ජලභීතිකාව වැළඳුණොත් එය මාරාන්තික තත්ත්වයක්. ඒ වගේම සුව කරගැනීම අපහසුයි. Rhabdoviridae ගණයට අයත් වෛරසයකින් ඇතිවන ජලභීතිකා රෝගයේ වාහකයා බල්ලා පමණක් නොවේ. බළලා, නරියා, වඳුරා, මුගටියා, දඬුලේනා, උගුඩුවා වැනි ක්ෂිරපායි සතුන්ගෙන්ද ජලභීතිකාව බෝවීමට තිබෙන අවස්ථාව ඉහළයි. මෙම වෛරසය ස්නායු ඔස්සේ ගොස් මොළයේ වර්ධනය වී එතැනින් පසුව ආසාදිත සත්වයාගේ අනෙකුත් ඉන්ද්‍රියන්ටත් පැතිරෙනවා. සත්වයෙක් සපා කෑමේදී කෙළවල ඇති වෛරසය ඉතා පහසුවෙන් නීරෝගී පුද්ගලයකුගේ ශරීරයට ඇතුළත් වෙනවා.
වෛරස ආසාදිත සත්වයාගේ කෙළ පුද්ගලයකුගේ ශ්ලේෂ්මල පටලවල තැවරුණොත් රෝගකාරක වෛරසය ශරීරගත වීමට වැඩි ඉඩක් තිබෙනවා.
ජලභීතිකාව වැළඳුණ හැම සුනඛයෙක්ම ආවේගශීලී නැහැ…
අපේ වචනයෙන් කිවහොත් ‘පිස්සු බලු රෝගය’ වැළඳුණ හැම බල්ලෙක්ම රෞද්‍ර විදිහට හැසිරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අප සිතන අන්දමින් කලබලකාරී හැසිරීම සහ දකින දකින අය සපා කෑමක් නැති ජලභීතිකා වෛරස ආසාදිත සත්වයන් සිටිනවා. ඒ නිසා ආවේශීලි නොවුණත් ජලභිතිකා ආසාදිත සුනඛයන් අප අතරේ සිටින බවත් අමතක කළ යුතු නැහැ.
රෝගය වැළඳුණ සුනඛයකු හඳුනාගන්නේ කෙසේද?
- ක්‍රියාශීලීත්වයක් නැතුව පැත්තකට වී සිටීම
- උණ
- වමනය
- පිටුපස ප්‍රදේශය අප්‍රාණික වීම
- උගුරේ මාංශපේශි සංකෝචනය වීම නිසා බුරන ශබ්දය වෙනස් වීම
- උගුර යටින් ශබ්ද කිරීම
- වතුර බීම අපහසු වීම
- සුළංවලට කලබලකාරී හැසිරීමක් පෙන්වීම
බල්ලෙක් සපා කෑවොත් ?
සපා කෑ ස්ථානය සර්ජිකල් ස්ප්‍රිතු වැනි මද්‍යසාර ද්‍රාවණයක් යොදාගෙන විනාඩි පහක්වත් ගලාගෙන යන ජලයෙන් සෝදන්න. මෙම ප්‍රතිකාරය පමණක් ප්‍රමාණවත් නොවුණත් වෛරසය ඉවත් කරගැනීමට මේ අන්දමින් සේදීම සුදුසුයි. අයඩින් හෝ මද්‍යසාර ද්‍රාවණයක් නිවසේ ඇත්නම් එය තුවාල ප්‍රදේශයේ තවරන්න. ඉන් වෛරසය තවදුරටත් ඉවත් වෙනවා.
බල්ලෙක් සපා කෑවොත් එන්නත් ලබාගත යුතුද?
බල්ලෙක් සපා කෑමෙන් පසුව එන්නත් ලබාදීම වෛද්‍යවරයාගේ තීරණය අනුව සිදුවනවා. එන්නත් නිර්දේශ කිරීමට පෙරාතුව අදාළ වෛද්‍යවරයා විසින් සපා කෑ තුවාලය පිළිබඳව නිරීක්ෂණයක් සිදුකරනවා.
■ සපා කෑ ස්ථානය
■ තුවාලයේ ස්වභාවය
■ තුවාලයේ ගැඹුර
■ සපා කෑම් කීයක්ද
■ සපා කන ලද සත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය
■ සුනඛයා එන්නත් කර තිබේද?
■ එහි වලංගු කාලය වැනි බොහෝ කරුණු සලකා බලනවා.
සුනඛයා එන්නත් කළ බව තහවුරු කරගැනීම…
සපා කන ලද සුනඛයා එන්නත් කර ඇතැයි අයිතිකරු සඳහන් කළත් එයින් සෑහීමට පත් නොවන්න. බල්ලාගේ එන්නත් සටහන් කරන ලද කාඩ්පත රැගෙන යෑම ඉතා වැදගත්. ඒ අනුව බල්ලාට නියමිත එන්නත් ලබා දී තිබීම, අදාළ එන්නත් මාත්‍රාව සහ වලංගු කාලය සලකා බැලීමට පුළුවන්. හදිසියේ හෝ සපා කන ලද සුනඛයාගේ ඉතිහාසය ගැන සටහන් ඇති කාඩ්පතක් නොමැති වුණොත් ඒ ගැන සොයමින් ප්‍රමාද නොවන්න. ප්‍රතිකාර ලබාගැනීම වඩාත් ඉක්මන් විය යුතු නිසා කාඩ්පත සොයමින් ප්‍රමාද නොවීම වැදගත්. බල්ලාගේ කාඩ්පත නොමැති වීම ප්‍රතිකාර ලබාගැනීමට බාධාවක් නොවේ.
බීජාවශෝෂණ සමය
වෛරස ආසාදිත සතෙකුගේ හපා කෑමෙන් පසු එම වෛරසය ශරීරගත වූ පුද්ගලයකුගෙන් රෝග ලක්ෂණ පහළ වීමට පුළුවන්. එය සති තුනක් අතර වුණත් දින හතරක් පමණ කෙටි වීමට හෝ මාස ගණනක් තරම් දිගු වීමටත් පුළුවන්. එම නිසා ඔබ සපා කෑමකට ලක් වී මාස ගණනාවක් ගත වුණත් යම් හේතුවකින් මෙතෙක් ප්‍රතිකාර සඳහා යොමු නොවී තිබේ නම් ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාම වැදගත්. ඒ වගේම ඉක්මනින්ම ප්‍රතිකාර වෙත යොමුවීමත් වැදගත්.
වෛරස ආසාදිත රෝගී පුද්ගලයකුගේ රෝග ලක්ෂණ මොනවාද?
- සපා කෑ ස්ථානයේ හිරිවැටීම වැනි ලක්ෂණ
- උණ, හිසරදය
- ගිලීමේ අපහසුව
- සුළං හමන විට අපහසුව
- නිතර නිතර කලබල වීම
- කම්පනය
- ඇවිදීමේ අපහසුව
සපා කෑ සතා නිරීක්ෂණය
බල්ලෙකු සපා කෑ විට එම සත්වයා වෛරස ආසාදිතයකුදැයි තහවුරු කරගැනීමට දින 14 ක කාලයක් තුළ සත්වයාගේ යම්කිසි වෙනසක් පෙන්නුම් කරනවාදැයි නිරීක්ෂණය විය යුතු වෙනවා. මේ කාලය තුළදී සතා මියගියහොත් වහාම එම සතාගේ හිස ජලභීතිකා රෝගය තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා යොමුකළ යුතුයි. ඒ වගේම මෙම කාලය තුළදී සත්වයා අතුරුදහන් වුණොත් ඒ බවත් ඔබ සේවාව ලබාගත් රෝහලට දැනුම් දෙන්න.
බොහෝ දෙනෙක් බල්ලෙක් සපා කෑ පසුව සතා නීරෝගීව සිටින නිසා එන්නත් ලබාගැනීම අතපසු කරනවා. එහෙත් බල්ලෙකු සපා කෑවා නම් ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත්. මෙහිදී ඔබට ලබාදෙන එන්නත් වේල් සතර (පළමු දින, දින තුන, දින 7 සහ දින 28) නොවරදවාම ලබාගන්න. සපා කෑ සතා නිරෝගීව සිටියොත් 28 වැනි දිනයේදී ලබාදෙන එන්නත ලබාදෙන්නේ නැහැ. සුනඛයෙක් සපා කෑමෙන් පසුව ඒ අවස්ථාවේදී අතපසු වුණත් හැකි ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමෙන් ජලභීතිකා රෝගයෙන් ඔබ ආරක්ෂා වනු ඇත.
වෙනුවෙන් සුනඛයන් එන්නත් කිරීම…
ජලභීතිකාවෙන් ආරක්ෂාව ලැබීමට නම් මුලින්ම කළ යුතු සහ කළ හැකි එකම දෙය ගෙවැසි සුරතලා වෙනුවෙන් Anti Rabies Vaccination ප්‍රතිශක්තිය ලබාදීිමයි. ඉතිහාසය නොදන්නා බලු පැටවකු නම් ඇස් ඇරිය දවසේ මෙම එන්නත ලබාදීම වැදගත්. එතැනින් පසුව මාස තුන, අවුරුද්ද අතර පරතරයකින් එන්නත් කිරීම වගේම වසරක් පාසාම මෙම එන්නත ලබාදීම වැදගත්. මෙම එන්නත ලබාගැනීම පිළිබඳව පළාත් පාලන ආයතන සහ පළාත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මගින් ජනතාව දැනුවත් කරනු ඇත.
බොහෝ අය බල්ලන් නිවසේ ආරක්ෂාවට ඇතිදැඩි කරන නිසා සුනඛයාගෙන් රෞද්‍ර ගති පැවැතුම් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සපා කෑම් වැඩිවීම, සපා කෑම්වලින් ආරක්ෂා වීම, සපා කන බල්ලන්ගේ හැසිරීම් ගැන අවබෝධයෙන් කටයුතු කිරීමෙන් සපා කෑම් වළක්වා ගැනීමට පුළුවන්.
බල්ලන්ටත් මුල් අයිතිකරුවෙක් සිටිනවා. නිවසේ බැල්ලිය පැටවු ලද විට ගෙහිමියන් කරන්නේ අතිරික්ත පැටවුන් මහපාරට දමන එක. හව්හරණක් නැති මේ සතුන් අයාලේ හැසිරෙමින් ආහාර සොයාගෙන ජිවත්වනවා. ඒ වගේම අයාලේ යන බල්ලන්ට එන්නත් ලබාදීමට වගකිවයුත්තෙක් නැහැ. නමුත් අයාලේ යන සතුන් එන්නත් කිරීම සෞඛ්‍ය අමාත්‍යයාංශය මගින් සිදුකරනවා. අයාලේ යන හැම සතෙක්ම එන්නත් කිරීමට ප්‍රායෝගික වශයෙන් අපහසුතාවන් තිබෙනවා. විශේෂයෙන්ම එන්නත් කරන අවස්ථාවේදී එම සතුන් සොයාගැනීමට නොසිටියහොත් ඔවුන්ගෙන් රෝගය පැතිරෙනවා.
මංමාවත්වල ආහාර, අපද්‍රව්‍ය දැමීම – බොහෝ තැන්වල ඉවතලන ආහාර බැහැර කරන නිසා, බල්ලන් එම ස්ථානයන්හි ගැවසීම වැඩිවනවා. ඒ අතරම ඔවුන්ගේ ගහණයත් වැඩිවීම සමග සපා කෑම් ඉහළ යෑමට පුළුවන්.ජලභීතිකා රෝග තත්ත්වය මාරාන්තික වුණත් එය වළක්වා ගැනීම අපහසු නැහැ. සුනඛයන් ඇතිකරනවා නම් අදාළ එන්නත් මාත්‍රවන් කාල අන්තරයට අනුව ලබාදීම වැදගත්. ඒ වගේම සතෙකු සපා කෑ විට ප්‍රතිකාර ලබාගැනීම කල් තබන්න එපා. ඔබේ පැත්තෙන් ලැබෙන දායකත්වය නොඅඩුව ලැබෙන්නේ නම් එය ජලභීතිකාව නිසා මරණයට පත්වන සුනඛයන් වගේම, මිනිසුන් ගේ ජීවිතත් ආරක්ෂා කරගැනීමට විශාල සහයෝගයක් බැව් කිව යුතුය.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️