මුත්‍රාගල් ඇතිවීම සමාජය තුළ බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක්.8%-15% අතර පිරිසක් මේ තත්ත්වයෙන් පීඩා විඳින බව සැලකෙනවා. දීර්ඝ කාලීන වකුගඩු ගල් තත්ත්වයක් පැවැතුණොත් එය වකුගඩු අකර්මන්යතාවටද හේතුවක් විය හැකියි.
මුත්‍රා ගල් රෝගී තත්ත්වයේ ලක්ෂණ මොනවාද?
■ ඉඟටියේ (පිට කොන්ද) කඩින් කඩ ඇතිවන තද වේදනාව, ඒ වගේම සමහර අවස්ථාවලදී Staghorn වර්ගයේ ගල් නිසා කිසිදු වේදනාවක් ඇතිවන්නේ නැහැ. බොහෝ විට තද වේදනාව ඇතිවන්නේ මුත්‍රා වාහිනීවල සිරවී ඇති ගල් නිසාවෙනි. මෙම වේදනාව Ureiteric colic ලෙස හැඳින්වේ.
■ මුත්‍රාගල් නිසා මුත්‍රා එකතු වීමෙන් මුත්‍රා ආසාදන ඇතිවිය හැක. මෙවැනි අවස්ථාවල නිතර නිතර මුත්‍රා පිටකිරීමට ඇති වන අවශ්‍යතාව, මුත්‍රා බොර පැහැයෙන් පිටවීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක.
■ මුත්‍රා සමග ලේ පිටවීමද රෝග ලක්ෂණයකි.
තවත් සමහර අවස්ථාවලදී ඉහත සඳහන් කළ කිසිදු රෝග ලක්ෂණයක් රෝගියා නොපෙන්වීමට පුළුවන්.
මුත්‍රාගල් ඇතිවීමට හේතු මොනවාද?
( 1 ) දිනකට පානය කරන දියර ප්‍රමාණය ලීටර 1.5 කට වඩා අඩුවීම නිසා මුත්රාවල සාන්ද්‍රණය අධික වී ගල් ඇතිවීමට පුළුවන්.
( 2 ) රුධිරයේ කැල්සියම් ප්‍රමාණය අධික වීම (පැරා තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ක්‍රියාකාරීත්වය නිසා මෙම තත්ත්වය ඇතිවේ. )
Hyperparathyroridism
තවද Sarcoidosis cushing syndrome වැනි රෝගී තත්ත්වයන්ද මීට හේතුවිය හැක.
( 3 ) මුත්‍රා වාහිනී පද්ධතියේ ව්‍යුහාත්මක අසාමාන්‍යතාවන්.
උදාහරණ ලෙස බහු කෝෂ්ඨක (Polycystic kidney disease) වකුගඩු රෝගී තත්ත්වය සහ Horse shoe kidney (අශ්ව ලාඩමක හැඩයට) වකුගඩු දෙකම ඒකාබද්ධ වී තනි වකුගඩුවක් සෑදීම.
( 4 ) පරම්පරාගත හේතු
මුත්රාවල කැල්සියම් මට්ටම අධික වීම.(hyper Calciuria )
මුත්රාවල ඔක්සිලේට් අධික වීම. (Hyperoxaluria)
මුත්රාවල යූරික් අම්ලය වැඩිවීම. (hyperuriceamia)
මුත්රාවල Citrate ( සිට්රේට් ) අඩුවීම.
( 5 ) නිතර නිතර ඇතිවන මුත්‍රා ආසාදන.
මුත්රාවල භාෂ්මිකතාව වැඩිකරන බැක්ටීරියාවන් නිසා ඇතිවන ආසාදන තත්ත්වයන් නිසාද ගල් ඇති වේ.උදාහරණ- Proteus klebsiella වැනි බැක්ටීරියාවන්.
( 6 ) බඩවැල ආශ්රිත රෝග තත්ත්වයන්-
අන්ත්‍රවලින් ඔක්සලේට් අම්ලය වැඩිපුර අවශෝෂණය වන රෝගී තත්ත්ව නිසා මුත්රාවල ඔක්සලේට් ප්‍රමාණය වැඩි වේ.
( 7 ) දීර්ඝ කාලීන ඖෂධ භාවිතය. උදාහරණ NSAIDS කැල්සියම් පෙති වර්ග, ප්රතිඅම්ල ඖෂධ, මුත්‍රා පිටකිරීම වැඩි කිරීමට දෙනු ලබන ඇතැම් ඖෂධ
( 8 ) විටමින් ‘C’ සහ විටමින් ‘D’ අධි මාත්‍රාවකින් ලබාගැනීම.
වකුගඩු ගල් වර්ග
■ කැල්සියම් ගල් (Calcium oxalate, Calcium phosphate ) – 61%
■ ආසාදන ගල් (Truvite) 5%- 15%
■ යුරික් අම්ල (Uric acid) 10 %-15%
■ සිස්ටින් ගල් (Cystine) 1% ක් පමණ
මුත්‍රාගල් හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ මොනවාද?
(1) සම්පූර්ණ මුත්‍රා පරීක්ෂාව –Urine full report UFR
(2) scan පරීක්ෂණ-USS,KUB
(3) වකුගඩුවේ, මුත්‍රා වාහිනීවල, මුත්‍රාශයේ X ray පරීක්ෂණ (X ray- KUB)
(4) එක්ස්රේ පරීක්ෂණවලින් සොයා ගත නොහැකි ගල් සොයාගැනීමට CT පරීක්ෂණ ( NCTT KUB )
( 5) වර්ණක ශරීරගත කර කරනු ලබන එක්ස්රේ පරීක්ෂණය (CT IUV )
(6) රුධිරයේ Creatine පරීක්ෂණය-IKhsereum creatine
(7) පැය 24 ක පිටකරන මුත්‍රා එකතුකර කරනු ලබන පරීක්ෂණය-
■ මුත්රාවල ඇති කැල්සියම්, ඔක්සිලේට්.
■ යුරික් අම්ල ප්‍රතිශතය.
■ පිටවන සිට්රික් අම්ල ප්‍රමාණය.
■ මුත්රාවල PH අගය මැනීම.
■ Sereum electorolytes රුධිරයේ ලවණ ප්‍රමාණය
■ මුත්‍රා රෝපණ පරීක්ෂණ -Urine culture
වකුගඩු ගල් වෙනුවෙන් ලබාදෙන ප්‍රතිකාර මොනවාද?
ප්‍රධාන වශයෙන් වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍ය ප්‍රතිකාර ලෙස දෙවර්ගයකි.
(1) වෛද්‍ය ප්‍රතිකාර
වේදනා නාශක පෙති, එන්නත්, ගුද මාර්ගයෙන් ඇතුළු කරන ඖෂධ.
(2) ආසාදන තත්ත්ව ඇත්නම් ප්‍රතිජීවක ලබාදීම.
ශල්‍ය ප්‍රතිකාර
ප්‍රතිකර්ම- ගල පිහිටි ස්ථානය, විශාලත්වය සහ ඝනත්වය යන කරුණු මත තීරණය වේ.
■ මිලි මීටර් පහකට වඩා අඩු ප්‍රමාණයේ ගලක් නම් මුත්‍රා මාර්ගයෙන් පිටවීමට ඇති සම්භාව්‍යතාව වැඩියි.
■ මිලි මීටර් දහයට වඩා වැඩි ගලක් නම්
■ ක්‍රියාකාරී තනි වකුගඩුවක් ඇත්නම්
■ විශේෂිත රැකියාවක නිරත නම්- (උදාහරණ ගුවන් නියමුවන් වැනි )
■ ඉහත සඳහන් කළ කාරණා ඇත්නම් ශල්‍යමය ප්‍රතිකාර වෙත යොමුකිරීමට සිදුවනවා.
එම ශල්‍යමය විධි
Shock wave ලිතෝ ට්රප්සි ( Lithotripsy)
අධිධ්වනි තරංග මුත්‍රාගල වෙත යොමුකර කුඩා කොටස්වලට බිඳ මුත්‍රා සමග පිටවීමට සැලැස්වීම.
Percutaneous Nephrolithonomy (PCNL) ශල්‍ය කර්මය
කුඩා සිදුරක් මගින් ගල් ඉවත් කිරීම.
Cystoscopy iy ureteroscopy
කැමරාවක් මුත්‍රා මාර්ගයෙන් යොමුකර මුත්‍රා මාර්ගයේ සිරවී ඇති 1 cm ට අඩු ගල් කුඩුකර පිටකිරීම.
■ ලේසර් ට්රිප්සි
■ විවෘත ශල්‍යකර්ම.
මුත්‍රා ගල් නැවත හැදෙන්න පුළුවන්ද?
වරක් ගල් හැදුණ රෝගියකුට නැවත ගලක් ඇති නොවේ යැයි අපට සහතික වෙන්න බැහැ. ඒ නිසා නැවත වතාවක් වකුගඩු ගල් සෑදීම වළක්වා ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත්.
■ දිනකට ලීටර් 3- 4 දියර පානය කරන්න.
■ එළවලු සහ පලතුරුවල සිට්රික් අම්ලය අඩංගු නිසා ඒවා වැඩියෙන් ආහාරයට ගන්න. මෙහි ඇති සිට්රික් අම්ලයෙන් මුත්‍රාගල් ඇති වීම වළක්වා ගත හැකියි.
■ සත්ත්ව ප්‍රෝටීන අඩුවෙන් භාවිත කරන්න.
■ කැල්සියම් හා විටමින් ” D ” අඩුවෙන් භාවිතය.
■ ශරීර බර අඩු කරගන්න.
■ පරම්පරාගත හේතු සාධක නිසා ගල් සෑදෙන අය ආහාරපාන මගින් එය පාලනයට කටයුතු කිරීම.
■ ඔක්සිලේට් ගල් ඇත්නම් කිරිඅල, තක්කාලි, නිවිති, මුරුංගා, කජු, රටකජු, බීට් රූට්,
කාමරංගා, ලීක්ස් චොකලට්, බෝංචි වැනි ආහාර සුදුසු නැහැ.
■ යුරික් ඇසිඩ් ඇත්නම් මස්, කුඩා මාළු, නිවිති, බණ්ඩක්කා, අලිපේර, කුනිස්සන්, සාඩිං ගෝවාමල්, හතු, මත්පැන් සීමාකරන්න.
ඔබේ වකුගඩු ගල් රෝග තත්ත්වයක් තිබෙනවා නම් ගල වැටුණොත් එය විසි කරන්න එපා. මෙම ගල වෛද්‍යවරයා වෙත ගෙනගොස් එහි රසායනික සංයුතිය විශ්ලේෂණය කරගැනීමත් වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️