පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හරියටම කියන්න පුළුවන්
අභිරහස් විදිහට මරණයක් සිදු වුණොත් ඒ මරණය නැවතත් ගොඩ අරගෙන පරීක්ෂණ පවත්වනවා. ඒ නිසාම අභිරහස් මරණයක් වුණොත් මෘත ශරීරය ආදාහනය කිරීමටත් අවසරයක් නැහැ. සාමාන්‍ය පුද්ගලයන් විදිහට මිහිදන් කරන ලද සිරුරකින් මරණයේ අභිරහස සොයා ගන්නේ කෙසේද ? යන්න අපටත් ගැටලුවක් විය හැකියි. නමුත් නැවත ගොඩගන්නා මළ සිරුරකින් බොහෝ විට අභිරහස් මරණයක සුල මුල සොයා ගැනීමට හැකියාවක් තිබෙනවා. මළ සිරුර දිරාපත් වීම Decomposition හෙවත් වියෝජනය යනුවෙන් හැඳින්වෙනවා. සිරුර වියෝජනය වීමේදී බලපාන කරුණු කීපයක් තිබෙනවා.
පුද්ගලයාගේ වයස
සෞඛ්‍ය තත්ත්වය
සිරුර ගබඩා කර ඇති ස්ථානය (ජලය, පස ආදි ලෙසින් )
බාහිර පරිසරයේ උෂ්ණත්වය යන කරුණු බලපානවා.
Autolysis
මරණයක් සිදු වීමත් සමග වියෝජනය වීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. මරණය කියන්නේ හදවත නතර වීම විදිහට අපි දන්නවා. මේ හදවත නතර වීමත් සමග කාබන්ඩයොක්සයිඩ් සහ නයිට්රජන් සිරුරේ එකතු වීමෙන් ආම්ලික තත්ත්වයක් ඇතිවෙනවා. මුල් දින තුනක් වැනි කාලය තුළ ආම්ලික නිදහස් වීම සමග ශරීර පටක විනාශ වී වියෝජන ක්‍රියාවලිය පටන් ගන්නවා.
Bloat / Early Decay
මෘත දේහයක් තුළ සිදු වන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා සිරුර ඉදිමෙනවා. මෙය මියගිය පුද්ගලයා ජීවත්ව සිටි කාලයේ පැවැති සිරුර මෙන් දෙගුණයක් තරම් විශාලත්වයකින් ඉදිමෙන අතර වායුවල අන්තර්ගත සල්ෆර් නිසා සමේ වර්ණය වෙනස් වෙනවා. ඒ වගේම මෘත සිරුරෙන් දුර්ගන්ධයක් හමන්න පටන් ගන්නවා.ඒ සමග සිරුරේ පටක, මාංශ පේශි, අවයව සහ සම දිය වී ගොස් ඒ අවයව ඕජස් ලෙසින් පිටතට ගලන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී මැස්සන් සහ පණුවන් ශරීරයේ දක්නට ලැබෙනවා. මේ අවධිය Active Decay යනුවෙන් හැඳින්වෙනවා.එතැනින් පසුව දක්නට ලැබෙන්නේ කෙස්, කාටිලේජ සහ අස්ථි වැනි දෘඪ කොටස් පමණයි. මේ අන්දමින් සියල්ල වියෝජනය වී අවසානයේදී ඇටසැකිල්ල ඉතිරි වෙනවා.
අස්ථි කොටස්වලින් ලබා ගත හැකි සාක්ෂි මොනවාද?
අස්ථි කොටසකින් එය මිනිසෙකුගේද එසේත් නැත්නම් සත්වයෙකුගේද බැව් තහවුරු කර ගත හැකියි. අස්ථියකින් මිනිස් අනන්‍යතාවය තහවුරු කර ගත හැකියි. මුව, ගව වැනි සතුන්ගේ අස්ථිවලට වඩා මිනිස් අස්ථිය ඝනත්වයෙන් වැඩියි.
ස්ත්‍රි පුරුෂ බව
අස්ථියක් දෙස බලා එහි ස්ත්‍රි පුරුෂ බව තහවුරු කර ගැනීමේ හැකියාව අධිකරණ වෛද්‍ය විද්‍යාවට තිබෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවකගේ නම් උකුල් අස්ථිය පළලින් වැඩියි. පිරිමින්ගේ එය පළලින් අඩුයි.ඒ වගේම අස්ථියකින් මියගිය පුද්ගලයාගේ වයස ගැන අදහසක් ලබා ගැනීමට පුළුවන්. එය දරුවෙකුගේද බැව් තහවුරු කර ගැනීමේදී අස්ථියේ දිග, දත් මතු වීමේ අවධිය සහ අස්ථි වර්ධනයේ ඇති වෙනස්කම් පාදක කර ගෙන බලනවා.වැඩිහිටියෙකුගේ බැව් තහවුරු කර ගැනීමේදී ශ්‍රෝණි මේකලාව, හිස් කබලේ සහ අස්ථිවල ස්වභාවය, උරතලය සහ පර්ශු ගැන සලකා බලනවා.
පුද්ගලයා මිය ගිය ආකාරය
අභිරහස් මරණයකදී පුද්ගලයා මියගිය ආාකරය ගැන සොයා ගැනීම අධිකරණ වෛද්‍ය විද්‍යාව මගින් සිදු වෙන්නක්. මෙහිදී සලකා බලන කරුණු කීපයක් තිබෙනවා.
පුද්ගලයා මිය ගියේ අනතුරකින්ද? එසේත් නැත්නම් පහර දීමකින්ද?
මරණයට පෙර හෝ පසු සිදු වුණ අනතුරු මොනවාද?
මරණයට හේතු වුණ අනතුරු මොනවාද?
මරණයට පෙර සිදු වුණ අනතුරු හඳුනා ගන්නේ කොහොමද?
මරණයට පෙර අනතුරක් සිදු වුණත් පුද්ගලයා මිය යෑමෙන් පසුව අපට ඒ බැව් හඳුනා ගැනීමට අවශ්‍ය සාක්ෂි නැහැ. මෙහිදී අස්ථී සෛල (Osteoblast, Osteoclast,Otoceyte) පරීක්ෂා කරනවා. අස්ථි බිඳී ගිය විට ජීවි පුද්ගලයෙකුගේ නම් එහි සුවවීම ආරම්භ වෙනවා. මේ ස්ථානයට පටක සෛල, අස්ථි සෛල, කාටිලේජ පටක සෛල සහ සම්බන්ධතා පටක සෛල ඒ වටා එකතු වෙනවා.
මේ වෙනස්කම් අන්වික්ෂයක් ආධාරයෙන් හෝ විකිරණ පරීක්ෂණ මගින් නිරීක්ෂණය කිරීමට හැකියාවක් තිබෙනවා. මේ ගැන තව දුරට අධ්‍යයනය කිරීමෙන් මේ තුවාල සිදු වී ඇත්තේ පුද්ගලයාගේ මරණයට පෙරාතුවද නොඑසේනම් මරණයෙන් පසුවද බව තහවුරු කර ගැනීමේ හැකියාව තිබෙනවා.
මරණය සිදු වන විට තුවාල සිදු වුණොත්?
යම් ලෙසකින් මරණය සිදු වෙන අවස්ථාවේදී පහර දුන්නා නම් එම තුවාල සුවවීමේ ලක්ෂණ දක්නට ලැබෙන්නේ නැහැ. එයින් තේරුම් යන්නේ මෙම පහර දීම් නිසා පුද්ගලයා මරණයට පත් වන්නට ඇති බවයි.
තුවාලයේ හැඩය
යම් පුද්ගලයෙකු කැපුම් තුවාල මගින් මරණයට පත් වුණොත් ඊට අදාල පරිදි හැඩ අස්ථිය මත ඇති වෙනවා. යම් ලෙසකින් අස්ථීය මත V හැඩයේ තුවාලයක් ඇත්නම් එයින් පෙනී යන්නේ මෙම පහර දීම ආයුධයේ කැපුම් පැත්තෙන් සිදු කරන ලද පහර දීමක් බවයි.
සමහර අවස්ථාවලදී මොට ආයුධයකින් පහර දී සිදු කරන ලද මරණයක් බවට වූ වාර්තාවන් ලැබෙන්නේ නම් එම තුවාලය U හැඩයේ හෝ කොටු හැඩයකින් යුක්ත වෙනවා.
අස්ථිය මත ඉතා සියුම් දාර සලකුණු පමණක් දක්නට ලැබෙන අවස්ථාවන් තිබෙනවා. එවැනි අවස්ථාවකදී ආයුධය විශේෂිතයි. එවිට ආයුධය සහ තුවාල එකිනෙකට සංසන්දනය කොට පහර දීම සිදු කරන ලද ආයුධය හඳුනා ගන්නවා.
පොලු, මුගුරු වැනි දෙයකින් පහර දුන්නේ නම් අස්ථිය දුර්වල ස්ථානයෙන් කැඩී යනවා.
වෙඩි තැබීමකින් සිදු කරන ලද මරණයක් නම් උණ්ඩය ඇතුලු වූ ස්ථානය, පිට වූ ස්ථානය පරීක්ෂා කිරීමෙන් උණ්ඩය පැමිණි දිශාව, වෙඩි තැබීම සිදු කළ දුර ප්‍රමාණය හඳුනා ගත හැකියි.
ගෙල සිර කිරීමෙන් සිදු කරන ලද මරණයක් නම් බෙල්ල ප්‍රදේශයේ hyoid නැමැති අස්ථිය බිඳී යනවා. ඒ වගේම තයිරොයිඩ් කාටිලේජයටත් හානි සිදු වෙනවා.
මියගිය සිරුරකට සිදුවිය හැකි හානි
අභිරහස් ලෙසින් මරණයට පත් වුණ පුද්ගලයෙකුගේ සිරුරට මරණයෙන් පසුවත් හානි සිදු වෙනවා. අධිකරණ වෛද්‍ය විද්‍යාවට අනුව ඒවා පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. මියගිය සිරුර අතහැර දමා ගිය විට සතුන්ගෙන් වගේම ස්වභාවික (ගංගාවක ගසාගෙන යන විට) හානි සිදු වෙනවා. අස්ථි ගොඩ ගැනීමේදී ආයුධ ගැටීම නිසා මරණයෙන් පසුව සිරුරට තුවාල වුණත් ඒවා සැකයට තුඩු දෙන හේතු අතරට එකතු වෙන්නේ නැහැ.
අධිකරණ වෛද්‍ය
විද්‍යා ලේඛකාධිකාරී
සුබුද්ධික ඉලුක්කුඹුර
ජාතික රෝහල, මහනුවර
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️