මිග්රේන් හිසරදය අප කාටත් ඇතිවන සහ සුලබව ඇසෙන රෝග තත්ත්වයක්. එය ඔබගේ දෛනික ජීවිතය පීඩාකාරී ස්වභාවයට පත්කරන අතර එදිනෙදා වැඩ කටයුතුවලටද බාධා ඇතිකරනවා.
ප්‍රාථමික හිසරදය
මෙහිදී හිසරදය වෙනත් රෝගී තත්ත්වයක රෝගී ලක්ෂණයක් නොවෙයි.
ද්වීතියික හිසරදය
ද්වීතියික හිසරදය වෙනත් රෝගී තත්ත්වයක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස සැලකෙනවා.උදාහරණ – මොළයේ ගෙඩි, පිළිකා, අභ්‍යන්තර රුධිර වහනයක් ඇතිවීම වැනි යම් රෝග තත්ත්වයක අතුරු ආබාධයක් ලෙසින් හිසරය ඇතිවනවා.
අපි මිග්රේන් හිසරදය ගැන කතාකරනවා නම් එය අයත් වෙන්නේ ප්‍රාථමික හිසරදය කියන කාණ්ඩයටයි. මෙහිදී මොළයේ ව්‍යූහයේ අසාමාන්‍යතාවක් නොමැති අතර එය ඇතිවන ආකාරය තවම නිශ්චිතව හඳුනාගෙන නැහැ.
මිග්රේන් ඇතිවන්නේ කොහොමද?
මොළයේ හයිපොතැලමසයෙහි ඇතිවන උත්තේජනයකින් මෙය ආරම්භ වේ. පසුව පස්වන කපාල ස්නායුව හා ඒ ආශ්රිත රුධිරවාහිනි සංවේදීකෘතවීම සිදුවනවා.
මිග්රේන් ඇතිවීමට හේතු මොනවාද?
මිග්රේන් ඇතිවීමට ජානමය සාධකවල සැලකිය යුතු සම්බන්ධතාවක් පවතිනවා.
බාහිර සාධකවල බලපෑම
- හොර්මෝනමය සාධක – ඔසප් සමය, ගර්භණි සමය
- මානසික ආතතිය
- කෑම වේල් අතපසු කිරීම
- ඝෝෂාකාරී ශබ්දය
- තීව්ර ආලෝකය, සමහර සුවඳ වර්ග
- ඖෂධ – සමහර උපත් පාලන පෙති
- කාර්යබහුල ජීවන රටාව
- නින්ද අඩුවීම
- අධික වෙහෙසකර බව
- ආහාර
තේ, කෝපිවලට මිග්රේන් වැඩිවෙනවාද?
එවැනි මතයක් සමාජය තුළ පැවැතුණද එහි විද්යනුකුල පදනමක් නැහැ.
මිග්රේන් හිසරදය හඳුනා නොගැනීම…
මිග්රේන් හිසරදය ඇතිවුණත් බොහෝවිට එය නිවැරදිව හඳුනාගැනීමට අපහසු වන අවස්ථා තිබෙනවා. සමහර අවස්ථවන්හිදී මෙම රෝගී තත්ත්වය ඇසේ ආබාධයක් ලෙස වරදවා වටහාගැනීම සිදුවනවා.
එසේම සමහ අවස්ථාවලදී හිස් කබලෙහි කෝඨරකවල සෙම් රෝගී තත්ත්වයක් (සයිනුසයිටිස්) මිග්රේන් ලෙස වරදවා වටහා ගැනීම සිදුවේ. මානසික ආතතිය මිග්රේන් සඳහා හේතු වනවා. එහිදී මානසික ආතතිය සඳහා මෙන්ම මිග්රේන් සඳහාද ප්‍රතිකාර කිරීමත් අවශ්‍යයි.
මිග්රේන් නිසා ජීවිතයේ ගුණාත්මක බවට බලපෑමක් ඇතිවනවාද?
බොහෝ රෝගීන් මිග්රේන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීම මගහරිනවා. නමුත් මේ අන්දමින් මිග්රේන් හිසරදය ඇතිවුණාම තමන්ගේ දෛනික ජීවිතයේ ඵලදායිතාව පවා අඩුවෙනවා. අධ්‍යාපනය ලබන දරුවකු නම් පාඩම් වැඩ, වෘත්තිකයකු නම් ඔහුගේ රාජකාරි කටයුතු, ගෘහණියක් නම් නිවසේ කටයුතුවල ඵලදායිතාව අඩුවනවා.
මිග්රේන් රෝග ලක්ෂණ
මිග්රේන් හිසරදයේ අවදි කීපයක් තිබෙනවා.
Prodromal අවධිය – මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ අතර ශබ්දයට සහ ආලෝකයට අධික සංවේදී බව, තරහ යෑම, අලස බව, ඈනුම් යෑම දක්වනවා.
Aura අවධිය
රෝග ලක්ෂණ ලෙස විවිධ දෘෂ්ටි අසාමාන්‍යතා – සිග් සැග් හැඩයේ රේඛා, කළුවර ලප ආදිය වනවා.
එක අංශයක අත හිරිවැටීම හෝ දුර්වලකම.
හිසරද සමය
හිසේ එක පැත්තකින් ක්‍රම ක්‍රමයෙන් උත්සන්න වන හිසරදය ඉතා සුලබ වුවද, එය හිස දෙපැත්තෙන් වුවද ඇතිවන්න පුළුවන්. ගැහෙන සහ ස්පන්දනය වන ආකාරයේ හැගීමක් හිසට ඇති කරයි. වමනය ඔක්කාරය ඇති වේ. වමනය වූ විට හිසරදයේ අඩුවීමක් ඇති වේ.
postdromal අවදිය
වෙහසකර බව, තරහ යෑම වැනි රෝග ලක්ෂණ ඇතිවනවා.
හෝර්මෝනමය සාධක සහ වයසේ බලපෑම
මිග්රේන් සහ හෝර්මෝන අතර සම්බන්ධතාවක් තිබෙනවා. කාන්තාවන්ට මිග්රේන් හිසරදය ඇතිවීමට වැඩි අවදානමක් තිබෙනවා. ඒ වගේම ආර්තවහරණය සමග මිග්රේන් ඇතිවීම අඩුවනවා.වයස අවුරුදු 5 – 40 දක්වා මිග්රේන් තත්ත්වය සුලබව දැකිය හැක. වැඩිහිටි පුද්ගලයන්ට මිග්රේන් තත්ත්වය සුලබව ඇති නොව්.
අමුතු මිග්රේන්!
සමහර අවස්ථාවලදී මිග්රේන් රෝගය වෙනස්ම ආකාරයකින් ඉස්මතු වෙන්න පුළුවන්. උදාහරණ ලෙස ක්ලාන්තය සහ කරකැවිල්ල ප්‍රධාන ලක්ෂණයක් ලෙස ඉදිරිපත් විය හැක. (vestibularමිග්රේන්) කුඩා දරුවන්ට නිතර නිතර ඇතිවන වමනය හෝ බඩේ කැක්කුම මිග්රේන් රෝගය විය හැකියි.
Abdominal මිග්රේන් රෝගියකු විසින් සඳහන් කරන රෝග ලක්ෂණ සහ ඉතිහාසය අනුව වෛද්‍යවරයාට රෝග නිශ්චය කිරීමට පුළුවන්. ඒ නිසා CT, MRI වැනි පරීක්ෂණ වාර්තාවන් අවශ්‍ය නැහැ. නමුත් ද්විතීයික හිසරද තත්ත්වයක් යැයි අනුමාන කරන විට CT, MRI වැනි පරීක්ෂණ වාර්තාවන් අවශ්‍ය වනවා.
මිග්රේන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීම…
Acute ප්‍රතිකාර
මිග්රේන් හිසරදයට ප්‍රතිකාර ලබාදීමේදී සහනයක් ලෙසින් වේදනා නාශක ලබාදීම සිදුවනවා. මේවා බොන පෙති, Spray, Injection ලෙස ලබාදිය හැක.
Prevention ප්‍රතිකාර
නැවත මිග්රේන් ඇතිවීම අඩු කරගැනීම සඳහා ප්‍රතිකාර ලබාදෙනවා. එය මිග්රේන් හිසරදයේ දරුණු බව අනුව තීරණය වෙනවා. නිතර නිතර මසකට දෙවරකට වඩා හෝ එක් වරකදී පැය 24 ට වඩා වැඩි කාලයක් හිසරදය පවතින විට මෙම ප්‍රතිකාර ලබාදීම සිදුවනවා.කෙසේ වුවත් මිග්රේන් හිසරදය නිට්ටාවටම සුවකිරීමට ඖෂධ නැහැ.
ඖෂධවලින් අඩුවුණත් නැවතත් අවදානම් සාධකවලට නිරාවරණය වුණ අවස්ථාවකදී ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මා මුලින් සඳහන් කරන ලද අවදානම් සාධකවලට නිරාවරණය නොවී සිටීම ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️