අපට ඇතිවන විවිධ විෂබීජ තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී ප්‍රති ක්ෂුද්‍ර ජීවි ඖෂධ භාවිත කරනවා. බැක්ටීරියා, වෛරස හා දිලීර රෝග තත්ත්වයන් වෙනුවෙන් මෙම ඖෂධ යොදාගන්නවා. මේ අතර බැක්ටීරියා සඳහා ප්‍රතිජීවක (Antbiotic) වෛරස සඳහා ප්‍රති වෛරස (Antiviris) හා දිලීර සඳහා ප්‍රති දිලීර (Antifungus) ඖෂධ යොදාගන්නවා.
ප්‍රතිජීවක ඖෂධ විවිධ කාණ්ඩ යටතේ තිබෙනවා. බැක්ටීරියා සෛලවල විවිධ කොටස්වලට එරෙහිව ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය එකිනෙකට වෙනස් වෙනවා. ප්‍රතිජීවක ඖෂධ ඕනෑම වයසක රෝගියකුට ලබාදෙන්න පුළුවන්. ළදරුවාගේ පටන් වයස්ගත රෝගියකු දක්වා විෂබීජ ආසාදන සඳහා ජීවිතාරක්ෂක ඖෂධයක් ලෙස භාවිත කරනවා.
ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කරන්නේ කොහොමද?
රෝගියකු විසින් සඳහන් කරන රෝග ලක්ෂණ අනුව එය ආසාදන රෝගයක් ලෙස හඳුනාගතහොත් ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනවා. රසායනාගාර පරීක්ෂණ මගින් ලේ, මුත්‍රා පරීක්ෂණ වාර්තා අනුව බැක්ටීරියාව නිවැරදි ලෙස හඳුනාගෙන ඒ වෙනුවෙන් අදාළ ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදුවනවා.
ප්‍රතිජීවක වෙනුවෙන් ආසාත්මිකතා දැක්වීම යනු කුමක්ද?
සමහර රෝගීන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය පමණට වඩා ක්‍රියාකාරී වීම නිසා ප්‍රතිජීවක ඖෂධයක් ලබාගත් අවස්ථාවකදී ප්‍රතිශක්ති පද්ධතිය විසින් එය වැරදි ලෙස හඳුනාගෙන එයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම ප්‍රතිජීවක ආසාත්මිකතාවක් (Allergy) ලෙසින් හඳුන්වන්න පුළුවන්.
ප්‍රතිජීවක ආසාත්මිකතාවයක් හඳුනා ගන්නේ කොහොමද?
ප්‍රතිජීවක වෙනුවෙන් ඇතිවන ආසාත්මිකතාව ඕනෑම වයසක අයකුට ඇතිවන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිජීවක ඖෂධවල ඕනෑම කාණ්ඩයක ඖෂධ වෙනුවෙනුත් මේ ආසාත්මිකතාව ඇතිවිය හැක. බොහෝ විට පළමු ප්‍රතිජීවක ඖෂධ මාත්‍රාව ලබාගෙන මිනිත්තු කීපයකින් හෝ පැය කීපයකින් ආසාත්මිකතා ලක්ෂණ පෙන්වන්න පුළුවන්. සමහර විට මීට කලින් ප්‍රතිජීවක වෙනුවෙන් ආසාත්මිකතාවක් නොදැක්වූ අයකුට මීට පෙර ගැටලුවකින් තොරව ලබාගත් ඖෂධයකට වුවද එක් අවස්ථාවකදී ඒ ප්‍රතිජීවක ඖෂධයට ආසාත්මිකතාවක් ඇතිවිය හැක.
ආසාත්මිකතා රෝග ලක්ෂණ
■ සමේ ඇතිවන කැසීම
■ රතුවීම
■ සිරුරේ පළු දැමීම
■ සිරුරේ ඉදිමුම
සමහර විට බාහිරව දකින මෙම රෝග ලක්ෂණවලට අමතරව අභ්‍යන්තර අවයවවලටද බලපෑමෙන් ජීවිත අවදානම් තත්ත්වයට පත්වීමේ රෝග ලක්ෂණ ඇතිවිය හැක. මෙම තත්ත්වය Anaphylaxis යනුවෙන් හැඳින්වේ. මෙය තත්පර ගණනක් තුළ ඇතිවිය හැක.
■ හෘදය වස්තුව ඉදිමීම.
■ බඩවැල් ඉදිමීම.
■ රුධිර නාළ විශාල වී පීඩනය වී ක්ලාන්තය ඇතිවීම. සමහර විට මේ තත්ත්වය තත්පර ගණනක් තුළ ඇතිවීමට පුළුවන්.
ආසාත්මිකතාවය උග්‍ර වූ අවස්ථාවක (Anaphylaxis) ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?
■ හුස්ම ගැනීමේ අපහසුතාව.
■ කටහඬ වෙනස් වීම.
■ ක්ලාන්ත ගතිය/ සිහිසුන් වීම.
■ වමනය.
■ බඩ රිදුම.
මෙවැනි ආසාත්මිකතා රෝග ලක්ෂණ ඇති වූ අවස්ථාවකදී රෝගියා වහාම රෝහල වෙත රැගෙන ඒම අනිවාර්ය වන අතර එහිදී එන්නත් මගින් ඖෂධ ප්‍රතිකාර ලබාදිය යුතුය.
ප්‍රතිජීවක ආසාත්මිකතාවයක් ඇතිවන්නේ ඖෂධයේ තිබෙන ගැටලුවක් නිසාද?
නැහැ. එවැනි අවස්ථාවන්හිදී බොහෝ දෙනාගේ අනුමානය වී ඇත්තේ මෙම ඖෂධවල බාල ප්‍රමිතිය එහෙම නැත්නම් වැරදි මාත්‍රව ලබාදීම නිසා රෝගියා අනතුරට පත් වී ඇති බවයි.ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ලබාදුන්නේ නම් එය ලබාගන්නා සෑම රෝගියකුටම ආසාත්මිකතා ඇතිවිය යුතුයි.

නමුත් ආසාත්මිකතාවක් ඇතිවන්නේ ඖෂධයේ ගැටලුවකට වඩා රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එම ඖෂධය වෙනුවෙන් දක්වන ප්‍රතිචාරය හේතුවෙන්.
එම නිසා මෙය ඕනෑම ඖෂධයක් වෙනුවෙන් ඕනෑම රෝගියකුට ඇතිවිය හැකි අනපේක්ෂිත අතුරු ආබාධ තත්ත්වයක්.
රෝගියකුට ප්‍රතිකාර ලබාදීමේදී ප්‍රතිජීවක ඖෂධවලට අමතරව තවත් ඖෂධ එකවිට ලබාදෙන නිසා රෝගියා ආසාත්මිකතාවක් දැක්වූයේ ප්රතිජීවකවලට බව නිශ්චිත ලෙසින්ම හඳුනාගැනීම අපහසුයි.
මේ නිසා ප්‍රතිජීවක ආසාත්මිකතාවන් හඳුනාගැනීම සඳහා Skin prickTest පරීක්ෂණය යොදාගන්නවා. ඒ වගේම එක් වතාවක් ආසාත්මිකතාවක් ඇතිවුවහොත් ඒ මතක සෛල නිසා නැවත ඒ ප්‍රතිජීවකය ලබාගන්නා අවස්ථාවකදී ආසාත්මිකතා රෝග ඇතිවීමට පුළුවන්.
ආසාත්මිකතාව උග්‍ර වූ අවස්ථාවක මෙවැනි රෝගීන් හඳුනාගැනීමෙන් පසුව අපි ඔවුන් දැනුවත් කරනවා.ප්‍රතිකාර ලබාගන්නා සෑම අවස්ථාවකදීම වෛද්‍යවරයාට මෙම අසාත්මිකතාව ගැන දැනුම් දීම වැදගත්. ඒ වගේම අපි ඔවුන් වෙනුවෙන් ඇඩ්්‍රනලින් පෙන් එකක් ( Adreline pen ) ලබාදෙනවා.
එය පාවිච්චි කරන ආකාරය ගැනද රෝගියාට කියා දෙනවා. උග්‍ර ආසාත්මිකතාවක් දක්වන රෝගියකු ළග මේවා තබාගැනීම ඉතාම වැදගත්. එය ඉතා පහසුවෙන් එන්නත් කර ගන්න පුළුවන්. නමුත් එතැනින් නවතින්න බැහැ. ප්‍රතිකාර වෙනුවෙන් අනිවාර්යෙන්ම රෝහලට පැමිණීම වැදගත්.
ඖෂධ ආසාත්මිකතාවක රෝග ලක්ෂණ ඇතිවුවහොත් කළ යුත්තේ කුමක්ද?
ආසාත්මිකතාවක් ඇති වූ අවස්ථාවේදී ඔබ පාවිච්චි කළ සියලුම ඖෂධ සමග වෛද්‍යවරයා වෙත ගොස් එම ඖෂධ මොනවා දැයි සටහන් කරගන්න. ඔබ විසින් ලබාගත් ඖෂධ මොනවා දැයි වෛද්‍යවරයා විසින් හඳුනාගැනීම නිසා ප්‍රතිකාර කිරීම වඩාත් පහසු වන අතර කුමන ඖෂධය සඳහා ආසාත්මිකතාව ඇතිවුයේ දැයි හඳුනාගැනීමද පහසු වේවි.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️