම සොර සතුරු කරදරවලින් ද තොරව ජීවත් වීම මෙහි ඇති ප්‍රධානම අරමුණක් ලෙස පෙන්වා දිය හැකිය. එම බලාපොරොත්තු සහගත ආරක්ෂාව සඳහා නිවසක ඇති ප්‍රධානම අංගයක් ලෙස “බිත්තිය පෙන්වා දිය හැකිය.
අතීත මානවයාගේ සංක්‍රමණික ජීවන තත්ත්වය නිසා අවට පරිසරයේ ඇති දැව ශාකවල කොළ අතු මෙන්ම සත්ත්ව කොටස් ද බිත්ති නිර්මාණය සඳහා යොදා ගන්නා ලදී. තවද ගල් ගුහා තුළද ජීවත් වූ මිනිසා පසු කාලීනව වරිච්චි බිත්ති යොදා ගනිමින් නිවාස ඉදිකර ගත් අතර වර්තමානයේ දී මෙම බිත්ති මැටි, ගඩොල්, මෙන්ම සිමෙන්ති ආශ්රිත නිෂ්පාදනවලින් ද නිර්මාණය කරයි.
මෙහිදි ද නිවසක බිත්ති, නිර්මාණය කිරීමේ දී වාස්තු ශාස්ත්‍රානුකූල සිද්ධාන්ත බැදී පවතී.මෙහිදි ප්‍රධාන වශයෙන්ම බිත්ති යොදන පාද පෙන්වා දිය හැකිය. තවද නිවසක හරි මැද හෙවත් මධ්‍ය ලක්ෂය මෙන්ම අනෙකුත් මර්මස්ථානද හඳුනාගෙන එම ස්ථාන මඟහරිමින් බිත්ති ඉදි කළ යුතුය.
මෙහිදි පාද පිළිබඳව සලකා බැලීමේදී නිවසක ඇති බිත්ති සුබ පාදවල බැදීම කළ යුතුය. මෙය නිවසක දිග සහ පළල සමාන කොටස් 15 කට බෙදා ගත යුතුය. එයින් තෝරා ගත් සුබ පාද හඳුනාගෙන එම ස්ථානවල බිත්ති බැඳීම කළ යුතුය.
නමුත් මෙය නිවසේ ඇති ඉඩකඩ මත ප්‍රායෝගික ගැටලු ඇති වුවද හැකි උපරිම බිත්ති ප්‍රමාණයක් එම සුබ පාදවල සැලසුම් කිරීම ඉතා සුදුසුය. තවද නිවසට ඇතුලු වීමේ සහ පිටවීමේ දොරටු තැබීමේදීද සුබ ස්ථානවල සැලසුම් කළ යුතුය.
එමෙන්ම නිවසක බිත්ති ඉඩමේ වැට මායිම මත ( Blind Wall) ඉදිකරන අවස්ථාවන් ඇත. අන්ධ බිත්තිය වශයෙන්ද හඳුන්වනු ලබන මෙය ඉඩමක මායිම් දෙකක් වෙන් කරනු ලබන තාප්පයක් හෝ බැම්මක් වැනිය. මෙය අන්ධ බිත්තිය වශයෙන් හඳුන්වනු ලබන්නේ මෙම බිත්තිය තුළ කිසිම ආකාරයක ජනෙල් දොරවල් හෝ කුඩා ප්‍රමාණයේ හෝ වාත කවුළු ඉදි කිරීමක් නොකළ යුතු බැවිනි.
මෙම අන්ධ බිත්තිය ඉදිකිරීම සඳහා විශේෂ අවසරයක් ගත යුතු අතර ඉතාම කල්පනාකාරීව ඉදිකළ යුතුය. ප්‍රධාන වශයෙන්ම නිවසක උතුර ඊසාන සහ නැගෙනහිර යන දිශාවන්වලට මෙම අන්ධ බිත්තිය යෙදීම වාස්තු ශාස්ත්‍රානුකූලව ඉතාම අහිතකර දෙයකි.
මෙහිදී එම දිශාවලින් නිවසට ලැබෙන ලැබීම සම්පූර්ණයෙන්ම අවහිර වීමක් සිදුවේ. නමුත් ප්‍රායෝගික ගැටලු මත හෝ ඉඩමේ ඉඩ සීමා සහිත වීම මත මෙම දිශාවල අන්ධ බිත්තියක් ඉදි කිරීම අත්‍යාවශ්‍ය නම් පමණක් එම දිශාවන් නියෝජනය වන පරිදි අහසට විවෘත වූ මැද මිදුලක් නිර්මාණය කර ගැනීමෙන් මෙම දෝෂය මඟ හරවා ගත හැකිය.
නමුත් නිවස තුළ සුබ ශක්තීන් තැන්පත් කරගන්නා දිශාව වන නිරිත දිශාව තුළ ඇති බිත්ති එම දිශාව වැඩි වශයෙන් අනාවරණය වන පරිදි තිබිම සුදුසුය. එනම් එම දිශාවේ ඇති ගෘහ අංගවල ආලෝකය හා වාතාශ්‍රයට ගැටලු නොවන පරිදි සාපේක්ෂව ජනෙල් කවුලු කුඩා වීම සුදුසුය. එනම් නිවසක නිරිත දිශාව සාපේක්ෂව වැඩි වශයෙන් බිත්ති බැඳ ආවරණය වී තිබීම සුදුසු ය.
තවද නිවසේ මධ්‍ය ලක්ෂය එනම් නිවසේ හරි මැද මත නිවසක බිත්ති බැඳීම නොකල යුතු දෙයකි. එම ස්ථාන පීඩා වන පරිදි බිත්ති බැඳීම මත එය අදාළ නිවැසියන්ටද කරදර බාධා ඇතිවන අසුබ පිහිටීමක් වේ. මීට අමතරව එම නිවසේ අනෙකුත් මර්මස්ථානද හඳුනාගෙන එම ස්ථානවලද බිත්ති නොයෙදෙන ලෙස සැලසුම් කිරීම ඉතා සුදුසුය.
තවද කුරුස බිත්තිය නිවසකට යෙදෙන අවස්ථා ඇත. නිවසක ආරුක්කුවලට ඉහලින් කුරුස බිත්ති යෙදෙන අවස්ථාවක එය නිවැසියන්ට ගැටලු සහගත නොවේ. නමුත් අත්තිවාරම සමගම අත්තිවාරමේ කුරුස හැඩ ගෙන ඉහළට එසවූ බිත්ති යෙදී ඇති අවස්ථාවක එමගින් නිවැසියන්ට ගැටලුකාරී තත්ත්ව හට ගනී.
නමුත් මෙහිදී දෝෂය ඇත්තේ අත්තිවාරම මත බැවින් එම කුරුස බිත්තිය පමණක් වෙනස් කිරීම මගින් එය සාර්ථක නොවේ. එමෙන්ම මෙම බිත්ති බැඳීම ශක්තියෙන් ද අඩුය. තවද පීතෘ බිත්ති හා මාතෘ බිත්ති වශවෙන් බිත්ති කොටස් දෙකකට බෙදා ඇති අතර නිවසක වහලය දරා සිටීමද මෙම බිත්ති මගින් සිදුවේ.
සාමාන්‍යයෙන් ප්‍රායෝගික කරුණක් වශයෙන් නිවස තුළ උෂ්ණත්වය අඩුකර සිසිලස වැඩි කිරීම සඳහා සමස්ථ නිවසට ගැළපෙන පරිදි සාපේක්ෂ වශයෙන් බිත්ති වැඩි ප්‍රමාණයක් ඉහළට ඔසවා වහලය නිර්මාණය කරන අවස්ථා වර්ථමානයේ සුලබය. මෙය නිවස තුළ සෞම්‍ය ගතිය සහ වැඩි වාතාශ්‍රයක් රඳවා ගැනීමට මහඟු පිටිවහලක් වේ.
නිවසක් සෑදීමට සැලසුම් කිරීමේදී නිවසේ බිත්තිවලින් ආවරණය වන කොටස් නුසුදුසු හැඩ නොගන්නා පරිදි සැලසුම් කරගත යුතුය. එනම් ගෘහ අංග හෝ සම්පූර්ණ නිවසම හරි හතරැස් ආකාරයට එන ලෙස සැලසුම් කිරීමත්, පළල මෙන් දෙගුණයකට වඩා වැඩි දිගකින් එනම් දණ්ඩාකාර හැඩයක් ගන්නා පරිදිද සැලසුම් නොකළ යුතුය. නමුත් මෙහිදී නිවසේ සම්පූර්ණ අත්තිවාරම පිළිබඳව ද අවධානය යොමුකළ යුතුය.
නිවසක් යනු පුද්ගල ආරක්ෂාවට මෙන්ම නිදහස් තැනක් විය යුතුය. එනම් ජීවත් වීමට ආකර්ෂණීය තැනක් විය යුතුය. සාමාන්‍යයෙන් මානසික නිදහසට මෙන්ම නිවස තුළ අවකාශය වැඩි වශයෙන් පෙන්වීම සඳහා නිවස තුළ බිත්ති සාපේක්ෂව අඩු කර සැලසුම් කිරීමද සුදුසුය.
තාවකාලිකව වැඩ අවසන් කර ඇති නිවසක හෝ ඉදිකිරීම ප්‍රමාදව ඇති නිවසක ඊසාන දිශාවට සාපේක්ෂව නිරිත දිශාවේ ඇති බිත්තිය උසින් වැඩි කර තිබීම මගින් එම නිවස සෑදීමද වේගවත් කර ගත හැකිය.මෙම සියලු කරුණු මත බිත්ති යනු ආර්ක්ෂාව, නිදහස, එයට ගැළපෙන වාස්තු ශාස්ත්‍ර සිද්ධාන්තද එකිනෙකට තුලනාත්මකව සන්සන්දනය කර සැලසුම් කිරීම තුලින් සුබදායක නිවසක් ලබාගත හැකිය.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
(Aloka Homes vasthu FB Page)
අර්චිත ඉඳුවර ✍️