ටෝටියා එක සාදාගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 2
- බේකින් පවුඩර් තේ හැඳි 1
- මද උණුසුම් වතුර කෝප්ප 1
- තෙල් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
පාන්පිටිවලට බේකින් පවුඩර්, තෙල් හා ලුණු දාලා කළවම් කර මද උණුසුම් වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
විනාඩි 3 ක් පමණ නීඩ් කර කිචන් ටවල් එකකින් වසා විනාඩි 20 ක් වගේ තියන්න.
දැන් ඩෝ එක අරන් කෑලිවලට කපලා පොඩි බෝල හදලා තවත් විනාඩි 10 ක් පමණ නැවත වසා තියන්න.
දැන් පිටි ඉසගත් ලෑල්ලකට දාලා තුනී කර රොටි සාදා අඩු ගින්දරේ පුළුස්සාගන්න. ලා දුඹුරු පාටට වගේ එනකොට ළිපෙන් ඉවත් කරගන්න.
චිකන් ශවර්මා ෆිලින්
අවශ්‍ය ද්‍රව්‍ය
- කටු ඉවත්කළ කුකුල් මස් ග්‍රෑම් 200
- මිරිස්කුඩු තේ හැඳි 2
- චොප්කරගත් ලූනු තේ හැඳි 1
- චොප්කරගත් සුදු ලූනු තේ හැඳි 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- දෙහි යුෂ ස්වල්පයක්
- සොසේජස් 2
- තෙල් ස්වල්පයක්
- ග්‍රේට්කරගත් ගෝවා කෝප්ප 1/2
සෝස් එකට
- මයෝනේස් මේස හැඳි 2
- ටොමැටෝ කේචප් මේස හැඳි 2
- ලෙමන් යුෂ මේස හැඳි 2
- සීනි තේ හැඳි 1
- රස අනුව ලුණු
- මිරිස්කුඩු තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
කුකුල් මස්වලට මිරිස්කුඩු, ලූනු, සුදු ලූනු, ලුණු හා දෙහි යුෂ දමා කළවම් කර පැයක් පමණ මැරිනේට් කරගන්න. සෝස් එකට අවශ්‍ය සියල්ල කළවම් කර සෝස් එක හදාගන්න. තෙල් රත්වූ පෑන් එකකට කුකුල් මස් ටික දමා දෙපැත්ත දමා බැදගෙන ගෑරුප්පුවකින් ඉරාගන්න.
සොසේජ් ටික වෙනම බැදගන්න. ටෝටියා රොටිය අරගෙන චිකන් ටික අතුරලා ඊට උඩින් ගෝවා ටික දාගන්න. දැන් සොසෙජස් ටික ටෝටියා එක අයිනෙන් තියලා සෝස් එක චිකන් සහ සොසේජ් උඩින් වක්කරගන්න. සොසේජස් තියාගත්ත කෙළවරින් පටන් අරන් රෝල් කරලා ටූත්පීක් එකක් ගහගන්න.
ටූනා ශවර්මා ෆිලින්
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි සැමන් ටින් 1
- චොප්කරගත් ලූනු ගෙඩි 1
- චොප්කරගත් තක්කාලි ගෙඩි 2
- තක්කාලි සෝස්
- චොප්කරගත් සුදු ලූනු මේස හැඳි 1
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- සූදුරු කුඩු ස්වල්පයක්
- මිරිස්කුඩු තේ හැඳි 1
- එනසාල් හා කරාබුනැටි ඇට 2 බැගින්
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- මයෝනේස් ස්වල්පයක්
- චීස් ස්ලයිසස්
- සලාද කොළ
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට සූදුරු කුඩු, ලූනු, සුදු ලූනු සහ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. මෙයට තක්කාලි, මිරිස්කුඩු, ගම්මිරිස්කුඩු හා ලුණු දමා හොඳින් කලවම් කරගන්න.
දැන් අතින් පොඩි කරගත් ටූනා ටික දාලා ෆ්‍රයි කර අවසානයට තක්කාලි සෝස් ටිකක් එකතු කරලා ළිප නිවාගන්න.
ටෝටියා රොටිය අරන් එයට මයෝනේස් සෝස් ගාලා, චීස් පෙත්තක් තියලා, සලාද කොළය තියලා, හදාගත් ටූනා ෆිලින් එකෙන් ටිකක් තියලා රෝල් කරලා ටූත් පීක් එකක් ගහගන්න.
එග් ශවර්මා ෆිලින්
අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1
- ග්‍රේට්කරගත් ගෝවා කෝප්ප 1/2
- රස ලුණු
- කෑලිමිරිස් තේ හැඳි 1
- බිත්තර 2
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- මයෝනිස් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට ලූනු දමා තෙම්පරාදු කරගන්න. ඊළඟට ගෝවා, කෑලිමිරිස් සහ ලුණු දමා හොඳින් කළවම් කර ළිපෙන් ඉවත් කරගන්න.
වෙනත් භාජනයකට බිත්තර ටික කඩලා දාලා මිරිස්කුඩු සහ ලුණු දමා හොඳට විස්ක් කරගන්න.
පෑන් එකකට තෙල් ටිකක් දාලා බිත්තර මිශ්‍රණය දාලා පෑන් එක වටේට කරකවලා ඊට උඩින් ටෝටියා රොටිය තියාගන්න.
බිත්තර මිශ්‍රණය රොටියට ඇලුනාම අනික් පැත්ත හරවලා පොඩ්ඩක් හීට් කරගන්න. දැන් මේ රොටියෙ බිත්තර මිශ්‍රණය තියන පැත්තෙ මයෝනිස් ගාලා, ලූනු ෆිලින් එක තියලා රෝල් කර ටූත්පීක් එකක් ගහගන්න.