නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සෑම තත්පර 24කට වරක්ම මාර්ග අනතුරු නිසා ලෝකයේ කෙනෙකු මියයනවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

සෑම තත්පර 24කට වරක්ම මාර්ග අනතුරු නිසා ලෝකයේ කෙනෙකු මියයනවා

Published November 25, 2024
සෑම වසරකම නොවැම්බර් මාසයේ 03 වැනි ඉරිදා දිනය හදිසි අනතුරුවලට ලක්වූ වින්දිතයන් සැමරීමේ ජාත්‍යන්තර දිනය වශයෙන් නම් කර තිබෙනවා. මෙම දිනය එක්සත් ජාතින්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර දිනයක්.මෙවර ශ්‍රී ලංකා ජාතික රෝහලේ අපි නොවැම්බර් 23 වැනි සෙනසුරාදා හදිසි අනතුරුවලට ලක්වූ වින්දිතයන් සැමරීමේ ජාත්‍යන්තර දිනය සමරනු ලබනවා.

හදිසි අනතුරුවලට ලක්වූ වින්දිතයන් සැමරීමේ ජාත්‍යන්තර දිනයේ අරමුණු මොනවාද?

සෑම තත්පර 24 කට වරක්ම මාර්ග අනතුරු නිසා ලෝකයේ කෙනෙකු මියයනවා. එය අපේ රටේ දිනකට පුද්ගලයන් 6 ත් – 8 ත් අතර ප්‍රමාණයක මියයෑමක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙය අතිශයින්ම බරපතළ සහ කණගාටුදායක තත්ත්වයක්.එපමණක් නොව හදිසි අනතුරු නිසා තවත් පිරිසක් තාවකාලිකව හෝ සදාකාලික ආබාධිත තත්ත්වයටත් පත් වෙනවා.

ඒ නිසාම හදිසි අනතුරුවලට ලක්වූ වින්දිතයන් සැමරීමේ ජාත්‍යන්තර දිනයේදී මේ පිළිබඳව සමාජය දැනුවත් කළ යුතු යැයි ශ්‍රී ලංකා ජාතික රෝහල ලෙස අපි සිතුවා. එලෙස දැනුවත් කිරීම අංශ පහක් යටතේ සිදු කරන්න අපි පෙලඹුණා. එය හදිසි අනතුරුවලට ලක්වුණු පුද්ගලයන් සිහිපත් කිරීමේ දිනයකට සීමා කරන්නට අපට වුවමනාවක් නැහැ.

■ හදිසි අනතුරු නිසා බරපතළ තුවාල ලත් අය සහ මරණයට පත් අය සිහිපත් කිරීම.

■ හදිසි අනතුරුවලට පත් පුද්ගලයන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇගයීම.

■ හදිසි අනතුරු සම්බන්ධයෙන් පවතින නීතිය වඩා ශක්තිමත් කිරීමට බලකිරීම.

■ හදිසි අනතුරුවලට ලක්වුණ අය සහ ඔවුන්ගේ පවුල්වල අයට වඩා හොඳ සහයෝගයක් ලබාදීම.

■ හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා දත්ත මත පදනම් වූ ක්‍රියාවලියක් සකස් කිරීම.

හදිසි අනතුරකට ලක් වූ පුද්ගලයකුට ප්‍රතිකාර කිරීමේදී ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ සූදානම කෙබඳුද?

හදිසි අනතුරකට ලක්වූ රෝගියෙක් සාමාන්‍යයෙන් ඕනෑම රෝහලක් වෙත ගෙන එනු ලබන්නේ ගිලන් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින්.ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයටත් රෝගීන් රැගෙන එන්නේ එලෙසටමයි. එවැනි ඕනෑම අවස්ථාවකදී අපේ හෙද කාර්ය මණ්ඩලය එම රෝගියා බාරගන්නවා. ඒ වගේම හැකි ඉක්මනින් එම රෝගියාගේ අනතුරේ තත්ත්වය හඳුනාගන්නවා. ඒ හඳුනා ගැනීම මත රෝගීන් වර්ගීකරණය කරනවා.

එම රෝගීන් වර්ගීකරණය කරන්නේ කෙසේද?

අපේ පළපුරුදු හෙද කාර්ය මණ්ඩලය හදිසි අනතුරු අංශයට ඇතුළත් කරන රෝගීන්ගේ අනතුරේ ස්වාභාවය අනුව මද අවදානම් මට්ටම, මධ්‍යම අවදානම් මට්ටම සහ දරුණු අවදානම් මට්ටම යනුවෙන් රෝගීන් වර්ගීකරණය කරනු ලබනවා. එලෙස වර්ගීකරණය කිරීමේදී රෝගියාගේ තුවාලයේ ස්වාභාවය, රුධිර වහනය, රෝගියාගේ කතා කිරීමේ හැකියාව, සිහි කල්පනාව වැනි කාරණා හෙද කාර්ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලබනවා.

ඒ අනුව අපි ඔවුන් අදාළ ඒකකවලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනවා. දරුණු අවදානම් මට්ටමට වර්ග කරන රෝගීන් ඉතා ඉක්මණින් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරමින් ක්ෂණික ප්‍රතිකාර ලබාදීම අරම්භ කරනවා. ඇතැම් විට රෝගීන්ගේ බරපතළ තත්ත්වයන් බාහිරව නොපෙනුණත් රෝගියාගේ අභ්‍යන්තර තත්ත්වය බරපතළ යැයි තේරුම් ගිය විට ඔවුන් එවැනි අවස්ථාවලදි හදිසි ප්‍රතිකාර ඒකකවලට ඉක්මණින් ඇතුළත් කරනවා.

ඉන්පසු රෝගීන්ගේ ඉදිරි ප්‍රතිකාර සිදුවන්නේ කෙසේද?

හදිසි අනතුරකට මුහුණදී රෝගීයකු ඇතුළත් කළ සැනින් හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරු, හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වහාම අදාළ ප්‍රතිකාර ලබාදීම සඳහා සහයෝගය ලබාදෙනවා. ඒ සඳහා හොඳ සූදානමක් ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැය 24 පුරාම තිබෙනවා. සේවයේ සිටින වෛද්‍යවරුන් විසින් සියලුම මූලික ප්‍රතිකාර සහ පරීක්ෂණ වාර්තා (එක්ස් රේ පරීක්ෂණ, උදරයේ ස්කෑන් පරීක්ෂණ, MRI සහ CT වැනි පරීක්ෂණ) ලබාගනිමින් රෝගීයාගේ අනතුරේ ස්වාභාවය විශ්ලේෂණය කරනු ලබනවා.

හදිසි අනතුරු අංශයට රෝගීයකු ඇතුළත් කළවිට ඔවුන් සහ භාරකරුවන් හැසිරිය යුත්තේ කෙසේද ?

බොහෝවිට හදිසි අනතුරක් වූ වහාම රෝගියා සමඟ පැමිණෙන පිරිස හැසිරෙන්නේ කලබලකාරී ස්වරූපයෙන්. ඇතැම්විට ඔවුන් ආවේගශීලියි. එවැනි හැසිරීමක් ඇතිවූ විට හදිසි අනතුරු අංශයේ කාර්ය මණ්ඩලයට එය පාලනය කරගැනීම සඳහා තවත් කාලයක් වැය කිරීමට සිදුවෙනවා. අපිට රෝගියාගේ ජීවිතය ගැන ලොකු වගකීමක් තිබෙනවා. ඒ නිසා පැමිණෙන අයගේ සහයෝගය අපට අවශ්‍යයි. සමහර විට එන්නේ රෝගියා විතරයි. ඔවුන්ගේ පවුලේ උදවියට ආරංචිය යන්නේ පසුවයි. මේ වගේ අවස්ථාවක

රෝගියා ගැන ඉතිහාසය දැන ගැනීමත් ගැටලුවක්. ඒ නිසා පැමිණෙන අයට සන්සුන්ව සිටින්න යැයි අපි උපදෙස් දෙනවා. ඒ වගේම රෝගියාගේ තත්ත්වය ගැන වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව වෛද්‍යවරුන් අදාළ අයව දැනුවත් කරනවා. ඒ නිසා ඔවුන් රෝහල් පරිසරය තුළ අනවශ්‍ය කලබලයක් ඇතිකිරීම ප්‍රතිකාර ප්‍රමාදයට හේතුවක්.

හදිසි අනතුරුවලින් ආරක්ෂාවීමට ඔබ විසින් සමාජයට ලබාදෙන පණිවුඩය කුමක්ද?

  • පුරවැසියන් වශයෙන් මාර්ග නීති පිළිපදින්න.
  • වාහන පදවනවිට සීට් බෙල්ට් පළඳින්න.
  • මෝටර් බයිසිකලය පදවනවිට හෙල්මටය ලොක් කර පළඳින්න.
  • වාහනවල වේගය සීමා කරන්න.
  • බීමත්ව රිය පදවන්න එපා.
  • නිදි වර්ජිතව රිය පැදවීමෙන් වළකින්න.
  • රිය පදවන විට ජංගම දුරකථනය භාවිත නොකරන්න
  • රෝගියා සුරක්ෂිතව රැගෙන ඒම සඳහා සැමවිටම 1990 ගිලන් රථ සේවාව භාවිත කරන්න.

රෝගියා හදිසි අනතුරු අංශයට ඇතුළත් කළවිට වහාම වෛද්‍යවරුන්ගේ කාර්යභාරය කුමක්ද?

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රෝගියකු රැගෙන ආ පසුව හෙද කාර්ය මණ්ඩලය විසින් එම රෝගියා පිළිගෙන රෝගියාගේ අනතුරේ ස්වභාවය අනුව ඔවුන්ව රතු, කහ සහ කොළ යනුවෙන් වර්ග කිරීමක් සිදු කරනවා. එහිදී හදිසි ප්‍රතිකාර ලබා දියයුතු රෝගීන් රතු වර්ණයෙනුත්, මද වේලාවක් තුළ ප්‍රතිකාර ලබා දියයුතු රෝගීන් කහ වර්ණයෙනුත් යම් වේලාවක් රැඳී සිටිය හැකි රෝගීන් කොළ වර්ණයෙනුත් වර්ග කරනවා.

ඉතාම හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් හෙවත් රතු වර්ණයෙන් නම් කරන රෝගීන් වහාම ප්‍රතිජීවන ඒකකය (R room) ට ඇතුළත් කර හදිසි අවස්ථාවක් දැනුම් දීමේ සීනුව නාද කිරීමෙන් ඒ බව දැනගන්නා වෛද්‍ය, හෙද සහ සෞඛ්‍ය කාර්ය සහාය ඇතුළු කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වෙමින් රෝගියා වෙනුවෙන් ප්‍රතිකාර ආරම්භ කරනවා.

මද වේලාවක් තුළ ප්‍රතිකාර ලබා දියයුතු හෙවත් කහ වර්ණයෙන් වර්ග කරන ලද රෝගීන් හෙද කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය මත වෛද්‍යවරුන් වෙත යොමු කරනවා.

රෝගියාගේ සියලුම වෛද්‍ය වාර්තා ලබාගෙන ඉන්පසුව අදාළ වාර්තාවන්ට අනුව අවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ඔවුන් යොමු කරනවා.කොළ වර්ණයෙන් වර්ග කරන ලද රෝගීන් මද වේලාවක් රැඳී සිටියත් අදාළ වෛද්‍ය පරීක්ෂණවලින් රෝගියාගේ තත්ත්වය හඳුනාගෙන ගැටලුවක් නොමැතිනම් ප්‍රතිකාර ලබා දී නිවස වෙත යොමු කරනවා.

හදිසි අනතුරක් සිදුවුණ අවස්ථාවක රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට ප්‍රමාණවත් වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සිටිනවාද?

ඔව්. හදිසි අනතුරු අංශයේ නිරන්තරයෙන් සේවා මුර ක්‍රමයට උදේ 8 – 2, සවස 2 – 8 සහ රාත්‍රි 8 – උදේ 8 දක්වා වෛද්‍යවරුන් පස් දෙනෙක් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සේවය කරනවා. සෑමවිටම අපගේ වෛද්‍යවරුන් රෝගියාව මානසික අස්වැසීමක් කරමින් ඔවුන් වෙනුවෙන් හොඳම ප්‍රතිකාර ලබාදීමට කැපවෙන කණ්ඩායමක්.

හරින්දී ලියනගේ ✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025

හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තිබෙනවා නම් චිකුන්ගුන්යා විය හැකියි වහාම ප්‍රතිකාර ගන්න

May 12, 2025

Full Blood Count එකකින් කියවෙන්නේ මොනවද

May 12, 2025

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?