කුඩා දරුවකුගේ අසනීප තත්ත්වයක් ඇති වුණොත් ඒ රෝග තත්ත්වය ක්ෂය රෝගය නිසා යැයි අනුමාන කිරීමට මව්පියන් කැමැති නැහැ. අපේ දරුවාට B.C.G. එන්නත ලබාදුන්නා. ඒ නිසා ක්ෂය රෝගය ඇතිවෙන්න බැහැ. දරුවකු උපත ලබා මුල් පැය 24 තුළ දරුවාට මුලින්ම ලබාදෙන B.C.G. එන්නත මගින් දරුවා ක්ෂය රෝග තත්ත්වයෙන් ආරක්ෂාව ලබාදෙන බව ඇත්තක්. නමුත් මෙම එන්නත මගින් ප්‍රධාන වශයෙන් ආරක්ෂාව ලබන්නේ වයස අවුරුදු පහට වඩා අඩු දරුවන්ටයි. ඔවුන්ට වැලඳෙන සංකුලතා සහිත ක්ෂය රෝගයෙන් ආරක්ෂා කිරීම මෙම එන්නත මගින් සිදුවෙනවා. ඒ නිසා ඔබේ දරුවාට මෙම එනන්ත ලබාදුන් පමණින් ඔහු හෝ ඇය ක්ෂය රෝග තත්ත්වයෙන් ආරක්ෂිතයි කියන්න ඔබට බැහැ.
ක්ෂය රෝගය ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවීමට පුළුවන්
ක්ෂය රෝගය දරුවාගේ විවිධ ස්ථානවල ඇති වෙන්න පුළුවන්. පෙනහළු, කුද්දටි,වකුගඩු, උදරය, බඩවැල් වගේම අස්ථි හා හන්දි වැනි ස්ථානවල ක්ෂය රෝගය ඇති වෙනවා. එමෙන්ම මොළයේ මෙනින්ජි පටලය ආශ්‍රිතව ඇතිවන රෝගයෙන් දරුවන් විවිධ ආබාධ තත්ත්වයන්ට පත්වීම වගේම ජීවිතයට පවා හානි සිදුවෙන්න පුළුවන්.
රෝග ලක්ෂණ මොනවාද?
දරුවන්ට වැළඳෙන ක්ෂය රෝග තත්ත්වයේදී ඔවුන් පෙන්වන රෝග ලක්ෂණ වැඩිහිටියන් වෙතින් දක්නට ලැබෙන රෝග ලක්ෂණවලට වඩා වෙනස්. වැඩිහිටි ක්ෂය රෝගින් අතර දක්නට ලැබෙන හවස් කාලයේදී ඇතිවෙන උණ, දහඩිය දැමීම, කැස්ස සහ මහන්සි ගතිය වැනි රෝග ලක්ෂණ දරුවන් වෙතින් දක්නට ලැබෙන හැකියාව අඩුයි. දරුවන් වෙතින් දක්නට ලැබෙන රෝග ලක්ෂණ කීපයක් ගැනත් සඳහන් කරන්න පුළුවන්.
■ දරුවාගේ වර්ධනයේ අඩුවක්
■ බර වැඩි නොවීම
■ විටින් විට උණ ඇතිවීම
■ ක්‍රියාශීලිත්වය අඩු වීම
■ ආහාර අරුචිය
■ කැස්ස
කුඩා දරුවකුට ක්ෂය රෝග තත්ත්වය ඇති වුණොත්
කුඩා දරුවෙකුට ඇතිවෙන ක්ෂය රෝග තත්ත්වය මොළයට බලපාන්න පුළුවන්. විශේෂයෙන් වයස අවුරුදු 2 ට වඩා අඩු දරුවකුට ක්ෂය රෝග තත්ත්වයක් ඇති වුණොත් ඇතිවන තද උණ නිසා සමහර අවස්ථාවලදී උණ වලිප්පු තත්ත්වය ඇති වීමට පුළුවන්. දරුවන්ට ක්ෂය රෝග තත්ත්වයක් ඇතිවුණොත් සෙම් පටල පරීක්ෂා කිරීමත් අපහසුයි.
දරුවන්ගේ සෙම පටල පරීක්ෂා කිරීම අපහසු ඇයි?
සෙම පටල පරීක්ෂා කිරීමෙන් ක්ෂය රෝග තත්ත්වය පිළිබඳව තහවුරු කරන්න පුළුවන්. නමුත් මෙතැනදී වැඩිහිටියන්ට සාපේක්ෂව බැලුවොත් දරුවන්ගේ සෙම පිටතට පැමිණීම අඩුයි. ඒ නිසා ඔවුන්ගේ සෙම සාම්පල ලබාගැනීමේ දී අඩුවක් තිබෙනවා. තවත් කරුණක් කිව්වොත් වැඩිහිටියන්ගේ සෙම සාම්පලයක තිබෙන බැක්ටීරියා ගහණය විශාල වුණත් දරුවකුගේ සෙම සාම්පලයක බැක්ටීරියා ගහණය අඩුයි. ඒ නිසා සාමාන්‍ය සෙම පටලයකින් දරුවකුගේ ක්ෂය රෝග තත්ත්වය නිශ්චය කිරීමේ යම් ප්‍රමාදයක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා රෝග ලක්ෂණ සියල්ල පරීක්ෂා කිරීමෙන් පසුව රුධිර පරීක්ෂණ, තවත් සායනික වාර්තාවන් ලබා ගැනීමෙන් පසුව රෝග තත්ත්වය ගැන තහවුරු කිරීම සිදුවෙනවා.
දරුවන්ට ක්ෂය රෝගය බෝ වෙන්නේ කොහොමද?
දරුවන් සම්බන්ධයෙන් සලකා බලන විට දරුවකුගෙන් දරුවකුට ක්ෂය රෝග තත්ත්වය බෝ වීමට තිබෙන අවස්ථාව අඩුයි. නමුත් වැඩිහිටියකුගෙන් දරුවෙකුට රෝග කාරක තත්ත්වය බෝ වීමට අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා ඔබ නිවසේ හෝ අසල්වැසි නිවසක ක්ෂය රෝගීයකු සිටිනවා නම් ක්ෂය රෝග තත්ත්වය ගැන පරීක්ෂා කරගැනීම වැදගත්. රෝග කාරක බැක්ටීරියාව ශරීරයට ඇතුළු වුණත් යම්කිසි කාල සීමාවක් (මාස කීපයක් හෝ අවුරුදු කීපයක් ) ගතවෙන තුරු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ.
මෙම බැක්ටීරියාව ශරීරගත වුණත් සිරුරේ අඩපණ බැක්ටීරියාවක් ලෙසින් සති හෝ මාස ගණනක් පවතිනවා. නමුත් බැක්ටීරියාව සජීවි නිසා අවුරුදු ගණනකින් පසුව වුණත් ක්‍රියාකාරී වීමේ අවදානමක් තිබෙනවා. කුඩා දරුවකුට වැඩිහිටියකුගන් බැක්ටීරියාව ශරීරගත වුණත් නිහඬව තිබී වසර ගණනකින් ක්‍රියාකාරී වීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා පවුලේ වැඩිහිටියෙක් ක්ෂය රෝගී ආසාදිතයෙක් යැයි පැමිණිලි කළොත් ඒ නිවසේ දරුවන් ගැනත් පරීක්ෂණ සිදුකරනවා.
එක්ස්රේ පරීක්ෂණයකින් පසුව දරුවා රෝගී තත්ත්වයට පත්වෙලා නැති බව තහවුරු වුණොත් අනාගතයේදී දරුවාට ක්ෂය රෝග තත්ත්වයෙන් ආරක්ෂාව ලබාදීමට අඛණ්ඩව මාස හයක් ඖෂධ ලබා දෙනවා. සමහර විට බැක්ටීරියාව අඩපණ තත්ත්වයේ තිබුණත් අනාගතයේදි ක්‍රියාකාරී වීමේ හැකියාව ඖෂධ මගින් අක්‍රිය කරනවා. ඒ වගේම මෙවැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් ඉතාම ඉක්මණින් පදිංචි ප්‍රදේශයේ ඇති ළය රෝග සායනයට යොමුවීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️