ශරීරය අභ්‍යන්තරයේ ඇතිවන ගල් නිසා අපි ජීවිතයේ විවිධ කාලවලදී දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. මේ අතරින් වකුගඩු ගල්, මුත්‍රා ගල්, ඛේට ග්‍රන්ථිවල ගල්, අග්න්යාශයෙ ගල් සහ පිත්තාශ ගල් ගැන කතාකළ හැකියි. ඒ අතරින් අපි අද පිත්තාශ ගල් ගැන කතා කරමු.
පිත්තාශ ගල් හැදෙන්නේ කොහොමද?
බයිල් දියරයේ (Bile fluid) අඩංගු ඇතැම් සංයෝග සාන්ද්‍රගත වීමෙන් ගල් ඇතිවනවා. ඒවා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයක් දක්වා වීමට පුළුවන්.
බයිල් යනු මොනවාද?
බයිල් නිපදවනු ලබන්නේ අක්මාවේ ඇති හෙපොටසයිට (Hepotocytes) නමැති සෛල මගින්. අක්මාවේ නිපදවනු ලබන බයිල් පිත්තාශයේ ගබඩා කර තබනවා.විශේෂයෙන් තෙල් සහිත ආහාර කුඩා අන්ත්‍රයේ මුල් කොටසට පැමිණි විට එතැනින් කොලිසිස්ටෝ කයිනීන් (CCK) නමැති හෝර්මෝනය නිපදවා පිත්තාශය සංකෝචනය කර බයිල් දියරය කුඩා අන්ත්‍රයේ මුල් කොටසට උත්තේජනය කරනවා. බයිල් මගින් විශාල තෙල් බින්දු කුඩා තෙල් බින්දු බවට පත්කරන අතර එමගින් තෙල් ජීරණය පහසු කරනවා.
බයිල් දියරය සෑදී ඇත්තේ බයිල් ඇසිඩ්, පොස්පොලිපිඩ්, කොලස්ටරෝල්, බිලිරුබින්, සෝඩියම් පොටෑසියම් වැනි අයන සහ ජලය එකතු වීමෙන්.සෑම කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුටද, පිරිමි පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුටද තම ජීවිත කාලයේ කුමන අවධියක හෝ මෙසේ පිත්තාශ ගල් රෝග තත්ත්වයට මුහුණ දීමට පුළුවන්. වයසත් සමග මෙම තත්ත්වය වෙනස් වීමටත් හැකියාවක් තිබෙනවා.
පිත්තාශ ගල් වර්ග මොනවාද?
පිත්තාශ ගල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.
- කොලෙස්ටරෝල් පිත්තාශ ගල් (Cholesteroal gallstone)
- පිග්මන්ට් පිත්තාශ ගල් (Pigment gallstone)
පිත්තාශ ගල් ඇතිකිරීමට වැඩි අවදානමක් ඇති හේතු සාධක මොනවාද?
- වයසත් සමග පිත්තාශ ගල් ඇතිවීමේ අවදානමක් තිබෙනවා.
- ශරීරයේ බර වැඩිවීම.
- පිරිමි පුද්ගලයන්ට සාපේක්ෂව කාන්තාවන්ට වැඩි අවදානමක් ඇත.
- පවුල් ඉතිහාසය.
- ඇතැම් ඖෂධ වර්ග ( Cholesteroal lowering drugs , Birth control pills Hormone replacement therapy)
- පිත ගලාගෙන යන මාර්ගයට බාධා කරන රෝග.
- අධික තෙල් සහිත ආහාර ගැනීම සහ තන්තු ආහාර අඩුවෙන් ගැනීම.
- ආහාර පාලනය මගින් හෝ ශල්‍යකර්ම මගින් කෙටි කාලයක් තුළ ශරීර බර අඩුකර ගැනීමට අත්සහ දරණ පුද්ගලයින්.
පිත්තාශ ගල් රෝග ලක්ෂණ මොනවාද?
බොහෝ විට පිත්තාශ ගල් තිබුණත් රෝග ලක්ෂණ මතු වෙන්නේ නැහැ. බොහෝ අය තමන්ගේ පිත්තාශයේ ගල් තිබෙන බවවත් දන්නේ නැහැ. නමුත් සමහර විට වෙනත් හේතුවක් නිසා උදරයේ ස්කෑන් පරීක්ෂාවක් හෝ එක්ස්රේ ලබා ගැනීමක් සිදුකරන අවස්ථාවක පිත්තාශයේ ගල් ඇති බව තහවුරු වෙනවා.
පිත්තාශයේ ගල් තිබෙන පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුට පමණ රෝග ලක්ෂණ මතුවීමට පුළුවන්.බඩේ දකුණු පැත්තට වෙන්නට උරස් කුහරයේ ඉල ඇට ඉවර වෙන ස්ථානයේ ඉතා අධික වේදනාවක් ඇතිවනවා.
මෙම වේදනාව සමහර විට මිනිත්තු කීපයකින් හෝ ඇතැම් විට පැය කීපයක් පවතින්න පුළුවන්. විශේෂයෙන්ම තෙල් ආහාර වැඩියෙන් ගත් පසු මෙම වේදනාව ඇතිවන්න පුළුවන්.
පිත්තාශයේ බයිල් දියරය නිකුත් කිරීමට කුඩා නාලයක් තිබෙනවා. එය Cystic duct යනුවෙන් හඳුන්වනවා. මෙම නාලයේ පිත්තාශ ගලක් සිරවුණ විට එම සිරවීමට විරුද්ධව පිත්තාශය සංකෝචනය වී පිත නිකුත් කිරීමට උත්සහ කරනවා.
එවිට මෙම අධික වේදනාව ඇතිවනවා.ඇතැම් විට පිත්තාශයේ ඇති ගල් නිසා ප්‍රදාහක තත්ත්ව ඇතිවිය හැකියි. මෙම තත්ත්වය Cholecysitis ලෙස හැඳින්වෙනවා. මෙම තත්ත්වය ඇති වූ විට රෝග ලක්ෂණ ඉතා කඩිනමින් වර්ධනය වන අතර රෝග ලක්ෂණ ලෙස දරා ගත නොහැකි බඩේ කැක්කුම, අධික උණ, ඇගේ අමාරුව වැනි තත්ත්වයන් සඳහන් කරන්න පුළුවන්.
ප්‍රදාහක තත්ත්වය ඇති වුණොත් පිත්තාශය ඉවත් කිරීමට සිදුවනවා
මෙම පිත්තාශ ගල් පිත්තාශයෙන් පිටට විත් බයිල් නාලයේ හිරවී තිබුණොත් බයිල් දියර ආහාර මාර්ගයේ කුඩා අන්ත්‍රයේ මුල් කොටසට යාමට නොහැකිව රුධිර සංසරණ පද්ධතියට එකතු වෙනවා. මේ හේතුව නිසා ඇස්වල සුදු පැහැති කොටස කහවීම සිදුවනවා. ඒ වගේම සමේ වර්ණයද කහ පැහැයට හැරෙනවා.පිත්තාශ ගල් නිසා අග්න්‍යාශය ප්‍රදාහක තත්ත්වයන්ද ඇති විය හැකියි.
පිත්තාශ ගල් හඳුනාගැනීමට
මේ වෙනුවෙන් රෝග ලක්ෂණ වගේම අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ හා රුධිර පරීක්ෂණ සිදුකරනවා.
ප්‍රතිකාර මොනවාද?
රෝග ලක්ෂණ නොපෙන්වන සහ ඉතා සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වන්නේ නම් ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැත. තෙල් සහිත ආහාර ගැනීමෙන් පසු රෝග ලක්ෂණ ඇතිවනවා නම් එවැනි ආහාර ගැනීමෙන් වැළකීම සුදුසුයි.
ලක්ෂණ පෙන්වන රෝගීන් සඳහා වූ ප්‍රතිකාරය
මෙවැනි රෝගීන්ගේ ශල්‍යකර්මයක් මගින් පිත්තාශය ඉවත් කිරීම සිදුවනවා. පිත්තාශයේ ප්‍රදාහක තත්ත්වයක් ඇති වී තිබෙනවා නම් වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. එලෙස ප්‍රදාහක තත්ත්වය අඩුකර එයින් පසුව ශල්‍යකර්මය සිදුකරනවා.
ශල්‍යකර්මය කී හෝල් (Key hole) ශල්‍යකර්මය, මෙය වෛද්‍ය විද්‍යාත්මකව මේ ක්‍රමය Laparoscopic cholecystetmoy යනුවෙන් හැඳින්වෙනවා. එහිදී බඩේ කුඩා කැපුමක් යොදා සාදාගන්නා ඉතා කුඩා සිදුරකින් මෙම ශල්‍යකර්මය සිදුකරනවා.එහිදී බඩේ කුඩා කැපුමක් යොදා සාදාගන්නා ඉතාමත් කුඩා සිදුරකින් ආධාරයෙන් මෙම ශල්‍යකර්මය සිදු කරනවා.
පිත්තාශය ඉවත් කළ පසු
පිත්තාශය ඉවත් කළත් ඔබට සාමාන්‍ය ආහාර රටාවක් අනුගමනය කිරීමට පුළුවන්. ඒ වගේම තෙල් සහිත ආාහර ජීරණයට කිසිම බාධාවක් නැහැ. පිත්තාශය මගින් සිදුවන්නේ ජීරණයට අවශ්‍ය පිත ගබඩා කර තබාගැනීම පමණයි. පිත්තාශය ඉවත් කළ පසුව එසේ පිත ගබඩා කිරීමට ක්‍රමයක් නොමැති අතර අක්මාවේ නිපදවන පිත කෙලින්ම ආහාර මාර්ගය වෙත යොමු වෙනවා.
කෙසේ නමුත් ඇතැම් රෝගීන්ට කුඩා වේදනාවක් සහ බඩ පුරවා දැමීම වැනි හැගීමක් ඇතිවීමට පුළුවන්. එය බොහෝ විට පිත්තාශය ඉවත් කර තෙල් සහිත ආහාරයක් ගත් පසු දැනෙන දෙයක්. ඒ වගේම මලපහ පිට වෙන වාර ගණණ වැඩි වීමටත් පුළුවන්.
එහිදී දියර ස්වභාවයෙන් මලපහ පිටවනවා. පිත්තාශය ඉවත් කළ පසුව සමහර රෝගීන්ට මේ බඩේ කැක්කුම සමග සම සහ ඇස් කහ වීම, ආහාර ජීරණයේ ගැටලු ඇතිවීමට පුළුවන්. ඒ තත්ත්වය Post cholecystectomy syndrome ලෙස හැඳින්වෙනවා.

පුන්‍යා චාන්දනි ද සිල්වා ✍️