හොඳින් ඇස් පෙනෙන පුද්ගලයෙකු ලෙස ඉපිද එක්වරම තමන්ගෙ ඇස් පෙනීම නැති වුණොත් එය ඔහුට කෙසේ දැනේවීද? එය බියකරු සිහිනයක් වගේ ඔහුට දැනෙනු ඇත. අපිට හමුවුණා එවැනි අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දුන් තරුණයෙක්. ඒ අවාසනාව වාසනාවකට පෙරළගත් ඒ තරුණයා අභියෝග තඹයකටවත් මායිම් කරන්නෙ නැතිව ජීවිතය ජයගෙන තිබුණා. ඒ අපූරු තරුණයාව අපේ කතාබහට මෙලෙස එකතු කරගත්තා…
මගේ නම කාලිඩ් ඔස්මන්. මම ඉපදිල තියෙන්නෙ කුවේට්වල. මම කවදාවත් මට උපත දුන්න දෙමාපියන් දැකලා නැහැ. මම ඉපදුණේ සාමාන්‍ය පෙනීමක් තියෙන දරුවෙක් විදිහටමයි. මගේ ශ්‍රී ලාංකික දෙමාපියන් තමයි අබූබකර් සිද්දික් සහ මාර්කේයා යූසුෆ්. මට සහෝදරයෙක් සහ සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා. එයාල තමයි අබ්දුර් රහ්මාන් සිද්දික්, නූර්ජහාන් අබුබකර් සහ සමීහා සිද්දික්. මම මූලික අධ්‍යාපනය ලැබුවේ කුරුණෑගල පරගහදෙණිය ජාතික පාසලෙන්. ඊටපස්සෙ මම කොළඹට ඇවිල්ලා ඇලෙක්සැන්ඩ්රා විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තා.
2004 දී මම පාසලෙන් ඉවත් වෙලා වායු සමීකරණ කාර්මිකයෙකු ලෙස සේවය කළා. ඉන් පස්සෙ විකුණුම් විධායකයෙකු ලෙසත් සේවය කළා. කොහොමහරි රස්සාව කරගෙන ඉද්දි මගේ හිතේ අදහසක් ඇති වුණා අසරණ අයට උපකාර කරන්න ඕනෙ කියල. ඒ හින්දා මම ජීවිත බේරාගැනීමේ වෘත්තියක් කරන්න ඕනෙ වුණා. පස්සෙ තමයි මම රතු කුරුස සංවිධානයේ ප්‍රථමාධාර සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්න පටන්ගත්තෙ.
එතනදී මම හදිසි වෛද්‍ය කාර්මික පුහුණුව සහ ගිනි නිවන භට පුහුණුව පිළිබඳ පාඨමාලා සම්පූර්ණ කළා. මගේ ඒ උත්සහය සහ කැපවීම නිසාම මම ඉක්මනින්ම රතු කුරුස සංවිධානයේ තරුණ සභාපති බවට පත් වුණා. ඒ වගේම මනෝවිද්‍යා සමාජ ආධාරක ව්‍යාපෘතියකත් මම වැඩකටයුතු කළා. ඒ වැඩ කරගෙන යන කොට මට හැඟුණා මගේ හිතේ ඇතිවුණ සිහිනයට මම යන බව.

මුලින්ම මට පොඩි හිසේ කැක්කුමක් ඇති වුණා. ටික දවසකට පස්සේ මගේ ඇස්වල දැඩි වේදනාවක් හටගත්තා. අමාරුව වැඩිකමටම මම ගියා ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න. ඩොක්ටර් මාව චෙක් කරල පෙති කිහිපයක් නියම කළා. ඒත් ඒකෙන් මට සහනයක් ලැබුණේ නැහැ. ඒ හින්දා ඩොක්ටර් මට එන්නතක් ලබා දුන්නා. 2010 වසරේදී තමයි ඒ අවාසනාවන්ත සිද්ධිය වුණේ. එන්නතෙන් පස්සේ ඇස් පේනීම නැති වුණා. ටික දවසකින් මම සම්පූර්ණයෙන්ම අන්ධ වුණා.
මුලින්ම කිව්වේ මේකට හේතුව ග්ලුකෝමා කියල. නමුත් ඉන්දියාවේදී මාව පරීක්ෂා කරපු ඩොක්ටර්ස්ලා තමයි කිව්වේ වැරදි එන්නතක් ලබා දීමෙන් පස්සේ ඇතිවුණ ස්නායු ආබාධයක් හේතුවෙන් මගේ ඇස් පෙනීම නැති වෙලා කියල. ඒ සිද්ධියෙන් පස්සෙ මම දැඩි මානසික අවපීඩනයට ලක් වුණා. මගේ සියලු බලාපොරොත්තු මට නැති වුණා වගේ මට හැඟුණා. මට නැවත කිසි දිනෙක ලෝකයට මුහුණ දීමට කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසා මම මගේ කාමරයටම වෙලා හිටියා. මොකද මම අභියෝග බාරගත්ත කෙනෙක් නෙමෙයි.

මගේ ඥාති සහෝදරයා මම මෙහෙම කාමරයට වෙලා ඉන්නවා දැකලා මට කිව්වා “ ඔයා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. ඔයා කොච්චර ධෛර්යයක් තිබුණ කෙනෙක්ද” කියල. ඒ වචන ටික නිසාම මම මගේ ජීවිතය අලුතින් පටන්ගන්න තීරණය කළා. පස්සේ මම ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සම්මේලනයට සම්බන්ධ වුණා. මට මං වගේම කට්ටියක් මුණ ගැහුණා. මම එයාලත් එක්ක මගේ ජීවිතය නැවත ගොඩනඟා ගත්තා. මගේ සිහින හඹා යන්නත් ඕන කරන බලාපොරොත්තු සහ ශක්තිය මට එතැනින් ලැබුණා.
එතැනදී මුලින්ම එයාල මට සංචලනය පුහුණු කළා. ඒ කියන්නේ සුදු සැරයටිය සමඟ එහා මෙහා යන ආකාරය උගන්වන එක. අනුන් මත යැපෙන්නේ නැතිව තනියම තමන්ගේ දේවල් කරන හැටි මම ටිකෙන් ටික ඉගෙන ගත්තා. අවසානයේ මට හැඟුණේ මට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් බව. ඉන්පස්සේ මම නාරාහේන්පිට දෘශ්‍යාබාධිත ජාතික සම්මේලනයේ කමිටු සාමාජිකයෙකු බවට පත්වුණා. මට ඒ සංවිධාන හරහා ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවුණා.
මුලින්ම මම අන්ධ අය සාමාන්‍යයෙන් සහභාගි වන ක්‍රීඩා ගැන හොයල බැලුවා. ඒ අතර වැඩි දෙනෙක් පිහිනීමට යොමු වී නැති බව හොයාගත්තා. ඒ නිසාම මම පිහිනුම් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න තීරණය කළා. මොකද මට ඕන වුණේ කවුරුවත් කරන්නේ නැති දෙයක් කරල බලන්න. පිහිනුම් ක්‍රීඩාවේ මූලික කරුණු ඒ වනවිටත් මම දැනගෙන හිටියේ. නමුත් තරඟකාරී ක්‍රීඩාවක් විදිහට කරන්න මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මම පාසලක පිහිනුම් පුහුණුකරුවෙකු හමුවී මුලින්ම ඉල්ලීම් කළත් මට පුහුණු කරන්න කියා ඔහු එය ප්‍රතික්ෂේප කළා.
ඔහු කිව්වේ තමා මීට කලින් අන්ධ පුද්ගලයෙක්ව පුහුණු කරලා නැහැ අවදානමක් ගැනීමට අවශ්‍ය නැහැ කියයි. නමුත් මම ඔහු සමඟ තර්ක කළා. මම ඔහුට මගේ දක්ෂතා ඔප්පු කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. කොහොමහරි අවසානයට ඔහු එයට එකඟ වුණා. එහෙම තමයි මම මගේ පිහිනුම් ජීවිතය ආරම්භ කළේ.

මගේ පිහිනුම් ජීවිතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මගේ බුද්ධිය මතයි. මුලදී මට දුර ගැන එතරම් පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. තටාකයේ බිත්තිවලට මගේ ඔළුව සැරින් සැරේ වැදුණා. බාධක රැසකට මම මුහුණ දුන්නා. ඒ හැම දෙයක්ම මම ගණන් ගන්නේ නැතිව පුහුණු වීම් කළා. දවසින් දවස මම දියුණු වුණා. ඒත් මම තාමත් අලුත් දේවල් ඉගෙන ගන්නවා.
2013 ජාතික ශූරතාවලියට සහභාගී වූ අතර මීටර් 50 නිදහස් ආර ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත්තා. ඉන්දු-ශ්‍රී ලංකා මාස්ටර්ස් පිහිනුම් තරඟවලදී පදක්කම් රාශියක් ලබාගත්තා. ඒ වගේම ක්‍රිකට් ගහනවා. 2017 වසරේ ඉන්දියාවේ පැවති T20 දෘශ්‍යාබාධිත ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නත් මට අවස්ථාව උදාවුණා. ශ්‍රී ලංකා අන්ධ කවුන්සිලය වෙනුවෙන් පිහිනීමට අමතරව බොක්සින් සහ චෙස් කණ්ඩායම්වලත් ක්‍රීඩා කරනවා.
මේ වසරේ පැවැත් වුණ සිව්වැනි දකුණු ආසියානු තරගයෙන් Blind Boxing අංශයෙන් ලංකාවට රන් පදක්කමක් ගෙනල්ලා දුන්නා. හැබැයි ඇස් පේනෙන කාලෙ මම මේ කිසිම ක්‍රීඩාවක් කරල තිබුණේ නැහැ. ලෝක ප්‍රකට පිහිනුම් ක්‍රීඩක සහ පුහුණුකරු ජූලියන් බොලිං යටතේ පුහුණු වීමටත් මට අවස්ථාවක් ලැබුණා. එය මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක්.බොක්සිං ක්‍රීඩාව ගැන කිව්වොත් මගේ පුහුණුකරු තමයි එන්. එන් ධනංජය සර් මට ලොකු සහයෝගයක් දෙනවා. මම ගොඩක් වෙලාවට ක්‍රීඩා කරද්දි කරන්නේ ප්රතිවාදියගේ හුස්ම ගන්න ශබ්දය සහ අඩි තියන ශබ්දය අනුව ඔහුට පහරදෙන එක.
මුලින්ම නම් මේ ක්‍රියාවලිය ලේසි වුණේ නැහැ. දෘශ්‍යාබාධිත අයට බොක්සිං ක්‍රීඩා කරන්න හම්බෙන අවස්ථා නම් හරිම අඩුයි. පැරාලිම්පික් කමිටුව විසින් පවත්වන ලද මැරතන් තරගයකදී මට මීටර් 100 ඉසව්ව සඳහා ලෝකඩ පදක්කමක් හම්බවුණා. එතනදී මම මගේ වටිනාකම හැමෝටම ඔප්පු කරල පෙන්නුවා. මොකද එදා තරගයේ හිටපු එකම සිවිල් තරඟකරුවා වුණේ මම. ඉන්පසුව මම අන්තර් සමාජ තරඟාවලියක් වන මාස්ටර්ස් පිහිනුම් ශූරතාවලියට සහභාගී වුණා.

එහිදී මීටර් 100 නිදහස් ආර සහ මීටර් 50 නිදහස් ආර යන ඉසව් දෙකෙන්ම පදක්කම් දිනා ගන්නට මට පුළුවන් වුණා.ලියෝ සිංහ සමාජය විසින් සංවිධානය කරන ලද කිලෝමීටර් පහක මැරතන් ධාවන තරඟයකට සහභාගී වුණා.
මගේ ජීවිතයේ ප්‍රධාන අපේක්ෂාව සමාජ සේවා කිරීමයි. විශේෂයෙන් ආබාධිත පුද්ගලයින් සඳහා මනෝවිද්‍යා උපදේශනයෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකට මම ඒ විෂය ගැඹුරින් ඉගෙන ගන්න ඕන. ඒ සඳහා මම ආයතන කීපයකටම සම්බන්ධ වුණත් කවුරුවත් මාව ශිෂ්‍යයෙක් විදියට ගන්න කැමති වුණේ නැහැ. මම වගේ කෙනෙකුට නවාතැන් ගන්න අවශ්‍ය පහසුකම් නැහැ කියලා ඒ හැමෝම මට කිව්වා.
මහරගම පිළිකා රෝහලට ආධාර කිරීම සඳහා කිලෝමීටර 5 ක ධාවන තරඟයට සහභාගී වුණා. 2015 දී මම MobileEyes ඒකකයේ ඉදිකිරීමට ආධාර ලබාගැනීමට “Walk for Sight” සඳහා සහභාගී වූ අතර එහිදී මම දින 17 ක කාලයක් පුරා කිලෝමීටර් 330 ක් ඇවිදිමින් ලංකාවේ නැගෙනහිර සිට බටහිර වෙරළ දක්වා ඇවිද ගියා. ඒ වගේම දින 28 ක් තුළ ශ්‍රී ලංකාවේ උතුරේ සිට දකුණට කිලෝමීටර් 663 ක් ගෙවා පා ගමනින් ගොස් කරාපිටිය මාතර පිළිකා රෝහල ඉදිකිරීමට අරමුදල් රැස්කළා.මම කැමති නැහැ මාව ආබාධිත පුද්ගලයෙකු විදිහට දැකල මට අනුකම්පා කරනවට. මට ඕනේ සාමාන්‍ය අය දිහා බලන කෝණයෙන්ම මං දිහා බලලා මේ කරන කාර්යයන් දිගටම කරගෙන යන්න මාව දිරිමත් කරන එක.
ක්‍රීඩකයෙකු ලෙස මගේ මූලික අරමුණ තමයි පැරා ඔලිම්පික් තරඟ සඳහා තරඟ කිරීම. ඒ වගේම දෘශ්‍යාබාධිතයින්ට පිහිනීම ඉගැන්වීමත් මගේ හිතේ තියෙන අදහසක්. පිහිනීම මගේ ජීවිතයේ විශාල වෙනසක් ඇති කළා. එය මගේ පෙනීම නැති වූ පසු ජීවත් වීමට අරමුණක් සොයා ගැනීමට මට උපකාරී වුණා. මං වගේ ඉන්න අන් අයටත් උපකාර කරන්න මම හිතුවේ ඒ නිසාමයි. ඕනෑම කෙනෙකුට ඔවුන් කැමති නම් මාව සම්බන්ධ කර ගැනීමට පුළුවන්. ඒ අවස්ථා මම සාදරයෙන් පිළිගන්න සූදානම්.
අර්චිත ඉඳුවර ✍️