පාචනය අප කාටත් ඇති වී තිබෙන ඉතාම සුලබ රෝග තත්ත්වයක්. කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් පාචන රෝග තත්ත්වය ඇතිවනවා. ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසි අයුරින් සිදුනොවීම නිසා පාචනය රෝග තත්ත්වය ඇතිවන්න පුළුවන්. අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන් අතර පාචන රෝගීන්ගේ වාර්තා වීම වැඩියි.
පාචනයේ ප්‍රභේද මොනවාද?
■ උග්‍ර පාචනය (Acute Diarrhea) දියාරුවට මලපහ පිටවීම සිදුවේ. මෙය දින දෙක තුනක් පවතින, සමහර විට සුළු ප්රතිකාරවලින් සුවය ලැබෙන තත්ත්වයක්. මේ තත්ත්වය සිරුර විසින්ම සුව කරනවා. මෙහිදී ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ලවණ සහ දියර ලබාදීම අවශ්‍යයි.
■ නිරන්තර පාචනය (Persistent Diarrhea) සති දෙක තුනක් අඛණ්ඩව පවතින පාචනය.
■ නිදන්ගත පාචනය (Chronic Diarrhea) සති හතරකට වඩා හෝ දිගු කාලයක් පවතින පාචනය.
පාචනය ඇතිවීමට බලපාන හේතු මොනවාද?
ආසාදන – බැක්ටීරියා, වෛරස සහ පරපෝෂිතයන් වැනි ව්‍යාධි ජනකයන් නිසා පාචනය ඇති වේ. ඒ වගේම අඩු සෞඛ්යාරක්ෂිත ප්‍රදේශයන්හි සංචාරය කරන විටත් ඔබ ව්‍යාධිජනකයන්ට නිරාවරණය වීම නිසා පාචනය ඇතිවිය හැකියි. උදාහරණ – කොලරාව.
දරුවන් තුළ උග්‍ර පාචනය ඇතිවීමට බොහෝ හේතුවන්නේ Rotavirus වෛරසයයි.
ආහාර විෂ වීම- (Food poisoning) – E.coli, shegella සහ සැල්මොනැල්ලා යන බැක්ටීරියාවන් පාචන තත්ත්වය ඇතිකරනවා.දූෂිත ආහාරපාන නිසා හානිකර විෂ සංයෝග සහ රෝගකාරක බැක්ටීරියාවන් නිකුත් කරන විෂ සංයෝග ශරීරගත වීමට පුළුවන්. ඒවා අන්ත්‍රවලට සම්බන්ධ වුණ විට පාචන තත්ත්වය ඇතිවනවා.
ඇතැම් ඖෂධ
ඇතැම් ඖෂධ වර්ග පාවිච්චි කරන විටත් පාචනය තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. උදාහරණ ලෙස ප්‍රතිජීවක (Antibiotics) ඖෂධ මගින් අහිතකර බැක්ටීරියා වගේම හිතකර බැක්ටීරියාවන්ද විනාශ වෙනවා. පිළිකා ප්‍රතිකාර වෙනුවෙන් ලබාදෙන ඖෂධ වගේම පමණ ඉක්මවා අධි මාත්‍රාවකින් විරේක කාණ්ඩයේ ඖෂධ (Laxatives) ලබාගැනීම නිසාත් පාචනය ඇතිවීමට ඉඩ තිබෙනවා.
ජීරණ පද්ධතියට නොගැළපෙන ආහාර
සමහරවිට ඇතැම් අයට ලැක්ටෝස් අඩංගු ආහාර ජීරණයේ අපහසුතා ඇතිවිය හැකියි. මෙය කිරි ආශ්රිත ආහාර ගැනීමේදී සිදුවන තත්ත්වයක්.
බඩවැල්වලට බලපාන රෝග
මෙහිදී පාචන තත්ත්වය ඇතිවන්නේ බඩවැල්වල ඇතිවන ගැටලුවක් නිසායි. Crohn’s disease, ulcerative colitis සහ Irritable Bowel Syndrome (IBS) වැනි රෝග තත්ත්වයන්හි අතුරු සංකුලතාවක් ලෙසින්ද පාචනය ඇතිවීමට පුළුවන්.
බඩවැල්වල ක්‍රියාකාරීත්වය
බොහෝ රෝගීන්ට බඩවැල් ආශ්රිත ශල්‍යකර්මයකින් පසුව පාචන තත්ත්වයන් ඇතිවනවා. මෙවැනි රෝගීන්ට ඔවුන් අනුභව කරන ආහාර මගින් පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කරගැනීමට අපහසු අතර අපද්‍රව්‍ය මගින් ස්ථිර මලපහ නිෂ්පාදනයටත් යම් වැඩිපුර කාලයක් ගතවනවා.
පාචනයේ රෝග ලක්ෂණ
- උදරයේ ඇතිවන කැක්කුම
- උදරයේ සුළං පිරී ඇති බව දැනීම හෙවත් උදරයේ පිපීම
- ආහාර අරුචිය
- උණ
- දියාරුවට මල පිටවීම සහ වමනය
මේ තත්ත්වයන් දින තුනක් හෝ ඊට වඩා වැඩි කාලයක් පැවැතීමට පුළුවන්. මේ තත්ත්වය නිසා ආහාර මාර්ගයට ඇතුළු වූ විෂබීජ අපේ සිරුරින් ඉවත් වීම සිදුවනවා. නමුත් මේ තත්ත්වය වැඩි දින ගනණක් තිබීම නිසා ආහාර ජීරණ පද්ධතියේ බිඳවැටීම වගේම අනෙකුත් අවයවයන්ටත් එයින් බලපෑමක් ඇතිවීමට පුළුවන්.පාචනය නිසා රෝගියාගේ සිරුරේ ජලය සහ ලවණ වර්ග අඩුවනවා. තරුණ අය සම්බන්ධයෙන් මේ තත්ත්වය එතරම් ගැටලුවක් නොවුණත් කුඩා දරුවන් සහ වයෝවෘද්ධ පුද්ගලයන් ඉතා ඉක්මනින් විජලන තත්ත්වයට පත්වීමට පුළුවන්.
පාචනය බරපතළ වූ කල රෝග ලක්ෂණ මොනවාද?
- දිනකට වාර දහයකට වඩා බුරුලෙන් මල පිටවීම.
- පැය දහයකට වඩා වැඩි කාලයක් මුත්‍රා පිට නොවීම.
- හමේ වියළි බව.
- ඇස ගිලා බැසීම.
- නිදිමත.
- වේගයෙන් හෝ ඉතා සෙමින් හුස්ම ගැනීම.
- දිව සහ තොල කට වියළීම.
- කුඩා දරුවන්ගේ නම් තෙල් වළ ඇතුළට එබී තිබීම.ඒ වගේම මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි
- තදබල ලෙස බඩ බුරුල්ව යෑම නිසා වැඩි දියර ප්‍රමාණයක් සිරුරෙන් පිටවීම
- කිසිදු ආහාරයක් නොගෙන සිටීම
- මල සමග රුධිරය හෝ ශ්ලේෂ්මල පිටවීම
ආහාර ජීරණ පද්ධතියට අයත් මහා අන්ත්‍ර මගින් දේහයට අවශ්‍ය ජලය අවශෝෂණය කරනු ලබනවා. පාචන රෝග තත්ත්වයට බලපාන හේතුකාරකයන් නිසා ආහාර ජීරණ ක්‍රියාවලිය නිසියාකාරව සිදුවන්නේ නැහැ. ඒ නිසා ආහාරවල තරලමය ස්වභාවය වැඩිවීමක් දකින්න ලැබෙනවා. මේ නිසා මලපහ තරලමය ස්වභාවයකින් නිෂ්පාදනය වන අතර ජීරණ ක්‍රියාවලිය නිසි පරිදි සිදුනොවීම නිසා ඉක්මණින් මලපහ කිරීමේ අවශ්‍යතාව ඇතිවනවා.
පාචන රෝගියකු නිරීක්ෂණය කිරීමෙන් පාචනයට හේතුකාරක වෛරසය හෝ බැක්ටීරියාව හඳුනාගැනීමට පුළුවන්. රෝගියා විසින් මේ වනවිට ලබාගන්නා ඖෂධ ගැනත් සොයා බලන අතර වැඩිදුරටත් පරික්ෂණ අවශ්‍ය නම් රුධිර සාම්පල සහ මල (Stool Test) සාම්පල පරීක්ෂා කිරීමත් සිදුවනවා. රුධිර පරීක්ෂණ වාර්තාවකින් රසායනාගාර පරීක්ෂණ මගින් ලබාගත් වාර්තාවන් අනුව රෝගියාට ලබාදිය යුතු ප්‍රතිකාර තීරණය කරනවා.
සමහර විට එය ඖෂධීය ප්‍රතිකාර විය හැකියි. ආහාර මාර්ගය ආශ්රිත ක්ෂුද්‍ර ජීවි ප්‍රභේදය විනාශ කිරීම වෙනුවෙන් වූ ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදුවනවවා. ඇතැම් විට අභ්‍යන්තර අවයවන්ට උග්‍ර ලෙසින් බලපෑමක් ඇති වී තිබේ නම් ශල්‍යමය ප්‍රතිකාර වෙනුවෙනුත් යොමුවීමට සිදුවනවා.
රෝගියාට බාහිරව දියර ලබාදීම
විජලනයට පත් රෝගියකු වෙනුවෙන් ශරීරයෙන් පිට වූ දියර ප්‍රමාණය සේලයින් මාර්ගයෙන් ලබාදෙනවා. ඊට අමතරව ජීවනී (Oral Rehydration Solution) නම් ලවණ සහ ග්ලූකෝස් අඩංගු පානය ඉතාම සුදුසුයි. මෙය නිවසේදී ජලය වෙනුවට පහසුවෙන් ලබාදිය හැකියි.
පාචනය වළක්වා ගැනීමට නම්…
- වැසිකිළි යැමෙන් පසුව අත් හොඳින් සෝදාගන්න
- මස් වර්ග හොඳින් පිස ආහාරයට ගන්න
- ජලය හොඳින් උණුකර පානය කරන්න
- පිසින ලද ආහාර, අනුභව කරන තෙක් වසා තබන්න.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️