දරුවකු පාසල් අධ්‍යාපනය ආරම්භ කරන වයසට එත්ම මව්පියන් තුළ ඒ වෙනුවෙන් විශාල උද්යෝගයක් ඇතිවනවා. පාසලට ඇතුළත් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන, පොත්පත් සූදානම් කරනවා. මේ සියල්ල තුළ මව්පියන්ගේ හිතේ ඇත්තේ දරුවාගේ අනාගතය පිළිබඳ විශාල බලාපොරොත්තුවක්. දරුවාට සාර්ථක අධ්‍යාපනයක් ලබාදීම මව්පියන් විදිහට කාගේත් එකම අරමුණ බව රහසක් නොවේ.නමුත් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමට පෙරාතුව දරුවාගේ ඇසේ පෙනීම පිළිබඳව පරීක්ෂා කිරීමට ඔබ සිතුවාද? සමහර විට මෙය ඔබට අමුත්තක් විය හැකියි. නමුත් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමට පෙරාතුව දරුවාගේ ඇස් පරීක්ෂා කරගැනීම ඉතාම වැදගත්…
වයස අවුරුදු පහට පෙරාතුව දරුවාගේ ඇස් පෙනීම පිළිබඳව සිදුකරන පරීක්ෂාව වැදගත් ඇයි?
අපි දරුවා බාල කාලයේදීම ඇස් පරීක්ෂා කරගතහොත් ඔවුන්ගේ පෙනීම පිළිබඳ ගැටලු බොහොමයක් හඳුනාගන්න පුළුවන්. ඇස් ආශ්රිත දෝෂ තත්ත්වයන් කල්තබා හඳුනාගත්විට ලබාදෙන ප්‍රතිකාර මගින් දරුවාගේ පෙනීමේ ගැටලු 90% කින්ම නිවරැදි කරගන්න පුළුවන්.නමුත් ඇස් පෙනීම පාසල් යෑමට පෙරාතුව පරීක්ෂා කරගැනීමේ වැදගත්කම ගැන මව්පියන්ගේ නොදැනුවත්කම නිසා දරුවන්ගේ පෙනීමේ ගැටලු නැවත සකස් කරගත නොහැකි තරමටම දුර්වල වෙනවා.
අද පාසල් මට්ටමින් ඇස් පෙනීම පරීක්ෂා කළත් ඒ වෙනුවෙන් හැම පංතියකම දරුවන් යොමුකරීමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම පාසල් අධ්‍යාපනයෙන් පසුව නැවත දරුවකුගේ ඇස් පරීක්ෂාවක් සිදුවන්නේ රැකියාවකට යනවිට සිදුකරන වෛද්‍ය පරීක්ෂණයෙන්. එහෙම නැත්නම් රියදුරු බලපත්‍රය ලබාගැනීමේදී. නමුත් ඒ වනවිට කණ්ණාඩි පැළඳීමෙන් හෝ පෙනීම ලබාගන්න අපහසු තත්වයට පත්වී අවසානයි.
දරුවන්ගේ පෙනීම පිළිබඳ ගැටලු හඳුනාගැනීම සිදුවිය යුතු වයසක් තිබෙනවාද?
ඔව්. අද වනවිට බොහෝ දරුවන්ගේ ඇසේ පෙනීම පිළිබඳ ගැටලු හඳුනාගන්නේ මව්පියන් නොවෙයි. එක්කෝ පෙර පාසල් ගුරුතුමිය, එහෙම නැත්නම් ප්‍රාථමික පංතියේ ගුරුතුමිය. අපේ මව්පියන් දරුවන්ගේ පෝෂණය, ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන් ගැන බොහොම උනන්දුයි. නමුත් දරුවාගේ ඇස් පෙනීම පරීක්ෂා කරගැනීම වැදගත් කියන පණිවිඩය ගැන ඔවුන් දැනුවත් නැහැ. ඒ නිසාම මව්පියන් තමන්ගේ දරුවන්ගේ ඇස් පරීක්ෂා කරගැනීමට යොමුවීමක් සිදුවන්නේම නැතිතරම්.
දරුවන්ගේ පෙනීම පිළිබඳව ඇතිවන ගැටලු මොනවාද?
දරුවන්ගේ පෙනීම ආශ්රිත වර්තන දෝෂ ගැන කතාකරනවා නම් මේ විදිහට සඳහන් කරන්න පුළුවන්.
- අවිදුර දෘෂ්ටිකත්වය හෙවත් දුර නොපෙනීම ( Myopia)
- දුර දෘෂ්ටිකත්වය. දරුවාට ළග නොපෙනීමේ ගැටලු (Hypermetropia)
- විෂම දෘෂ්ටිකත්වය දුර හා ළග දෙකම නොපෙනීම (Astigmatism)
අවිදුර දෘෂ්ටිකත්වය හෙවත් දුර නොපෙනීම ( මයෝපියාව )
අද බහුල වශයෙන් දක්නට ලැබෙන වර්තන දෝෂයක් ලෙස අවිදුර දෘෂ්ටිකත්වය සැලකනවා. මෙහිදී ඇසට ලැබෙන ආලෝකය දෘෂ්ටි විතානය ඉදිරියේ නාභිගත වීම නිසා ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානය වෙත ගෙනයෑම සඳහා අවතල කාචයක් සහිත කණ්ණාඩියක් අවශ්‍ය වෙනවා. කණ්ණාඩියක් පැළඳීම මගින් මේ තත්ත්වය 100% ක්ම සකස් කර ගැනීමට හැකියාව තිබෙනවා.
අද වනවිට විශේෂයෙන් ආසියාතික රටවල දරුවන් අවිදුර දෘෂ්ටිකත්වය පිළිබඳ ගැටලුවලින් බහුල වශයෙන් පීඩා විඳින බැව් සමීක්ෂණ මගින් හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන් පරිගණක, ජංගම දුරකථන වැනි උපාංග හෙවත් තිරය සමග සමීපව කටයුතු කිරීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව අධ්‍යනයන් මගින් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම එළිමහන් ක්‍රිඩාවල යෙදීමත් අඩුවීම මීට හේතුවක් බව වාර්තා වෙනවා.
දුර දෘෂ්ටිකත්වය, දරුවාට ළඟ නොපෙනීමේ ගැටලු (Hypermetropia)
මේ තත්ත්වයේදී දරුවාට ළඟ තිබෙන වස්තුවල සංකීර්ණ දේ හඳුනාගැනීම අපහසුයි. උදාහරණ විදිහට පොතක අකුරු, සංඛ්‍යා දරුවාට පැහැදිලිව පෙනෙන්නේ නැහැ. එවිට දරුවාට අකුරු සහ සංඛ්‍යා ලිවීම, කියවීමේ අපහසුතාවන් ඇතිවනවා. මෙවැනි අක්ෂි දුර්වලතාවන් ඇති දරුවකුට උත්තල කාචයක් සහිත කණ්ණාඩියක් පැළඳීම මගින් ඇස් පෙනීමේ දුර්වලතාවන්ට පිළියම් ලැබෙනවා.
විෂම දෘෂ්ටිකත්වය දුර හා ළග දෙකම නොපෙනීම (Astigmatism)
දරුවකුට දුර සහ ළග යන දෙකම නොපෙනන තත්ත්වයක් ඇතිවිට දකින දේ පැහැදිලි නැහැ. අක්‍රමවත්. මෙවැනි දුර්වලතාවන් ඇති දරුවකුට සිලින්ඩරාකාර කාචයන් සහිත කණ්ණාඩි නිර්දේශ කරනවා.
ඇස්වල දුර්වලතාවයන් ඇති දරුවකුගේ රෝග ලක්ෂණ…
- හිසරදය.
- ඇසේ විඩාව.
- ඇස කැක්කුම.
- එක දිගට වැඩකිරීමේ අපහසුතාව.
- පොත්පත් බලන විට, රූපවාහිනිය නරඹන විට වඩාත් ළඟට වීම.
- පංතියේ පිටුපස සිටින විට අකුරු පෙනීමේ ගැටලු.
මුල්වරට කණ්ණාඩි ලබාගැනීමේදී…
දරුවකු වෙනුවෙන් මුල්වරට කණ්ණාඩි ලබාගන්නවා නම් අනිවාර්යෙන්ම අක්ෂි වෛද්‍යවරයකුට පෙන්වීම වැදගත්. ඊට හේතුවක් තිබෙනවා. සමහර විට දරුවාගේ පෙනීමේ ගැටලු වෙනත් රෝග තත්ත්වයක් නිසා වීමට පුළුවන්. විශේෂයෙන් ඇසේ ඇතිවන පිළිකා වැනි රෝග තත්ත්වයන්හිදීත් ඇස් පෙනීමේ ගැටලු ඇතිවනවා. ඒ නිසා මුල් වතාවේදී අක්ෂි වෛද්‍යවරයකුට දරුවා පෙන්වීම වැදගත්.
දරුවකුට කණ්ණාඩි ලබාගැනීමේදී…
ඇස් පෙනීමේ විවිධ ගැටලු දරුවකුට කණ්ණාඩි දැමීම මගින් පහසුවක් ලැබෙනවා. ඒක ඇත්ත. නමුත් දරුවාගේ වර්ධනය සමග මේ බලය වෙනස් වෙනවා. ඒ නිසා මාස හයකට වරක්වත් අක්ෂි පරීක්ෂාවක් සිදුකර ගැනීම වැදගත්.
ඒ වගේම දිවයිනේ පිහිටි ඕනෑම රජයේ රෝහලක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක, පෞද්ගලික රෝහලක, පෞද්ගලික වෛද්‍යවරයකු හෝ ඇස් කණ්ණාඩි ලබාගන්නා තැනකින් ඇස් පරීක්ෂා කර ගැනීමට පුළුවන්. වයස අවුරුදු 5 ට වඩා වැඩි දරුවන්ගේ ඇස් පරීක්ෂා කිරීමේ ( අකුරු සහ සංඛ්‍යා ) ඇති පුවරු මේ වෙනුවෙන් තිබෙනවා.
මව්පියන්ට වැදගත් පණිවිඩයක්… අනිවාර්යෙන්ම අපි දරුවකුගේ උපතේ පටන්ම හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ සිහිනය හඹා යනවා. නමුත් දරුවාගේ පෙනීමේ ගැටලු සමග අධ්‍යාපනයට යොමුවුණොත් විවිධ ගැටලු ඇතිවනවා.
පංතියේදී අනිත් දරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම අපහසුයි. ඉගෙණුම් කටයුතුවලදී පසුගාමී දරුවකු වෙනවා. මේ නිසාම පාසල පවා අප්‍රසන්න තැනක් බවට පත්වනවා. සෙල්ලම් කිරිමේ ගැටලු ඇතිවනවා. යාළුවන් හඳුනාගැනීම පවා අපහසු වෙනවා. ඒ නිසා දරුවා තමන්ගේ සම වයස් කණ්ඩායම් අතර හුදෙකලා වෙනවා.
ඒ නිසා ඔබ දරුවාගේ පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමට පෙරාතුව ඇස් පරීක්ෂා කිරීමට උනන්දු වන්න. එවිට යම් පෙනීමේ ගැටලුවක් ඇති බව තහවුරු වුණොත් ඒ වෙනුවෙන් කල්තබා ප්‍රතිකාර ආරම්භ කිරීමේ හැකියාව තිබෙනවා.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී වාර්තාව, ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රාවන් ගැන මව්පියන් දක්වන උනන්දුවම දරුවන්ගේ ඇස් පරීක්ෂා කිරීම වෙනුවෙනුත් යොමුවීම අනිවාර්යයෙන්ම විය යුත්තක්. ඒ වෙනුවෙන් සමාජය දැනුවත් කිරීම වැදගත් සමාජ සත්කාර්යක් බවත් අවසාන වශයෙන් සඳහන් කරන්න පුළුවන්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️