හදිසි අනතුරු කොහොම, කොතැන, කවුරු මුහුණ දුන්නත් එයින් වෙන හොඳක් නම් අපි මෙතෙක් අහලත් නැහැ, දැකලත් නැහැ. ඒ නිසා හදිසි අනතුරු බොහොමයක් හරියට කල්පනා කරල බැලුවොත් අපට වළක්වා ගන්න තිබුණු ඒවා. එහි බරපතළම තත්ත්වය තමයි ශ්‍රී ලංකාවේ වැඩිපුරම හදිසි අනතුරුවලට ලක්වෙන්නේ රටේ සංවර්ධනයට සෘජුවම හෝ වක්‍රව දායක වන තාරුණ්‍යය වීම. හදිසි අනතුරකට ලක්වන පුද්ගලයා ජීවිතයෙන් වන්දි ගෙවනවා වගේම ඔවුන්ගේ පවුල්වල අය පමණක් නෙවෙයි රටේ සෞඛ්‍ය පද්ධතියත් රටේ ආර්ථිකයත් යම් ප්‍රමාණයක අවධානමකට මේ අනතුරු නිසා ලක්වෙනවා. ඒ නිසා හදිසි අනතුරු වළක්වා ගැනීම පිළිබඳව අප රටක් වශයෙන්, ජාතියක් වශයෙන් විතරක් නෙමෙයි තනි තනි පුද්ගලයා වශයෙන්ද මීට වඩා සැලකිලිමත් විය යුතුමයි.
හදිසි අනතුරකදි උදරයට යම් අනතුරක් සිදුවුණහොත් ඒ ගැන දැනගන්න ක්‍රමයක් තිබෙනවද?
ඇත්තටම ඒ ගැන දැනගන්න ටිකක් අපහසු කාර්යක්. ඒ ගැන දැනගන්න අපිට පොඩි පොඩි ක්‍රම කිහිපයක් පෙන්වලා දෙන්න පුළුවන්.
■ බඩේ ඉදිමුමක් තියෙනවා නම්,
■ රෝගියා බඩේ කැක්කුමක් ඇති බව පවසනවා නම්,
■ බඩ ආශ්‍රිතව තැල්මක්, සීරීමක්, රුධිර වහනයක් හෝ පිටතට පෙනෙන තුවාලයක් තියෙනවා නම්, රෝගියාගේ උදරයට හානියක් සිදුවී ඇති බව දැනගන්න පුළුවන්.
ඒ වගේම අනිත් කාරණාව තමයි රෝගියාගේ රුධිර පීඩනය පහළ නම් ඒ මඟිනුත් කියවෙන්නේ රෝගියාගේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවන බවයි. තවත් රෝගියාගේ මුත්‍රා සමඟ රුධිරය පිටවීමක් හෝ ගුද මාර්ගය ආශ්‍රිතව රුධිර වහනයක් වෙනවා නම් උදර කුහරය ඇතුළත රුධිර වහනය වීමක් හෝ රෝගියාගේ බඩවැල ආශ්‍රිතව රුධිර වහනයක් වන බව අනුමාන කරන්න පුළුවන්.
හදිසි අනතුරකදි උදරයට හානි සිදුවූ විට උදර කුහරයේ කුමන අවයවවලට හානිවිය හැකිද ?
අපේ උදර කුහරය ගත්තොතින් එහි අවයව කිහිපයක් හඳුනගන්න පුළුවන්. දකුණුපස ඉහළින් අක්මාව පිහිටා තිබෙනවා. අක්මාව කියන්නෙ මිනිස් සිරුරේ විශාල ඉන්ද්‍රියක් වගේම විශාලම ග්‍රන්ථිය. ඉතින් හදිසි අනතුරකදී මේ අක්මාවට ප්‍රධාන වශයෙන්ම හානි වෙන්න පුළුවන්. ඒ වගේම වම් පැත්තට වෙන්න පිහිටා තිබෙන ප්ලීහාවට හානි වෙන්නත් පුළුවන්.
ඊටත් අමතරව මුත්‍රාශය, අග්න්‍යාශය, මහා බඩවැල් සහ කුඩා බඩවැල් වැනි උදර කුහරය තුළ තිබෙන ඕනෑම අවයවයකට හදිසි අනතුරක් නිසා හානි වෙන්න පුළුවන්. නමුත් අපි ප්‍රධාන වශයෙන් දකින්නේ අක්මාවට සහ ප්ලීහාවට සිදුවන අනතුරු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් වෙන බවයි.
එය රෝගීන්ගෙන් 5% – 10% ක් අතර ප්‍රමාණයක් ලෙස හඳුනාගන්න පුළුවන්. ඊට අමතරව උදර කුහරය ඇතුළත පවතින ප්‍රධාන රුධිර නාලවලට සහ උදර කුහරය පිටුපස පිහිටා ඇති වකුගඩුවලටත් හානි වූ අවස්ථා අපි දැක තිබෙනවා. මේ අනුව බලන කළ උදර කුහරය ඇතුළත තිබෙන ඕනෑම අවයවයකට හදිසි අනතුරකදි හානි වෙන්න පුළුවන්.
එවැනි රෝගියකු දුටුවොත් ක්ෂණිකව ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?
හදිසි අනතුරක් ඇති වුණාම ලබාදෙන්න පුළුවන් ප්‍රථමාධාර එහෙම නැත්නම් අපි කියන ATL Protocol (Adance Trauma Lifesupport) අනුගමනය කළ හැකියි. එතැනදි අපි මුලින්ම කරන්නේ රෝගියාට හුස්ම ගැනීමේ පහසුව ඇති කිරීමයි. ඉන් පසුව ළඟම තියෙන රෝහලට හෝ ශල්‍යාගාර පහසුකමක් පවතින තැනකට වහාම රෝගීයා රැගෙන යා යුතුයි. මෙහිදී වැදගත්ම කාරණය වෙන්නේ ප්‍රධාන මාර්ගයක සිදුවන අනතුරක් නම් ළඟම තියෙන ප්‍රධාන රෝහලට රෝගියාව ඇතුළත් කිරීමෙන් නාස්ති වන වටිනාම කාලය ඉතිරි කර ගැනීමයි.
උදරයට අනතුරක් වූ රෝගියකු ප්‍රවාහනය කිරිමේදී සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?
ඇත්තටම හදිසි අනතුරකදී රෝගියෙක් ප්‍රවාහනය කළ යුතු ආකාරයට අදාළ මාර්ගෝපදේශයන් අපට තියෙනවා. ඒ මාර්ග උපදේශයෙන් ඒ ආකාරයෙන්ම අනුගමනය කළ යුතු වෙනවා. එහිදී,
■ රෝගියාගේ කශේරුකාව නොසෙල්වෙන ආකාරයට පැතලි ස්ථරයක රෝගියා තබා ප්‍රවාහනය කිරීම,
■ රෝගියා ප්‍රවාහනය කිරීමේදී හැකියාවක් තිබෙනවා නම් සේලයින් ලබාදීම,
■ එක් රෝහලකින් තවත් රෝහලකට රෝගියා ප්‍රවාහනය කරනවා නම් රෝගියාගේ මූලික සිහි කැදවීම් කිරීම,
උදාහරණ – රුධිර පාරවිලයන කටයුතු වැනි දේ සිදුකර රෝගියා වෙනත් රෝහලකට ප්‍රවාහනය කිරීම.
■ රෝහලකින් රෝහලකට රෝගියා මාරු කරනවා නම් ඒ සඳහා පුහුණු කාර්ය මණ්ඩලයක් යොදාගැනීම,
ඒ සඳහා වෛද්‍යවරයෙක්, හෙද නිලධාරිනියක් සහ සුළු සේවක කාර්ය මණ්ඩලය අනිවාර්යයෙන් සම්බන්ධ විය යුතුය.
එවැනි රෝගියකු රෝහලකට ඇතුළත් කළ පසුව අනුගමනය කරන ප්‍රධාන පියවර මොනවද?
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත්වන සියලුම රෝගීන්ගේ උදර කුහරය අනිවාර්යයෙන්ම සායනික පරික්ෂාවකට ලක් කරනු ලබනවා. රෝගියාගේ උදර කුහරයට හානියක් සිදුවී ඇති බව සැක සහිත විට Ultra sound scan පරීක්ෂාවක් සිදුකරනවා. රෝගියා පැමිණ විනාඩි 10 ක් 15 ක් ඇතුළත මෙම පරීක්ෂණය සියල්ල කරමින් උදර කුහරයේ ඇතුළත ලේ ගැලීමක් සිදුවෙලාද කියන කාරණය පරීක්ෂා කරනවා. අභ්‍යන්තර රුධිර වහනයක් පවතිනවා නම් රෝගියාට ශල්‍යකර්මයක් සිදු කළ යුතුද, නැද්ද යන්න තීරණය කරනවා. නැතිනම් ඊටත් වඩා බරපතළ අවස්ථාවකදී CT Scan පරීක්ෂණ පවා ප්‍රමාදයකින් තොරව සිදුකරනවා.
එතැනින් එහාට රෝගී ප්‍රතිකාර මොනවාද?
ඇත්තටම ඉන්පසුව පුහුණු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම ශල්‍ය වෛද්‍යවරයෙක්, නිර්වින්දන වෛද්‍යවරු, විකිරණවේදී අංශයේ සේවාව සහ ඇතැම් වෙලාවට අක්මාව සම්බන්ධ විශේෂඥයන්ගේ උදව් අවශ්‍ය වෙනවා. ඉන් එහාට එය සංකීර්ණ හානිවීමක් නම්, ඇතැම්විට මුල් අවස්ථාවේදී රෝගියාගේ ජීවිතය ප්‍රකෘතිමත් කරගැනීමට හදිසි ශල්‍යකර්මයක් සිදුකරමින් දෙවන හෝ තුන්වන ශල්‍යකර්මවලටත් රෝගියා භාජනය කිරීමේ හැකියාවක් තිබෙනවා.
මේ නිසා මුලින්ම රෝගියාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමයි අපි කරන්නේ. ඉන්පසු දැඩිසත්කාර ඒකකයේ ඇඳක් රෝගියාට වෙන් කරනවා. එහිදී සත්කාර සිදුකරන ගමන්ම රෝගියාට අවශ්‍ය පරිදි දෙවනුව තුන්වන ශල්‍යකර්මවලට භාජනය කිරීම සිදු කරමින් ඒ සියල්ල සාර්ථක වූ පසුව රෝගියා සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කරනවා. මෙය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් වනවා මෙන්ම ඇතැම් වෙලාවට මෙය දවස් දෙකෙන් තුනෙන් අවසන් වෙන්නත් නැතිනම් මාසයක් හෝ දෙකක් පවා ගතවෙන්නත් පුළුවන්.
උදරයේ පිටතින් තුවාලයක් තිබුණොතින් කළ යුත්තේ කුමක්ද?
ඇත්තටම ප්‍රථමාධාරයක් විදිහට මුලින්ම කරන්න ඕන ඒ තුවාලය ආවරණය කිරීම. ඒ සඳහා පිරිසිදු ගෝස් කැබැල්ලක් හෝ රෙදි කැබැල්ලක් භාවිත කළ හැකියි.
එවැනි අවස්ථාවකදී තුවාලය පිරිසිදු කිරීම අපහසුයි. වහාම රෝහලට රැගෙන යාමෙන් පසුව පරීක්ෂණයන් සිදුකර රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමයි කළ යුත්තේ. ශල්‍ය වෛද්‍යවරුන් වශයෙන් අපි සැලකිලිමත් වෙන්නේ අදාළ තුවාලය උදර කුහරය පසාරු කරමින් ඇතුළට ගොස් තිබේදැයි දැනගැනීමටයි.
එවැනි අවස්ථාවකදී කුමක් හෝ යමක් උදරයේ ඇනී තිබුණොත්?
එවිට එය ගලවා දැමීම හෝ ඇදීම නොකළ යුතුයි. එයට හේතුව වන්නේ එම හානිය තවත් වැඩීමට ඉඩ තිබීමයි. ඒනිසා එවැනි අවස්ථාවක හැකි ඉක්මනින් රෝගියාව ළඟම ඇති රෝහලකට රැගෙන යාම කළ යුතුයි.
උදර කුහරය ඇතුළත හෝ පිටත සිදුවන හානියකදී රෝගියා මරණයට පත්විය හැකිද?
පුළුවන්. අධික වේගය නිසා සිදුවන අනතුරුවලදී ඇතිවන බලපෑම වැඩියි. උදාහරණයක් විදිහට බෝම්බ පිපුරුමකදී සිදුවන හානිය වැඩියි. ඒ වගේ වෙලාවට තත්පර කිහිපයකදී වුණත් රෝගියාගේ ජීවිතය නැතිවෙන්න පුළුවන්.
මෙය සාමන්‍යයෙන් වියදම් අධික ක්‍රියාවලියක්. ඉතින් මෙවැනි අනතුරු වළක්වාගත යුතුවනවා. ඒ සම්බන්ධව මහජනතාවට දෙන පණිවිඩය කුමක්ද?
ඇත්තටම නොසැලකිලිමත් රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය, මාර්ග නීති පිළිනොපැදීම, අනාරක්ෂිත හෝ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය මෙන්ම බීමත්කමින් රිය ධාවනය කියන තත්ත්වයන්ගෙන් මහජනතාව වළකින්නම ඕනේ. ගොඩක් වෙලාවට සවස් වෙලාව, රාත්‍රී වේලාවන්වල මත්පැන් පානය කර රිය ධාවනය කරමින් අනතුරු සිදුකරගන්නා ආකාරය අපි දැක තිබෙනවා. ඒ වගේම වැටුප් ලැබෙන දවස්වලටත් රිය අනතුරු වැඩියි. මේ අනතුරු සියල්ල වළක්වා ගන්න පුළුවන් ඒවා.
හරින්දී ලියනගේ