එළවළු අතරින් රතු අලවලට විශේෂ තැනක් ලැබෙන්නේ මේ අලයට ලැබිලා තියෙන අපූරු වර්ණය නිසයි. වතුරක ටික වෙලාවක් දාලා තිබිලා ගත්තත් වතුර පවා රතු වෙන මේ විශ්මිත එළවළුව සින්ක්, යකඩ, මැංගනීස්වලින් ඉතාම පොහොසත්. විවිධාකාරයෙන් කෑමට සාදගන්න රතු අල ලස්සන වෙන්නත් යොදාගන්න පුළුවන් දෙයක් බව ඇතැම් අය දන්නෙ නෑ. සම පිරිසිදු කරගන්න උදව් වෙන රතු අල සම ලස්සන කරගන්නත් යොදාගන්න විදිහ ගැනයි මේ කියන්න යන්නෙ.
බීට්රූට් ලිප් බාම්
මේ ලිප් බාම් එක හදාගන්න අවශ්‍ය වෙන්නෙ පොඩි ප්‍රමාණයේ රතු අල ගෙඩියක් සහ පිරිසිදු පොල් තෙල් පමණයි. බීට් අලය ගෙන සිහින්ව ග්‍රේට් කරගෙන වතුර බිංදුවක්වත් නොදමා බ්ලෙන්ඩ් කරගන්න. පසුව යුෂ ටික ළිපේ තබාගත හැකි භාජනයකට දමා මද ගින්නේ විනාඩි තුනක් පමණ රත්කරගන්න. බීට් යුෂ තරමක් ඝන වීගෙන එද්දි ළිපෙන් ඉවත් කර නිවෙන්නට හරින්න.
පසුව එයට සුදු පොල් තෙල් මේස හැන්දක් එකතු කර හොඳින් කලවම් කරන්න. සුදු පොල් තෙල් නොමැති නම් ඒ වෙනුවෙට වැස්ලින් භාවිත කළ හැකියි. පසුව දිනපතා භාවිතයට ගත හැකි කුඩා භාජනයකට එය දමා ශීතකරණයේ තැන්පත් කරගෙන භාවිතයට ගත හැකියි. දිනකට දෙවතාවක තොල් මත ආලේප කර විනාඩි 15 කට පමණ පසුව ඉවත් කරගන්න. ලිප් බාම් එක ආලේප කිරීමට ප්‍රථම ලිප් ස්ක්‍රබ් එකකින් තොල් පිරිසිදු කරගන්නවනම් හොඳයි.
බීට්රූට් ෆේස් මාස්ක්
රතු අල යුෂ තේ හැඳි දෙකක්, කඩල පිටි තේ හැන්දක්, මී පැණි තේ හැන්දක්, යෝගට් තේ හැන්දක් පිරිසිදු භාජනයට දාගෙන හොඳින් මිශ්‍ර කරගන්න. රතු අල යුෂ වැඩියි කියලා තේරුණොත් තව කඩල පිටි ටිකක් කලවම් කරගෙන මිශ්‍රණය උකු කරගන්න පුළුවන්. පින්සලක් භාවිතයෙන් පිරිසිදු කරගත්ත මුළු මුහුණෙම මේ ෆේස් මාස්ක් එක ඇප්ලයි කරගන්න. විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර සෝදාහරින්න. ෆේස් මාස්ක් එක දැම්මට පස්සෙ මොයිස්චරයිසර් එකක් හෝ ඇලෝවේරා ජෙල් එකක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා.
බීට්රූට් ෆේස් පැක්
බීට්රූට් අලයක් සිහින්ව ග්‍රේට් කරගෙන ඊට රෝස වතුර ස්වල්පයක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න. පිරිසිදු භාජනයකට බීට්රූට් යුෂ තේ හැඳි තුනක් පමණ දාගෙන ඊට කඩල පිටි තේ හැන්දක්, දෙහි පළුවක යුෂ එකතු කර ක්‍රීම් එකක් වන ආකාරයට හොඳින් කලවම් කරගන්න. පිරිසිදු කළ මුහුණේ හොඳින් ආලේප කරගෙන විනාඩි 15 ක් තිබෙන්නට හැර සෝදාහරින්න. සතියට හතර වතාවක් කළොත් සාර්ථක ප්‍රථිඵල ලබාගත හැකියි.
බීට්රූට් ජූස්
පොඩි බීට්රූට් ගෙඩියක් සහ කුඩා කැරට් අලයක් පෙති කපාගන්න. මේ සියල්ල වතුර මේස හැඳි පහක් පමණ එකතු කර බ්ලෙන්ඩ් කරගන්න. පසුව වීදුරුවකට යුෂ සියල්ලම පෙරාගෙන ඊට දෙහි බෑයක යුෂ එකතු කර පානය කරන්න. නමුත් මෙම පානය දියවැඩියාව තිබෙන අය පානය නොකළ යුතුයි.
බීට්රූට් නයිට් ක්‍රීම්
මේ නයිට් ක්‍රීම් එක හදාගන්න අවශ්‍ය වෙන්නෙ බීට්රූට් යුෂ, කෝමාරිකා යුෂ, මී පැණි සහ විටමින් E කරලක් පමණයි. කෝමාරිකා ජෙල් මේස හැඳි තුනක්, බීට් යුෂ මේස හැඳි දෙකක්, මී පැණි තේ හැන්දක් සහ විටමින් E කරලක් කඩා එකතු කර මෙය හොඳින් මිශ්‍ර කරගන්න. පිරිසිදු කරගත් මුහුණේ රාත්‍රී කාලයේ ආලේප කර උදෑසන සෝදා ඉවත් කරගන්න.
එරංදි කෞශල්‍යා ✍️