නවසීලන්තය නිජබිම කරගත්ත මෞරි රණකාමියො ගැන ඔබ අහලා තියෙනවද? මෞරි කියන්නෙ නවසීලන්තයේ ස්වදේශික ජනයාට. මෞරි ගැන අපේ මතකය අවදි කරගන්න පුළුවන් සිදුවීමක් තමයි නවසීලන්ත රගර් කණ්ඩායම තරගයක් පටන්ගන්න කලින් ඉදිරිපත් කරන හකා නර්තනය. මේ නර්තනයෙන් පෙන්නුම් කරන්නේ ප්‍රතිවාදියා කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොදක්වන,ආංගික අභිනයෙන් එළියට දාන තමන්ගේ හැඟීම්. තරගයක් පටන්ගන්න කලින්ම අභියෝගයට අභියෝග කරන මිනිස්සු කොයි විදිහට සුදු ජාතීන්ට අභියෝග කරන්න ඇතිද?
බ්‍රිතාන්‍යයන් කියන්නේ ලෝකය ආක්‍රමණය කරගෙන යන යුගය වෙනකොට යුද බලයෙන් සන්නද්ධ වුණ පිරිසක්. නමුත් මෞරිවරු එක්ක බ්‍රිතාන්‍යයින්ට ලේසි වුණේ නෑ. මොකද ප්‍රශ්නයක් ආවම මෞරිවරුන්ට තිබුණා ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ ප්‍රබල හැකියාවක්. ඔවුන්ට අභියෝගය අදාළ වුණේ නෑ.
අදාළ වුණේ අභියෝගය හමුවේ ඔවුන් වැඩ කරන ආකාරය පමණයි. මෞරිවරුන් සටන් කරපු ආකාරය අවස්ථා ගණනාවකදී ලෝක ශූරයින් බවට පත්වුණ නවසීලන්ත රගර් කණ්ඩායම අධ්‍යයනය කළා. ඒවා ක්‍රීඩාවේ ජයග්‍රහණයට උපයෝගී කරගත්තා.
මෞරි සටන්කාමීන්ගේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා ‘හැමවිටම සූර්යයාට මුහුණ පාන්න එවිට ඔබගේ සෙවණැල්ල ඔබ පිටුපසට වැටෙනු ඇත‘ කියලා. ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒ ප්රශ්නය විසින් නිර්මාණය කරන අඳුරු පැත්ත අපිට පේනවා. ඒ අඳුරේ සමහරවිට අපි ගිලෙනවා. එහෙම ගිලෙද්දි ආලෝකය අපිට අමතකම වෙලා යනවා.
ඉහත සඳහන් කරපු කියමනෙන් මෞරිලා ලස්සන දෙයක් තේරුම් කරලා දෙනවා. ඔබ ආලෝකය දෙසට හැරෙන්න අඳුර ඔබගෙන් පිටුපසට පලායනවා. ආලෝකය දෙසට නොහැරෙන හැම අවස්ථාවකම ඔබගේ අඳුරු සෙවණැල්ල වැටෙන්නේ ඔබ ඉදිරියට.
ප්‍රශ්නයක් ආවම ප්‍රශ්නෙ ගැනම හිත හිත ඉන්නැතුව පිළිතුර පැත්තට හැරෙන්න කියන එකයි ඉන් අදහස් වෙන්නේ.ප්‍රශ්න අපේ ජීවිතයට ඕනතරම් එනවා. ඒ ප්‍රශ්නවලට මෞරි රණකාමියකු වගේ මූණදෙන්න නම් මේ දේවල් අනුගමනය කරන්න ඕනේ.
ප්‍රශ්නයක් ප්රතිරාමුගත කරන්න
ප්‍රශ්නයක් ආවම පළමු කෝණයෙන්ම ඔබ දැනගන්නවා ප්‍රශ්නයක් ආවා කියලා. නමුත් ‘සැබෑ ප්රශ්නය වෙන්නේ ප්රශ්නය නෙවෙයි. ප්රශ්නය සම්බන්ධයෙන් ඔබ තුළ තියෙන ආකල්පයයි’ කියල කියමනක් තියෙනවා. හිතන්න, එක හා සමාන ප්‍රශ්නයක් පුද්ගලයින් දෙන්නෙක්ට එනවා. එක්කෙනෙක් ප්‍රශ්නයට සාර්ථකව පිළිතුරක් හොයාගන්නවා.
අනිත් කෙනාට පිළිතුරක් හොයාගන්න බැරිව පරාජයට පත්වෙනවා. මොකද මේ දෙන්නා ප්‍රශ්නයට මුහුණ දෙන්නේ ආකල්ප දෙකකින්. ඕනම කෙනෙක්ට වෙනස්ම කෝණයකින් ප්‍රශ්න දිහා බලන්න අවස්ථාවක් තියෙනවා.
ඒ අවස්ථාව ගන්න නොගන්න එක තමන්ගේ වැඩක්. ඒ නිසා මුලින්ම ප්රශ්නය ප්රතිරාමුගත කරගන්න. මූලික මොහොතෙදි අඳුරගන්න ප්රශ්නය නෙවෙයි හැබෑම ප්රශ්නය කියලා එතකොට තේරුම් යයි.
පැහැදිලි ඉලක්ක සකස් කරගන්න
ප්රශ්නවල විවිධ ස්වභාවයන් තියෙනවා. සමහර ප්‍රශ්න ක්ෂණයකින් විසඳන්න බෑ. සමහර ප්‍රශ්න එහෙම විසඳන්න පුළුවන්. උදාහරණයකට ඔබට යම් දෙයක් වෙනුවෙන් මුදලක් අවශ්‍යව තිබෙනවා. නමුත් ඒ මුදල හෙට වෙද්දි උපයගන්න බෑ.
නමුත් ඔබ පොඩි හා ව්‍යාපාරයක් පටන් ගත්තොත් කාලයක් ගිහින් හරි ඒ මුදල ඔබට ලේසියෙන්ම උපයාගන්න පුළුවන්. ඒ වගේම ඉලක්ක සකස් කරගන්නකොට අවසානයට ළං වෙන්නේ කොහොමද කියන එක ගැන වගේම මැදින් වෙනස් වෙන්න ඕන තැන් ගැනත් අවබෝධ කරගන්න.
විකල්ප කිහිපයක් වෙත මනස මෙහෙයවන්න
ප්‍රශ්නෙකට උත්තර ගොඩක් තියෙන්න පුළුවන්. ඔබව වඩාත් ඉහළ මූල්‍ය සාර්ථකත්වයක් කරා රැගෙන යන්නේ ඔබගේ රැකියාවෙන්ම පමණයි කියලා ඔබ හිතුවොත් ඔබගේම ව්‍යාපාරයක් අරඹන්න තියෙන අවස්ථාව ඔබෙන් ගිලිහෙනවා.
ඔබට හිතෙනවා නම් ගොඩයන්න පුළුවන් ව්‍යාපාරයෙන්ම විතරයි කියලා, යම් දෙයකට ආයෝජනය කරන්න තියෙන අවස්ථාව ඔබෙන් ගිලිහෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් ආවම විකල්ප කිහිපයක් ගැන අවධානය යොමු කරන්න. අලුත් අලුත් විසඳුම් ගැන හිතන එක අලුත් දෙයක් කරන්න ඔබව පොළඹවනවා.
ධනාත්මකව හිතමින් අඛණ්ඩව ගමන් කරන්න
ගොඩක් දෙනෙක් ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න කලින් ප්රශ්නය ඇතුළෙ හිරවෙනවා. ඔබ පාර පනිද්දි වාහනයක් ඔබ දෙසට වේගෙන් එනවා කියලා හිතන්න. ඒ වෙලාවෙදි ඔබ බයවෙලා ගල්ගැහිලා බලන් ඉන්න එක ඔබ වෙතට එන ගැටලුවට පිළිතුරක් නෙමෙයි. ඔබට ගැලවෙන්න පුළුවන් ඉක්මනින්ම එතනින් ඉවත් වුණොත් පමණයි. එයට අවශ්‍ය වෙන්නෙ ධනාත්මක සිතුවිල්ලක්.
ඔබ කරන දේ තව කෙනෙක්ගෙ ඇහැකිනුත් දකින්න
බොහෝ වෙලාවට අපි කරන දේ අපිට පේන්නෙ නෑ. හරියට පෙරහැරේ නටන නැට්ටුවට පෙරහැරේ ඇදය පේන්නේ නෑ වගේ. පෙරහැරෙන් එළියට ඇවිත් බැලුවොත් තමයි ඒ ඇදේ පේන්නේ. තමන් දෙයක් කරපු විදිහ හරිද? යම්කිසි වැරැද්දක් තියෙනවද? ඒ ගැන අත්දැකීම් සහිත මිනිස්සු එක්ක සාකච්ඡා කරන්න.
ඔවුන් එක්ක සාකච්ඡා කරලා ඔවුන් කරපු දේම ඔබත් කරන්න යන්න එපා. යම් අදහසක් පමණක් ගන්න. ඔබට සහය දෙන අය ඔබ වටේට තියාගන්න. ඒ සාකච්ඡාවෙන් සමහර විට ඔබට පිළිතුරක් පෙනේවි.
අභිප්‍රේරක,පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු
භාතිය අර්ථනායක
එරංදි කෞශල්‍යා ✍️