නියපොතු කියන්නෙ සමස්ත ශරීරයේම පිරිසිදු බවේ පිළිබිඹුවක් වගේම නිතරම නිසි සැලකිල්ලක් අවශ්‍ය වෙන ශරීරයේ සියුම් කොටසක්. බොහෝ කාන්තාවන් ශක්තිමත්, නිරෝගී නියපොතු පවත්වා ගැනීමට මෙන්ම ඒවා තුළින් විලාසිතා කරන්නට පෙළඹෙනවා. නමුත් එදිනෙදා කටයුතුවලදි නිරන්තරයෙන් ජලයට, රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් නියපොතු දුර්වල වෙලා කැඩී යා හැකියි. තමන්ගේ නිරෝගී නියපෙල රැකගත යුතු ආකාරය පිළිබඳවයි මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නෙ.
නියපොතු වියළීමට ඉඩ නොදෙන්න
ඔබේ සම මෙන්ම නියපොතු නිරෝගීව තබාගැනීමට තෙතමනය අවශ්‍ය වෙනවා. වියළි නිය ඉරිතලා, පොතු ගැලවී. කැඩී යාමට වැඩි ඉඩක් තියෙනවා. ඒවා සජලනය කර තබා ගැනීම සඳහා විශේෂයෙන් ඔබේ අත් සේදීමෙන් පසු දිනපතා මොයිස්චරයිසර් එකක් හෝ නිය තෙල් හෝ අත් ක්‍රීම් ආලේප කළ හැකියි. නිය ගැඹුරින් පෝෂණය කරන ජොජෝබා තෙල්, විටමින් ඊ හෝ ෂී බටර් වැනි අමුද්‍රව්‍ය සහිත නිෂ්පාදන භාවිත කිරීම වැදගත්. ඔබේ නියපොතු ස්වභාවිකව වියළි හෝ අස්ථාවර නම් තෙතමනය ඉවත් කළ හැකි ඇල්කොහොල් මත පදනම් වූ නිෂ්පාදනවලින් වැළකී සිටීම වැදගත්.
ගෙදර දොරේ වැඩ වලදී අත්වැසුම් පළඳින්න
ඔබ නියපොතු ගැන දෙවරක් නොසිතා පිඟන් සේදීම, ගෙදර දොරේ වැඩ කිරීමට පෙළඹෙනවා. නමුත් ජලය, ඩිටර්ජන්ට් සහ පිරිසිදු කිරීමේ කාරකවලට නියපොතු දිගුකාලීනව නිරාවරණය වීමෙන් කාලයත් සමඟ ඔබේ නියපොතු දුර්වල විය හැකියි.
නියපොතු ආරක්ෂා කර ගැනීම සඳහා පිරිසිදු කිරීමේදී හා ගෙවතු වගා කිරීමේදී සෑමවිටම රබර් අත්වැසුම් පළඳින්න. මෙමගින් රසායනික ද්‍රව්‍ය මගින් ඔබේ නියපොතු සහ අත්වල ඇති ස්වභාවික තෙල් ඉවත් කිරීම වළක්වනවා. ඔබ ජෙල් පොලිෂ් හෝ ඇක්‍රිලික් නියපොතු භාවිත කිරීමට පුරුදුව සිටින්නේ නම්, ඔබේ දෑත් ආරක්ෂා කර ගැනීම වඩාත් වැදගත් වෙනවා.
අධික ලෙස ඔප දැමීම සහ සැර නිෂ්පාදනවලින් වළකින්න
නිය ආලේපන අධික ලෙස භාවිත කිරීම හෝ පොලිෂ් ඉවත් කරන ද්‍රව්‍ය නිතර භාවිත කිරීම ඔබේ නියපොතු දුර්වල කරනවා. ඇසිටෝන් මත පදනම් වූ ඉවත් කරන ද්‍රව්‍ය විශේෂයෙන් නියපොතු වියළීමට හේතු විය හැකියි. හානිය වළක්වා ගැනීම සඳහා මසකට වරක් හෝ මෙනිකියු සත්කාර ලබාගැනීමත් වැදගත්.
නිතිපතා Trim සහ File කරන්න
ඔබේ නියපොතු කපා, හැඩයකට තබාගැනීමෙන් නිය හානි වීම වළක්වා ගත හැකියි. පිරිසිදු නිය කතුරකින් නියපොතු කපා දමන්න. ඉන්පසු කඩතොළු යවාගැනීමට නියපොතු ෆයිල් කර මෘදු ලෙස පිරිමදින්න. නිය කැඩී යාහැකි බැවින් එක් දිශාවකට ෆයිල් කිරීමට වග බලාගන්න.
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගන්න
බයෝටින්, විටමින් ඊ, සින්ක් සහ ඔමේගා-3 මේද අම්ල වැනි පෝෂ්‍ය පදාර්ථ ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න නියපොතු ප්‍රවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍යයි. බිත්තර, ආමන්ඩ්, නිවිති, සැමන් සහ අලිගැටපේර වැනි ආහාර ඔබේ ආහාරවේලට ඇතුළත් කර ගැනීමෙන් නියපොතුවල සෞඛ්‍යය ඉහළ නැංවිය හැකියි. කොලජන් අතිරේකද ප්‍රයෝජනවත් වෙනවා.
නියපොතු මෙවලම් ලෙස භාවිත කිරීමෙන් වළකින්න
පියන් විවෘත කිරීමට, ලේබල් සීරීමට හෝ ස්ටිකර් ඉවත් කිරීමට ඔබේ නියපොතු භාවිත කිරීමට ඔබ පුරුදු වී සිටිය හැකියි. කෙසේ වෙතත් ඔබේ නියපොතු මෙවලම් ලෙස භාවිත කිරීමෙන් කාලයත් සමඟ ඒවා දුර්වල වී හානි විය හැකියි. එමෙන්ම විවිධ ද්‍රව්‍ය නියපොතු තුළ සිරවිය හැකියි.
බේස් සහ ටොප් කෝට් එක මඟ හරින්න එපා
නිය ආලේපන යොදන විට, ‘බේස් කෝට්’ සහ‘ ටොප් කෝට්’ මඟහරින්න එපා. මූලික ආවරණයක් ලෙස බේස් කෝට් ඔබේ නියපොතු පැල්ලම්වලින් ආරක්ෂා කරනවා පමණක් නොව කැඩීම වැළැක්වීම සඳහා ආරක්ෂිත තට්ටුවක් ද එක් කරනවා. ටොප් කෝට් භාවිතයෙන් නියේ දීප්තිය මෙන්ම නියපොතු දිගු කාලයක් පවත්වගන්න උපකාරී වෙනවා.
ඔබේ නියපොතුවල ඔරොත්තු දීමේ හැකියාවට අමතර ශක්තියක් ලබාදීම සඳහා කෙරටින් හෝ කැල්සියම් අඩංගු ‘බේස් කෝට්’ සහ ‘ටොප් කෝට්’ තෝරගන්න.නිරෝගී, ශක්තිමත් නිය පෙළක් පිරිසිදු බව සහ යහපත් පුරුදු පිළිබිඹු කරන ආභරණයක් වගෙයි. එදිනෙදා ජීවිතයේ අවශ්‍යතාවලට ඔරොත්තු දීමට තරම් ලස්සන , ශක්තිමත් නියපොතු නිරෝගීව පවත්වා ගැනීම සඳහා කුඩා දෛනික සත්කාරයක් දිගු කාලීන ප්‍රතිපල ගෙන දෙනවා.
නිය අලංකරණ ශිල්පිනී
ඉෂිනි උපේක්ෂා
එරංදි කෞශල්‍යා