පිළිකා කියා කියන්නේ වෛද්‍ය විද්‍යාවේ හඳුනාගන්නා තවත් එක් රෝගී තත්ත්වයක් පමණක් නොවේ. එහි ගැඹුරු වූ පුද්ගලිකතාවන් රැසක් අන්තර්ගත වෙනවා. සෑම පිළිකා රෝගියකු හඳුනාගැනීමක් පිටුපසම ඊටම අද්විතීය වූ මානුෂීය කතාන්දරයක් සැඟවී තිබෙනවා. ශෝකය, වේදනාව, සුවකිරීම, දරාගැනීමේ හැකියාව, ආදරය සහ තවත් බොහෝ සංවේදී කාරණාවන් රැසක් පිළිකාවක් හඳුනාගැනීම සමග බැදී තිබෙනවා. මෙන්න මේ නිසා තමයි පිළිකා ප්‍රතිකාරයේදී ඉතා සංවේදීව සහකම්පනයෙන් යුතුව කටයුතු කළයුතු වන්නේ.
ඉතා ඈත අතිතයේදී නම් පිළිකා ඇතුළු බොහෝමයක් රෝග සඳහා ප්‍රතිකාර කරනු ලැබූවේ රෝගය කේන්ද්‍රගත කරගෙනයි. එය හැඳින්වූයේ “Disease – Centred Care” ලෙසටයි. මෙය ඉතා යල්පැන ගිය මෙන්ම ශිෂ්ඨ සම්පන්න සමාජයන්ගෙන් ප්‍රතික්ෂේප වූ ප්‍රතිකාර ක්‍රමවේදයක්. ඉතා කණගාටුවට කාරණයක් වන්නේ ශ්‍රී ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ බොහෝ රටවල තවමත් මෙම ක්‍රමවේදය ප්‍රතිකාර සඳහා යොදාගනු ලැබීමයි. මෙය ඉතා ලජ්ජා සහගත තත්ත්වයක් වන අතර වහාම එයින් මිදීම සිදුකළ යුතු වනවා. මෙම ක්‍රමයේදී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සිදුකරනු ලබන්නේ හුදෙක් පිළිකාව, එහෙමත් නැත්නම් රෝගය ගැන පමණක් සලකා බලා ප්‍රතිකාර කිරීමයි. මෙහිදී ප්‍රතිකාරය බොහෝ දුරට යාන්ත්‍රික වන අතර, බොහෝමයක් පිළිකා රෝගීන් ප්‍රතිකාරය අතරමැද නවතා දැමීම කරනු ලබනවා.
ඉහත කාරණාව අවබෝධ කරගැනීම පහසු කිරීම සඳහා එක් සත්‍ය සිදුවීමක් මෙහිදී ඉදිරිපත් කරන්නම්.
මේ සිදුවීම වන කාලවකවානුවේදී මා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කළේ නැඟෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ වූ මඩකළපුව ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ. මගේ මතකයේ හැටියට ඒ වසර 2017 අග හෝ 2018 වසර මුල් කාර්තුව විය යුතුයි. මේ කතාවට සම්බන්ධ තරුණයා අවුරුදු 25 ක පමණ වයසක වූ කෙනෙක්. සති ගණනාවක් තිස්සේ විටින් විට උත්සන්න වූ සුව නොවන ලෙස පැවතුණ උණ තත්ත්වයක් නිසා සායනික පරීක්ෂාවකට ලක්වීමේදී ඔහුගේ රුධිරයේ ඇති සුදු රුධිර සෛල ප්‍රමාණය සාමාන්‍ය ගණනට වඩා ඉතා වැඩි බව සොයාගෙන තිබුණා. රුධිර පටල පරීක්ෂාවේදී එහි අසාමාන්‍ය සුදු රුධිර සෛල බොහෝ සෙයින් ඇති බව සොයාගනු ලැබූ අතර ඔහුට ලේ පිළිකා තත්ත්වයක් ඇති බවට සැක කරනු ලැබුවා.
ඒ කාලයේදී ලේ පිළිකා සඳහා ප්‍රතිකාර කරන වෙනමම විශේෂඥ වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ නොසිටි නිසා එම රෝගීන්ටද ප්‍රතිකාර කිරීමට සිදුව තිබුණේ අපටමයි. වැඩිදුරටත් කරනු ලැබූ රුධිර පරීක්ෂාවන් සහ ඇටමිඳුළු පරීක්ෂාවන්ගේ ප්‍රතිපලවලට අනුව ඔහුට සෑදී තිබුණේ “ඇකියුට් මයලොයිඩ් ලියුකේමීයා” හෙවත් AML නම් දරුණු ලේ පිළිකා තත්ත්වයයි. මේ පිළිකා තත්ත්වය ගැනත් ඒ සඳහා ඇති ප්‍රතිකාර ගැනත්, පිළිකාව නිසා සහ ප්‍රතිකාරවල සංකූලතා නිසා සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් ගැනත් සත්‍ය තොරතුරු රෝගියාට දැනුම් දීම ඊළඟට තිබූ අමාරුම කාරණාව වුණා.
මේ සාකච්ඡාව සඳහා රෝගියාගේ අවසරය ලබාගෙන කාරණා එකින් එක ඔහුට පැහැදිලි කරදීම ආරම්භ කළා. පැහැදිලි කරදීම අවසන් වූ වහාම ඔහුට අවශ්‍ය ප්‍රශ්න අසා නිරාකරණය කරගැනීමට අවස්ථාව ලබාදුන් අතර ඔහුට තිබුණේ එකම එක ඉල්ලීමකුයි.
“ඩොක්ටර් මට ඉක්මණට ගෙදර යන්න ඕනේ තව මොහොතක්වත් මට මෙහේ ඉන්න බෑ”
මේ කතාව අහපු හැම දෙනාම පුදුමයෙන් පුදුමයට පත්වුණා. ඉතාමත් වෙහෙසක් දරල තමයි ඉතාම කෙටි කාලෙකින් මෙම රෝගියාගේ පරීක්ෂාවන් සියල්ලම කරගනු ලැබුයේ. ඇතැම් පරීක්ෂාවන් සඳහා රෝගියාව මඩකළපුව සිට මහරගම පිළිකා රෝහලට පවා යැවීමට සිදුවුණා. මේ සියල්ලම ඉතා ඉක්මනින් සම්බන්ධීකරණය කිරීමට දැඩි වෙහෙසක් දැරිමට සිදුවුණා. මෙම රෝගියාගේ ප්‍රතිකාරය ඉතා ඉක්මණින් ලබාදීම කළ යුතුව තිබූ නමුත් රෝගී තරුණයා ඒ සඳහා එකඟ වූයේ නෑ. කුමන හෝ කාරණාවක් රෝගියා අපට සඟවනවා. මේ කාරණාව නිරාවරණය කරගන්නේ නැතිව රෝගියාට උපකාර කිරීමට කිසිම හැකියාවක් නෑ.
“මෙච්චර අමාරු ලෙඩක් තිබිල ඇයි මේකට ප්‍රතිකාර ගන්න කැමැති නැත්තේ?”
“ඩොක්ටර්, මම දැන්ම ගෙදර යන්න ඕනේ කරුණාකරල මට ඒකට ඉඩදෙන්න”
‘ඔයාට මෙච්චර හදිස්සියෙන් ගෙදර යන්න තරම් වැදගත් කාරණාවක් තියෙනව නම් මම ඒකට ඉඩ දෙනවා. ඒක මට කියන්න බැරි කාරණාවක්ද?’
තරමක් කල්පනා කරමින් සිටි තරුණයාගේ ඇස් දෙකින් කඳුළු බින්දු කිහිපයක් ඇද වැටුණා. නමුත් ඔහු තුළ දැඩි අධිෂ්ඨානයක් සහ ශක්තිමත් බවක් පෙන්නුම් කළා.
“ඩොක්ටර් මම ‘මැරි’ කරල ටික කාලයක් වෙන්නේ. මගේ ‘වයිෆ්ට’ පළවෙනි බබා හම්බවෙන්න තියෙන්නෙ තව සති කිහිපයක් විතරයි. එයාට ඒ වැඩ ටික තනියම කරගන්න බෑ. අනික මම ණයක් අරන් තියෙනවා ගේ උගසට තියලා. ඒක මම ඉක්මණට බේර ගන්නත් ඕනේ. ඒක කරන්න තව ඉඩම් කොටසක් විකුණන්න වෙනවා. හදිස්සියේ මම මැරුණොත් මේ කිසිදෙයක් කරගන්න බෑනේ. මගේ වයිෆ් අන්ත අසරණ වෙනවනේ.”
මේ කතාව අහපු හැමෝගෙම හිත හෝස්ගාලා උණුවුණා.
“ඉතින් ඔයාලට උදවු කරන්න පවුලේ නෑදැයෝ නැද්ද?”
“ඩොක්ටර් අපි කසාද බැන්දෙ ගෙවල් දෙකේම අයගේ විරෝධය මැද්දේ. ඒ ගොල්ලො අපිව පවුලෙන් අයින් කරල තියෙන්නේ. අපිට ඒ කාගෙන්වත් උදවු ඉල්ලන්න බෑ. මට මේ දේවල් ටික පිළිවෙලක් කරන්න ගෙදර යන්නම වෙනවා. මේ වැඩ ටික ඉක්මණට ඉවර කරලා මම ආපහු එන්නම්.”
“මේ වැඩ ටික කරන්න ඔයාට කොච්චර කාලයක් ඕනෙද?”
“මට දවස් හතක් දෙන්න ඩොක්ටර්. මට ඒ ඇති. ඉඩමත් විකුණලා, ණයත් බේරලා, වයිෆ්ට බබා හම්බවෙනකොට උදවු කරන්න වැඩපිළිවෙළකුත් හදලා ඉවරවෙලා මම ඉස්පිරිතාලෙට එන්නම්.”
“දවස් හතක් වැඩියි. මම ඔයාට දවස් පහක් දෙන්නම්. මේ වැඩ ටික ඒ දවස් පහෙන් ඉක්මණට ඉවර කරලා ආපහු එන්න ඕනේ. ඒ පොරොන්දුව පිට මම ඔයාව ගෙදර යවනවා.”

මෙම තරුණයා පදිංචිව සිටියේ කලවාංචිකුඩි නම් ප්‍රදේශයේ. ඒ මඩකළපුව ටවුමේ සිට කිලෝමීටර් 26ක් පමණ දුරින් කල්මුණේට යන පාරේ. කලවාංචිකුඩි ටවුමේ ඉදන් තවත් බොහෝ දුරක් ගම අභ්‍යන්තරයට ගියාම තමයි ඔහුගේ ගෙදර හමුවන්නේ. එය ඉතා දුෂ්කර වූ ප්‍රදේශයක්. මා ඔහුට ගෙදර යන්නට ඉඩ දුන්නා. හදිස්සියේ හෝ නිවසේදී හොඳටම අමාරු වුණොත් වහාම කලවාංචිකුඩි පර්යන්ත රෝහලට යන ලෙසට දැනුවත් කළා.
එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීයාව මෙම රෝගියා සම්බන්ධයෙන් දැනුවත් කර, එම රෝහලේ වැඩකරන මා දන්නා හඳුනන තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුටද මේ ගැන දැනුම් දුන්නේ, මේ රෝගියා එම රෝහලට පැමිණි වහාම ගිලන් රථයක් මගින් මඩකළපුව පිළිකා ඒකකයට ප්‍රමාදයකින් තොරව ගෙන්වා ගැනීමට කටයුතු කිරීම සඳහායි.
මා ඉල්ලා සිටි ආකාරයටම තම බිරිඳගේ පළමු දරු ප්‍රසූතිය සිදුවන කාලයේදී ඇයට සහාය වීමට තම හිතවත් පිරිසක් යොදවා, විකිණීමට සැලසුම් කළ ඉඩමත් විකිණීමට වැඩකටයුතු සලසා, තමා ණය වී තිබූ මුදලක් පියවා අනතුරුව කලවාංචිකුඩි රෝහලේ ගිලන් රථයෙන් ඔහු නැවත පිළිකා ඒකකයට පැමිණියා. ඉන් අනතුරුව කරන ලද පළමු වටයේ පිළිකා ප්රතිකාරවලින් ඔහුගේ පිළිකාව ඉතා හොඳින් මර්දනය වී තිබුණා. දෙවන වටයේ පිළිකා ප්‍රතිකාර සඳහා ඔහු එනවිට මා රාජ්‍ය සේවයට සමුදී තිබූ නිසා ඊට පසු ඔහුට සිදු වූ දෙය ගැන වැඩි විස්තරයක් මා දන්නේ නෑ.
ඉහත කතාවෙන් පැහැදිලි වන්නේ කුමක්ද? මෙම රෝගියාගේ කතාවට සවන් යොමන්නේ නැතිව ඔහුගේ පිළිකාව පමණක් කේන්ද්‍ර කරගෙන ප්‍රතිකාර කරන්නට උත්සාහ කළා නම් කිසිවිටෙකත් ඔහු වෙනුවෙන් පිළිකා ප්‍රතිකාර ලබාදෙන්නට හැකි වෙන්නේ නෑ. මේ නිසා පිළිකා වැනි බරපතළ රෝග සඳහා ප්‍රතිකාර කරන විට රෝගය ගැන පමණක් සිතා ප්‍රතිකාර කිරීම ඉතා අසාර්ථක ක්‍රමයක් බවත් ඊට වඩා විශාල වපසරියක් ගැන සිතා බලා කටයුතු කළ යුතු බවත් පැහැදිලි වනවා ඇති. නමුත් හෘදයාබාධ වැනි හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථාවලදී ප්‍රතිකාර කළ යුතු ආකාරය මෙවැනි අවස්ථා සමග පටලවාගත යුතු නෑ.
වර්තමානයේ සදාචාර සම්පන්න ලෝකයේ පිළිගන්නා පිළිකා ප්‍රතිකාරය අදියර තුනකින් පරිනාමය වී ඇති බව සිතිය හැකියි. ඒවා නම්,
(1) රෝගියා කේන්ද්‍ර කරගත් ප්‍රතිකාරය (Patient – Centred Care)
(2) පුද්ගලයා කේන්ද්‍ර කරගත් ප්‍රතිකාරය (Person Centred Care)
(3) රෝගියා, එම රෝගය සහිත පුද්ගලයා, සහ එම පුද්ගලයා වටා සිටින සාමාජය කේන්ද්‍ර කරගෙන කරන ප්‍රතිකාරය (People – Centred Care)
රෝගියා කේන්ද්‍ර කරගෙන ප්‍රතිකාර කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ හැඟීම්, වටිනාකම් සහ මනාපයන්වලට අනුකූලව ඔවුන්ගේ ප්‍රතිකාරය හෝ සත්කාරය සැලසුම් කරනවා. මෙයින් අවධාරණය කරන්නේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ගන්නා වූ තීන්දු තීරණ සඳහා ප්‍රතිකාරයට පාන්ත්‍ර වන රෝගියාවත් සක්‍රියව හවුල් කරවා ගැනීම ඉතාම වැදගත් බවයි.
රෝගී ප්‍රතිකාරයේදී රෝගියාට ලබාදෙන සියලුම සේවාවන් සහ සත්කාරයන් මනාව සම්බන්ධීකරණය කිරීම මගින් ලැබිය යුතු සේවාවන් සියල්ලේම සියලුම පැතිකඩවල් හොඳින් පෙළගස්වා, ව්‍යාකූලතාවන් අවම කරවමින්, රෝගියාගේ සමස්ත ප්රතිකාරමය අත්දැකීමම සතුටුදායක තත්ත්වයකට ගෙන ඒම මෙමගින් සිදුකරනු ලබනවා. රෝගියා කේන්ද්‍ර කරගෙන කරනු ලබන ප්‍රතිකාරයේදී විශේෂයෙන්ම සම්බන්ධ කරනු ලබන්නේ සායනික කාරණාවන් සහ සෞඛ්‍ය පද්ධතියේ එක් එක් කොටස් අතර අන්තර් සම්බන්ධතායි.
මෙය තරමක් පෙර ක්‍රමයට වඩා සාර්ථක වූ නමුත් එහිද යම් යම් අඩුපාඩු නිරීක්ෂණ කළ බැවින් ඒවා නිවැරදි කරගැනීම සඳහා පුද්ගලයා කේන්ද්‍ර කරගත් සත්කාර සහ ප්‍රතිකාර හඳුන්වා දෙනු ලැබුවා. මෙහිදී රෝගියා යන සංකල්පයෙන් ඔබ්බට ගොස් “සමස්ත පුද්ගලයා” හෙවත් රෝගියාව මිනිසකු ලෙස ඔහුගේ ජීවිතයේ ඇති සියලුම පැතිකඩවල්, එනම් කායික, මානසික, අධ්‍යාත්මික සහ සමාජයීය යන අංශ සියල්ලම සැලකිල්ලට ගැනීම සිදුකරනවා. මෙහිදී මිනිසුන්ගේ අද්විතීයවූ අත්දැකීම් සහ ප්‍රාර්ථනාවන්ද, මානසික සමාජියීය සහ අධ්‍යාත්මක අවශ්‍යතාවන්ද අතිශය වැදගත් කොට සලකනවා. එනම් මෙහිදී සෑම රෝගියකුම මිනිසෙකු ලෙස සලකා ඔහුගේ සමස්ථයම එනම් ඔවුන්ගේ පුද්ගලික ජීවිතය සහ සමාජයීක ජීවිතය ප්රතිකාරමය තීරණ ගැනීමේදී සැලකිල්ලට ගන්නවා.
ඉහත ක්‍රමවේදයන් දෙකේදීම සැලකිල්ලට ගන්නේ අඩු වැඩි වශයෙන් රෝගයට පාත්‍ර වූ රෝගියා හෝ පුද්ගලයා පමණයි. නමුත් ඉතා සාර්ථක පිළිකා ප්‍රතිකාරයක් ලබාදීමේදී රෝගියා හෙවත් රෝගයෙන් පීඩා විඳින පුද්ගලයා සමග සම්බන්ධ තවත් විශාල පිරිසක් සිටිනවා. මේ අය පවුලේ ළඟම ඥාතීන්, හිත මිතුරන් ආදීන් විය හැකියි. මේ සියලු දෙනාම රෝගියා වටා සිටිනා පුංචි සමාජයක් ලෙස සලකා ඔවුන්වද ප්‍රතිකාරයේ හවුල්කරුවන් කරගෙන ඔවුන්ගේ ගැටලුවලටද පිළිතුරු සෙවීම අවසන් ක්‍රමයෙන් විස්තර කරනවා. මෙය ඉතාමත්ම සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයක් වන අතර දැනට ලෝකයේ පවතින උසස්ම පිළිකා ප්‍රතිකාර ක්‍රමවේදය ලෙසට සලකනු ලබනවා.
මෙම ක්‍රමය තුළින් රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ රෝගියාගේ පාර්ශ්වයේ අයවලුන් අතර ඇතිවිය හැකි මතභේද අවම කරවන අතර එමගින් රෝගියාගේ ප්‍රතිකාරයට සිදුවන අනවශ්‍ය බාධාවන් අවම කරගත හැකි වෙනවා. මෙම ක්‍රමවේදයට අනුකූලව ශ්‍රී ලංකාව තුළද ඉතා අවම මට්ටමකින් හෝ පිළිකා ප්‍රතිකාරය සිදුවන බව සතුටින් දැනුම් දියයුතු වෙනවා.
මේ වසරේ ලෝක පිළිකා දිනය යෙදෙන්නේ පෙබරවාරි හතරවන දිනටයි. මෙම වසරේ සිට 2027 වසර දක්වාම එම සැමරුමේ තේමාව වී තිබෙන්නේ “අද්වීතීයත්වයෙන් එක්සත්ව මිනිසුන් හෙවත් සමාජය කේන්ද්‍ර කරගත් සත්කාරයකට මුලපුරමු” යන්නයි. මෙය යථාර්ථයක් කරගැනීමට නම් ශ්‍රී ලංකාව තුළ දැනට සිදුවන පිළිකා ප්‍රතිකාරයේ සැලකිය යුතු වෙනස්කම් රාශියක් සිදුවිය යුතු බව අමුතුවෙන් කිවයුතු නැහැ. වත්මන් රජයේ තේමාවන් සමග ලෝක පිළිකා දිනයේ තේමාව සමපාත කරගැනීමද ශ්‍රී ලාංකිය පිළිකා රෝගීන්ට කිසියම් හෝ අස්වැසිල්ලක් වනු නොඅනුමානයි.

හරින්දී ලියනගේ ✍️