අපි ගන්නා ආහාර, ජීරණය වෙනුවෙන් ශරීරය තුළදී විවිධ රසායනික සංයෝග ආහාරවලට එකතු වනවා. ඒවා අතර ‘හයිඩ්‍රොක්ලෝරීක් අම්ලය’ ස්‍රාවය වන බව අපි දන්නවා. මෙම අම්ලය ආමාශයෙන් පිට නොවීම සඳහා ආමාශයේ නාල කපාටවලින් වැසී තිබෙනවා. යම් ලෙසකින් මෙම කපාටවලට හානියක් සිදුවුණොත් එම අම්ල පිටතට පැමිණෙන අතර එයද ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය ඇතිවීමට එක් හේතුවක් ලෙස සැලකෙනවා…
ගලනාලයේ සහ ග්‍රහණියේ ප්‍රදාහයක් නිසාත් ගැස්ට්‍රයිටිස්…
අපි ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයේ චුදිතයා ලෙස ආමාශය සලකනු ලැබුවත් සමහර අවස්ථාවලදී අපි ගන්නා ආහාර මුඛයේ සිට ආමාශයට ගෙන යන ගලනාලයේ සහ කුඩා බඩවැලේ පළමු කොටස වන ග්‍රහණියේ ඇති වන ප්‍රදාහයන් නිසාත් ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය ඇතිවීමට පුළුවන්.
■ අපේ ආමාශයේ බහුලව ජීවත්වෙන‘හෙලිකොබැක්ටර් පයිලොරි’ බැක්ටීරියාවට ශ්ලේෂමල පටල පසාරු කරගෙන යෑමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසාත් අප පහසුවෙන් ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයට ගොදුරු වීමට පුළුවන්.
■ අජීර්ණ තත්ත්වයන් නොසලකා හැරීම නිසා මෙම අම්ල තත්ත්වය රෝග කාරකයක් දක්වා වර්ධනය වීම.
■ ප්‍රමාණය ඉක්මවා සහ වේලාව අවේලාව නොබලා ආහාර ගැනීම.
■ රුධිරයේ හිමොග්ලෝබින් අඩුවීම නිසා සුදු රුධිරානු වැඩිවනවා. මෙම තත්වය නීරක්තිය යනුවෙන් හැඳින්වෙන අතර මෙහිදී ආමාශයට ආහාර අවශෝෂණය සඳහා අවශ්‍ය B 12 විටමින් ඌනතාවක් ඇතිවනවා. මේ තත්ත්වය නිසා ආමාශයේ ‘හයිඩ්‍රොක්ලෝරීක් අම්ලය’ නිපදවීම වැඩි වීමත් ගැස්ට්‍රයිටිස් තත්ත්වයට හේතුවක්.
■ කුඩා බඩවැලේ ඇතිවන පිත පසුපසට හෙවත් නැවත ආමාශයට ගලාගෙන ඒම.(Bile reflection)
■ ප්‍රතිශක්තිය දුර්වල වීම.
■ දීර්ඝ කාලයක් පුරා ලබාගන්නා ඖෂධ උදාහරණ Non steroid Anti-Inflammatory Drugs (NSAIDS ) සහ අනුමැතියකින් තොරව ලබාගන්නා වේදනා නාශක.
■ අක්මාව, වකුගඩු ආබාධ
■ මත්පැන් සහ දුම්වැටි භාවිතය
■ මානසික ආතතිය
■ ආහාර මාර්ගයේ දුර්වලතාවන්
■ තන්තු ආහාර අඩුවෙන් ගැනීම
■ ආහාර ගත් විගස නිදාගැනීම
■ ශරීරයේ බර වැඩිවීම
■ අනිසි ලෙස ආහාර පාලනය
■ මලබද්ධය
ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැක.
උග්‍ර ප්‍රදාහය (Acute gastritis)
කල් පවතින (Chronic gastritis)
මෙහිදී උග්‍ර ප්‍රදාහය ආමාශයේ ශ්ලේෂ්මල පටල ඉදිමීම නිසා ඇතිවනවා. උග්‍ර වේදනාවක් ඇතිවීම මෙහි ලක්ෂණයක්. නමුත් මේ වේදනාව කලාතුරකින් ඇති වෙන්නක්. ආමාශයේ ශ්ලේෂමල පටලයේ දුර්වල හෝ හානිවීමක් නිසා මේ තත්ත්වය ඇතිවනවා. මෙහිදී ‘හයිඩ්‍රොක්ලෝරීක් අම්ලය’ නිදහස් වීම නිසා ආමාශයේ දැවිලි ස්වභාවයක් ඇතිවනවා.
උග්‍ර ප්‍රදාහය ඇතිවීමට හේතු මොනවාද?
- වෛරස ආසාදන
- ආතතිය
- මත්ද්‍රව්‍ය
- අක්මා රෝග
- වකුගඩු රෝග
- දරුණු ශල්‍යකර්මයන්ට භාජනය කරන ලද රෝගීන්
- ශ්වසන ආබාධ ඇති රෝගීන්
කල්පවතින ප්‍රදාහය – (Chronic gastritis)
මෙම තත්ත්වය ඉතා බහුලව දක්නට ලැබෙන අතර යම් තරමක අපහසුතාවක් ඇති කරවයි. මෙම තත්ත්වයේදී ඖෂධීය ප්‍රතිකාර ලබාගැනීම සිදු වේ.
කල්පවතින ප්‍රදාහයේ රෝග ලක්ෂණ
- කරකැවිල්ල
- ඔක්කාරය
- ආහාර ජීර්ණ අපහසුතාව සහ ආහාර අරුචිය
- ආහාර ගත් පසු උදරයේ සහ යටිබඩ ප්‍රදේශයේ පුරවා දැමීමක් සේ දැනීම
- නීරක්තිය
- මුඛයට කෙළ ඉනීම
ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවන අතුරු සංකුලතාවන් මොනවාද?
ගැස්ට්‍රයිටිස් තුවාල
ජීර්ණ පද්ධතියේ ඇතිවන ගැස්ට්‍රයිටිස් තුවාල (Peptic ulcers) ආමාශයේ හෝ කුඩා බඩවැලේ ඉහළ කොටසේ ඇති වේ. මේවා ඉබේටම සුව වේ. සුව නොවන තුවාල දරුණු තත්වයට පත් විය හැකි නිසා ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත්.
ග්‍රහණි තුවාල
මෙම තුවාල ඇතිවිට පපුවේ පහළත්, උදරයේ මැද සිට ඉහළටත් දැඩි වේදනාවක් දැවිල්ලක් ඇති වේ. මෙහි විශේෂත්වය නම් ආහාර නොගෙන සිටින වේලාවට සහ ආහාර ගැනීමෙන් පසුව වේදනාව ඇති වේ.ගැස්ට්‍රයිටිස් ඇති සෑම රෝගියකුගේමෙවැනි තුවාල දැකිය නොහැකි අතර එන්ඩොස්කොපි පරීක්ෂණයකින් මෙම තුවාල හඳුනාගත හැක.
තුවාල ඇතිවීම නිසා ඇතිවන සංකුලතාවන් මොනවාද?
- සුව වුවත් නැවත නැවත තුවාල ඇතිවීම
- රෝග ලක්ෂණ නොපෙන්වාම දරුණු තත්ත්වයට පත්වීම
- ආමාශයේ බිත්ති මත සිදුරු ඇති වීම
- රුධිර වහනය
මේ අන්දමින් සිදුවන රුධිර වහනය ක්‍රමයෙන් සිදුවිය හැක. එවිට තාර මෙන් මලපහ පිටවීමක් දැකිය හැක. ආමාශයේ බිත්ති මත හෝ ග්‍රහණියේ මේ අන්දමින් සිදුරු ඇති වු විට ඒ වෙනුවෙන් සැත්කම් කිරීමට සිදු වේ.මෙම තුවාල සඳහා ප්‍රතිකාර ලබාදීමේදී මුලින්ම තුවාල ඇතිවීමට හේතුව හඳුනාගත යුතු අතර එයින් පසුව හේතුව වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සිදු වේ.
ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයෙන් වැළකීමට නම්…
- ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයෙන් ආරක්ෂා වීමට නම් බඩගිනි දැනෙන විට කුඩා ප්‍රමාණයන්ගෙන් ආහාර ගැනීම වැදගත්
- තෙල්, මිරිස් අධික ආහාරවලින් වැළකී සිටින්න
- නින්දට පැය තුනකටවත් කලින් ආහාර ගන්න
- ආහාර හොඳින් විකා ගිලින්න
- දුම්පානය සහ මත්පැන් පානයෙන් වළකින්න
- මනස සුවෙන් තබාගන්න
- ජලය පානය කරන්න
- අනවශ්‍ය පරිදි ඖෂධ භාවිත නොකරන්න
- සුවබර නින්දක් ලබාගැනීම
නිසි ලෙසින් ජීවන රටාවක් පවත්වා ගැනීමෙන් සහ නිරෝගී ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය සුවකර ගැනීමට හැකියාව තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා